spot_img
spot_imgspot_img

එඩ්වින් ආරියදාසට එල්ල වූ ලේක්හවුස් මැර ප්‍රහාරය

පුවත්

විදෙස්

එඩ්වින් ආරියදාස යනු සියවසකට ආසන්න තම ජීවිත කාලයෙන් වසර 60ක් පමණ ලේක්හවුස් ආයතනයේ සේවය කළ අද්විතීය විද්වතෙකි. ඇවිදින පුස්තකාලයක් බඳු හෙතෙම රටේ සැමගේ ආදරය හා ගෞරවය දිනාගත් චරිතයකි.

අද ඔහු නිහඬව නිසලව සිටී, පෑනෙන් හරඹ දැක්වූ කලාකීර්ති එඩ්වින් ආරියදාසන් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම අපූරුවට සන්නිවේදන කාර්යයේ යෙදුණු අතර විශ්වීය දැනුම ජනගත කිරීමට පුරෝගාමී මෙහෙවරක යෙදුණු අයෙකි. මෙරට ජනසන්නිවේදන විෂය විධිමත් අධ්‍යානයට එක්කිරීමට ද පුරෝගාමී මෙහෙවරක යෙදුණු නැණවතෙකි.

එඩ්වින් ආරියදා සූරීන්ට ඔහු සේවය කළ ලේක්හවුස් ආයතනයේ දී ම මැර ප්‍රහාරයක් එල්ල වූ ආකාරය පිළිබඳ සටහනක් “පොදු ජනයාගේ පත්තරකාරයා දයාසේන ගුණසිංහ” චරිතාපදානය ලියූ දෙනගම සිරිවර්ධන විසින් එහි සටහන් කර ඇත. එම ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයකි.

මේ පිළිබඳ අද නාලක ගුණවර්ධන විසින් තැබූ සටහනක් මෙහි දැක්වෙයි.

එඩ්වින් ආරියදාස සූරීන්ට ලේක්හවුස් මැර ප්‍රහාරයක්!

“ලේක්හවුස් ආයතනය බිහි කළ විශිෂ්ට මාධ්‍යවේදියෙකු වූ එඩ්වින් ආරියදාසයන්ට මෙසේ ලේක්හවුස් ආයතනයේ උපහාරය පුද කරමු,” යනුවෙන් මේ ඉරිදා (2021 ජනවාරි 24) සිළුමිණ පත්තරයේ මුල පිටුවේ කැපී පෙනෙන ලෙසින් හරබර ප්‍රණාමයක් පල කොට තිබෙනවා.

පිදිය යුත්තාට පිදීම ඉතා හොඳයි. ඒත් පූර්ණකාලීන වෘත්තිය මාධ්‍ය ජීවිතයම ලේක්හවුස් එක වෙනුවෙන් කැප කරපු ආරියදාස මහත්තයට එහි වැඩ කළ කාලේ නිසි සැලකිලි ලැබුණද? මෙය විවාදාත්මකයි.

අප දන්නා තරමින් පක්ෂ දේශපාලනය කිසිදා නොකළ ආරියදාසයන්, තමන්ට පැවරුණු රාජකාරී විශිෂ්ඨ මට්ටමින් ඉටු කළා. ඉහළ තනතුරු හා වරප්‍රසාද බලාපොරොත්තු වුණේ නෑ.

තමන්ගෙ පාඩුවෙ පාඨකයන්ට උපරිම දැනුම සහ අවබෝධය ලබා දීමයි ඔහුට වුවමනා වූයේ. 1949-1973 වකවානුවේ ලේක්හවුස් පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පැවති කාලයේත්, රජයට පවරා ගත් පසු 1973-1984 කාලයේ ආණ්ඩු දෙකක් යටතේත් ඔහු වැඩ කළා.

1977 ජූලි මහ මැතිවරණයට පසුව ලේක්හවුස් පාලනාධිකාරිය වෙනස් වුණා. නව පාලකයන් ඔහුගේ සේවය දිගටම ලබා ගත්තත්, දේශපාලනීකරණය වූ වෘත්තීය සමිති, සහෝදර මාධ්‍යවේදීන් නිල් පාට සහ කොළපාට ලෙස කොටස් දෙකකට වර්ග කළා. නිර්දේශපාලනිකයන්ට ‘විරුද්ධවාදී’ ලේබල ඇලවුණා.

මහමැතිවරණයට පෙර පත්තර ගැසීම නතර කරන්නට තැත් කළ වැඩවර්ජනයට සම්බන්ධ නොවීමේ ‘වරදට’ අහිංසක ආරියදාසයන්ට පහර දී ඇත්තේ පිටින් පැමිණි මැරයන් නොව කොළ පාටින් වියරු වැටුනු ඇතුලේම සහෝදර සේවකයන් සමහරෙක්ම විය යුතුයි.

ආරියදාසයන්ගේ මාධ්‍ය මෙහෙවර අගය කරන මේ මොහොතේ මේ ගැන ටිකක් මෙනෙහි කරන්න.

(පොතෙහි උපුටා දැක්ම)

1977 මහ මැතිවරණය ළං විය.

ලේක්හවුස් පුවත්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සඳහා වැඩ ඇරඹුවේ ය. විශේෂ ලේඛකයන් ලවා ලිපි සකස් කැරැ වූයේ ය. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සඳහා මුදල් සැපයුවේ ය.

ලේක්හවුස් සේවකයන් ගෙන් වැඩි පිරිසක් මේ පකෂග්‍රාහී වීම හෙළා දකිමින් වැඩ වර්ජනයක් ඇරැඹුවේ ය.

වැඩෙහි යෙදුණු කර්තෘවරු එවන ලිපි මුද්‍රණාලයේ දී අතුරුදන් විය. මුද්‍රණ සේවකයන් විශාල පිිරිසක් වැඩ වැරූ හෙයින් පුවත්පත් පළ කිරීම දුෂ්කර විය. පිටු දෙකේ, හතරේ පුවත්පත් රටට ගියේ ය. රජය සතු විශාලත ම ප්‍රචාරක ආයතනය රජයට අහිමි වූ බව පෙනිණ.

මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේ ය.

මැතිවරණයට පසු දා රාජා ටී. බස්නායක සිය පියා ගේ මෝටර් රියෙන් තංලගම ජයසිංහ ගේ නිවසට ගියේ ය.

“අපි දයාත් එක්කගෙන ලේක්හවුස් යමු”

තලංගම කී ය.

රිය දයා ද ගෙන ලේක්හවුසියට ගියේ ය. ඔවුන් ලේක්හවුසියට යන විට නව සභාපතිවරයා වශයෙන් බෝධිනාගොඩ පත්කොට ඇති බව අසන්නට ලැබිණ. සභාපති ගේ කාර්යාලයේ එක් කාන්තාවක සිටිනු රාජාට සහ තලංගමට පෙනිණ.

“ඔබ වැඩ වර්ජනයට සහභාගී නොවූ කෙනෙක්. ඔබට ඔය පත්තරේ කර්තෘකම දෙන්නට බැහැ. මා සලකන්නේ වර්ජනයට එක් වූ අයට පමණයි.”

සභාපති ඇයට කීවේ ය.

“වැඩ වර්ජනය නො කළාට මම හිටපු ආණ්ඩුවට අකමැත්තෙන් සිටියේ. ඔය පත්තරේ කර්තෘකමට වැඩිපුර ම සුදුසුකම් තියෙන්නේ මට.”

ඇය කීවාය.

“ඒ සුදුසුකම්වලින් මට වැඩක් නැහැ. වැඩ වර්ජනයට සහභාගී නො වූවා කියන්නේ සිරිමා ගේ ආණ්ඩුවට පක්ෂවීම දැන් යනවා යන්න. ආයෙත් එන්න එපා.”

ඇය කඳුළු සලමින් ඉවතට ගියා ය.

වැඩ වර්ජනයට සහභාගී වූ කර්තෘ මණ්ඩලයේ අයගෙන් කීප දෙනෙක් පත්වීම් ලිපි නැතිව ම කර්තෘ පුටුවල හිඳ ගනිමින් මෙසේ කී හ.

“මම යි අද ඉඳලා මේ පත්‍රයේ කර්තෘ”

දයා පුටු පොරය දෙස බලා සිටියේය.

“ඔබත් වර්ජනයට එක් වූ කෙනෙක්, ඔබට පුළුවනි ඕනෑ ම පුටුවක හිඳ ගන්න.”

වෘත්තීය සමිති නායකයෝ කී ය.

“මට ඔය විදියට තනතුරු ගන්න වුවමනාවක් නැහැ.” දයා ඔවුන්ට පිළිතුරු දුන්නේ ය.

“මේක තමයි ලොකු තනතුරක් ගන්න තියෙන හොඳ ම අවස්ථාව” මිතුරෙක් දයාට කී ය.

“මට හිරිකිතයි”

ලේක්හවුසියේ එජාප විරෝධීන්ට වැඩ වර්ජනයට සහභාගී නො වූ අයට ප්‍රධාන දොරටුව ළඟ දී ජේ.ආර්.ජයවර්ධන ගේ ඡායාරූපයකට නමස්කාර කරීමට සිදු විය. ඒ නමස්කාර පූජාව මෙහෙය වූයේ කොම්පඤ්ඤවීදියේ මැර පිරිසකි. විරුද්ධ පාක්ෂික සේවිකාවන්ට කොළ පාට සායම් නෑමට සිදුවිය.

ලේක්හවුස් උඩු මහලේ සිටි තලංගමට සහ ඡායාරූප ශිල්පී බන්දුවර්ධනට පහත මාලයෙන් තර්ජන, ගර්ජන හඬා වැලපීම් හඩවල් ඇසිණි

“අන්න එඩ්වින් ආරියදාස මහත්තයාට ගහනවා”

කෙනෙක් කී ය.

තලංගම සහ බන්දුවර්ධන එතැනට දිව ගිය හ.

පහර කා වේගයෙන් අඩි තබමින් ඈතට යන ආරියදාස මහතා ඔවුන්ට පෙනිණ.

ආරියදාස මහතා වර්ජනයට එක්වූයෙක් නොවේ. ඔහු පිටු දෙකේ, පිටු හතරේ දිනමිණ පත්‍රයේ වැඩ කෙළේ ය. දයා, තලංගම, රාජා, බන්දුවර්ධන මේ පහර දීම හෙළා දුට හ. මැරයෝ වැඩ නතර කළ හ.

Photography by Kannan Arunasalam

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!