spot_img
spot_imgspot_img

රට ම වසඟ කළ “ෂුක්රා” ශ්‍රී ලාංකීය සළකුණයි

පුවත්

විදෙස්

ඇය සුන්දරය

චතුර ලෙස සිංහල භාෂාව කතා කරයි.

සිනහව මන බන්දනීයය

විරිතට අනුව අපූරුවට ගායනා කරයි.

සාහිත්‍යය, ඉතිහාසය, භූගෝලය සියල්ල දනී.

අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයනනේ තමන්ට ආවේණික අපූරු ලාලිත්‍යයකිනි.

විස්මය, බිය, සතුට සියල්ල ඇය තම මුහුණෙන් ප්‍රකට කරයි.

ඉලක්කය ජයගත්විට ඇය ම සතුටින් ඉපිළ ගොස් අත් පුඩි තලයි.

විටෙක උන්හිටි තැන් අමතකව කෙළිලොල් යොවු වියේ චමත්කාරය මවා පෙන්වයි.

මේ ෂුක්රා ය.

ෂුක්රා මුනව්වර් ය

ගාල්ලේ වෙරළබඩ කටුගොඩ ගම්මානයේ දුප්පත් පවුලක ඉපිද

ඉතා අසීරුවෙන් බෞද්ධ පාඨශාලාවක අධ්‍යාපනය ලැබූ ඇය

එක් රැයකින් සමස්ථ ශ්‍රී ලාංකේය ජනතාවම තම වසඟයට ගත්තාය.

ෂුක්රා අපූරු යුවතියකි.

තවමත් පාසල් වියේ පසුවන ඇය

ජාතිවාදයෙන්, ආගමික උන්මාදයෙන්, වියුරුවැටී එකිනෙකාට චෝදනා කරගිමින්, අඳුරු ආගාධයකට ගමන් කරමින් සිටි මෙරට ජන සමාජයට බලාපෙ‍ෙ‍රාත්තුවේ සළකුණක් වූවාය.

ෂුක්රා ශ්‍රී ලාංකීය ජන සමාජයේ සැබෑ ජන ලකුණ බව අපි නොබියව කියන්නෙමු.

ඒ ඇය සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් මිලියන දෙකක් වූ ජයමල්ල තම දෝතින් දිනාගත් නිසා නොවේ.

ඇය මෙරට ජන සමාජයේ ආනාගතය භාරගන්නා තරුණ පරපුර නියෝජනය කරන සැබෑ යුවතියක් වූ බැවිනි.

මුස්ලිම් පවුලක ඉස්ලාම් ආගම අදහන දෙමහල්ලන්ට දාව උපදින ෂුක්රා නිදහස් අදහස් ඇත්තියක වී සියලු ආගමික මතවාදයන් පසෙක දමමින් ශ්‍රී ලංකාව යනු බහු ජාතික බහු ආගමික අපූරු සංහිදියාවක් සහිත සම්මිශ්‍රිත ජන සමාජයක් බව සමස්ත රට වැසියන්ටම කියා සිටියේ ඒ පිළිබඳ වචනයකදු කතා නොකරමින් ඇගේ දක්ෂතාව ප්‍රදර්ශනය කරමිනි.

දැන් ඇය සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අපේම දරුවකු , අපේම සොයුරියක වී සිටියි.

ෂුක්රා දියණිවරු තිදෙනකුගෙන් යුතු පවුලේ බාලයාය. අඩු ආදායම් ලාභී පවුලක් වුව ද ෂුක්රාගේ තාත්තා ගමේ උගතෙකි. ගමේ ඕනෑම කෙනෙකුට යම් ලේඛනයක් සකසා ගැනිමට අවශ්‍යනම් යන්නේ ෂුක්රාගේ පියා හමුවීමටය. යමක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ගැනීමට අවශ්‍යනම් හමුවන්නේ ෂුක්රාගේ පියායි. එහෙත් ඔහු පොහොසතකු නොවූයෙන් ෂුක්රාගේ මවට සිය දියණියන් තිදෙනා නිවසේ තබා විදේශගත වීමට සිදුවූවා ය. එහි ප්‍රතිඵලය වූයේ ෂුක්රා ඇති දැඩි කර ගැනීම සඳහා ඇගේ වැඩිමහල් සොහොයුරිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නිවසේ නතරවීමයි.

මේ දියණිවරුන්ගේ අධ්‍යාපනය තම ජීවිතයේ වැදගත්ම අවශ්‍යතාව බව වටහාගෙන සිටි ඒ මවත් පියාත් ඔවුන් ඇතුළු කළේ ගමේ බෞද්ධ පාඨශාලාව වූ මාගාල්ලේ සුධර්මා විද්‍යාලයටය.

ෂුක්රා ජීවත්වන නිවස

සිංහල කතාකරන, බුද්ධ ධර්මය අදහන ගැහැනු පිරිමි දරුවන් සමඟ හරි හරියට අධ්‍යාපනය ලබන්නට මේ දෙමහල්ලෝ දරුවන්ට අවස්ථාව ලබාදුන්හ.

එහිි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකීය සමාජයේ සැබෑ පැතිකඩ විදහා දක්වන අපූරු මුස්ලිම් ජාතික තරුණියක් බෞද්ධ පාඨාශාලාවකින් ඉගෙන ගෙන සමාජයට පැමිණ රටත්, සමාජයත් පිළිබඳ අපූරු විවරණ සැපයීමයි.

ෂුක්රා, පොත් පිටු ගණන් ලීවේ නැත. පැය ගණන් කතා කළේ නැත. ඇය කතා කළ විනාඩි කිහිපයෙන් ඇය සමස්ත සමාජයට ම මහා දාර්ශනික කතාවක් කීවාය. දැන් එය සමාජගත වී තිබේ.

ෂුක්රාගේ පාසල මාගාල්ල සුධර්මා විද්‍යාලය

මේ ඇය කියූ වදන් ය.

“මම මුස්ලිම් ගෑනු ළමකේ වුනාට හැම දෙයක්ම කරන්න කැමතියි. මට නිදහස අම්මා තාත්තා දීල තියෙනවා. නමුත් ඒක වැරදියට පාවිච්චි කරන්න හොඳ නැහැ. එයාලා නිදහස දෙන්නේ අපි කවදා හරි හොඳ තැනකට එනවාට කැමැත්තෙන්. මම කැමති තැනට ඇවිත් තියෙනවා කියලා හිතෙනකම්ම උත්සාහය අතහරින්න හොඳ නැහැ. බාධක එනවා තමයි ජීවිතයේ. ඒක බරපතල විදියට ගන්න ඕන නැහැ. බාධක එන්න එන්න තමයි අපි ශක්තිමත් වෙන්නේ. දැන් ඔන්ලයින් අරගලයක් වෙලා තියෙනවා ගොඩක් දුප්පත් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් ඉගෙන ගන්න හරියට ඩිවයිස් එකක් නැහැ. දුප්පත් කම තමයි ඒක හේතුව. ඩේටාවලට ගෙවන්නවත් අම්ලාට සල්ලි නෑ. මගේ ගමෙත් ඉන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත් නාසා එකට වුණත් යන්න පුළුවන් ළමයි. මේ හැම කෙනෙකුටම ඔන්ලයින් අරගලයක් වෙලා. මමත් අවේ අම්මලාට බරක් නොවී ලැප්ටොප් එක්ක ගන්න. මේ තරඟය දිනුවොත් මට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්.”

මෙසේ කියා තරඟය ඇරඹූ සුක්රාට ලැබුණු පළමු ප්‍රශ්නය වූයේ ටීකා සීපදයකි. කිසිදු චකිතයකින් තොරව ඊට නිවැරදි පිළිතුර දුන් ඇය ඒ ටීකා සී පදය තාලයට කීවේ රටම වසඟ කරමිනි.

“වාරේ වාරේ කියනවා විනා කොස් වොරේ ද අඹ වාරේ ද දෙල් වාරේ ද කෙහෙන් ආ වාරයක් ද දන්නෙ නෑ” කියූ ඇය තමන්ගේ වාරය ලබාගැනීම ඇරඹුවාය.

තමන්ට ලැබුණු ඒ වාරය ප්‍රයෝජනයට ගනිමින් ලක්ෂ 20ක් දිනාගත් ඇගේ වාරය අවසන් කළ යුතු නැත. ඇය සමග තවත් එවැනිම දියණිවරු මෙන්ම පුතුන් ද මේරට ජාති ආගම් බේදවලින් පීඩිත නොවූ සහජීවනයේ දේශයක් බවට පත්කිරීමේ වාරය ඉදිරියට රැගෙන යා යුතුය.

තවමත් 17 හැවිරිදි වියේ පසුවන මේ පාසල් ශිෂ්‍යාව තමන් ලැබූ අධ්‍යාපනය ලොවට හඬගා කියමින් බුදුගුණ කවි අපූරුව ගායනා කළාය. සිංහල නාට්‍ය කාව්‍ය ඇය අපූරුවට කීවේ විටෙක හැඟීම් බර වෙමිනි. තමන් සිංහ සීවලී වූවානම් තම පියා දමා නොයන බව ඇය ලයාන්විතව කියන විට එය බලා සිටි බොහෝ දෙනකුගේ දෑසට කඳුළක් එක්වන්නට ඇත.

ඇයට ආගම හෝ ජාතිය ප්‍රශ්නයක් නැත. සිංහල ඉතිහාසයත්, ජන කතාත් ඇය දනී. ඇය දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් දැරියක වූවාට තමන් ශ්‍රී ලාංකික බව කියා පෑවේ ඒ අයුරිනි.

“මට බාධක ආවා. අනිත් අය මොනවා කිව්වත් විවේචනය කළත් හිත රිද්දුවත් විහිළු කළත් තමන්ගේ ගමන යන්න එ්ක තමයි මට කියන්නේ. පිරිමියෙකුට වඩා මානසික ශක්තියක් තියෙන්නේ කාන්තාවකට. හැමෝම සමාන වෙන්න ඕන. තාත්තා දුප්පත් කෙනෙක් වුණානම් තාත්තාට බ්‍රැන්ඩඩ් ඇඳුමක් අරන් දේනන බැරිනම් හුඟක් දරුවෝ හිතන්නේ සිංහබාහු වගේ. මට අවුරුදු 13 දී තාත්තා ලෙඩ වුණේ. මගේ තාත්තා මට දැනුම දුන්නා. මගේ විරයා අම්මා මගේ හැමදේම අම්මා තමයි අම්මාට මම ආදරෙයි. ඒත් ගොඩක් සැරයි. වැරදැද්ක් කළොත් සමාවක් නැහැ”

ඇයට අරමුණක් තිබේ. මම මුස්ලිම් වුනාට 2022 වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය හදාරා සුප්‍රසිද්ධ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනිය වීම ඇගේ අපේක්ෂාවයි.

“මේ සමාජයේ කට්ටියක් හිතාගෙන ඉන්නේ කාන්තාවක් කිව්වොත් දුර්වලයි කියලා මමනම් හිතන්නේ පිරිමියෙකුට වඩා උසස් කායික මෙන්ම මානසික ශක්තියක් තියෙන්නේ කාන්තාවකට” ඇය කියන්නීය.

මේ කතාව අප ඇගේ විදුහලට ගිය විට ඇගේ ගුරුවර ගුරුවරියෝ ද සනාථ කළහ. ඔවුන් පවසන්නේ මුස්ලිම් දැරියක වුව ද ෂුක්රා විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කරමින් රන්ටැඹේ ශිෂ්‍ය භට කඳවුරට ද සහභාගී වූ බවයි. මුස්ලිම් දැරියක් එවැනි පුහුණුවකට යාම සමස්ත දරු පරපුරකටම ආදර්ශයක් බව ඔවුහු කියති.

මාගාල්ල සුධර්මා විද්‍යාලයේ විදුහල්පති සරත් ලියනගමගේ මෙසේ කීවේය.

“ෂුක්රා වගේ දරුවන් තමයි මේ ලෝකයට අවශ්‍ය වෙන්නේ. ඇය මේ රටේ තියෙන සියලුම ජාති ආගම් බේදවලට හොඳ පිළිතුරක් දුන්නා. එක ජාතියක් එක රටක් හැටියට අපි සිතිය යුතු බව ඇය සමස්ත රටටම කිව්වා. ඇත්තටම ෂුක්රා දියණිය ගැන අපිට හරිම ආඩම්බරයක් තියෙනවා. ඇය පාසලට සම්පතක්. මම එහෙම කියන්නේ මේ තරඟයෙන් ජයගත් නිසා නෙවෙයි. ඇය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එක වගේ නිවේදන කටයුතු කරනවා. දැල් පන්දු ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරනවා. මේ දරුවා සියලු පාසල් දරුවන්ට ආදර්ශයක්. පෙළ පොත්වලට පමණක් සීමා නොවී අතට අසුවන සෑම පොතක්ම ඇය කියවනවා. පාසලේ පුස්තකාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න දියණනියක්. පන්තියේ වැඩ කරන අතරතුරත් වෙනත් පොත් කියවනවා කියා ගුරුවරු කියනවා. ෂුක්රාට ඉතාත් පුළුල්ව පැතිරුණු විශාල දැනුමක් තිබෙනවා. හැමෝම එක්ක ඉතාමත් සහයෝගයෙන් ඉන්න ඇය අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවක්. මේ වැඩසටනට සහභාගීවීම සඳහා ඇය පුද්ගලිකව ඉල්ලුම් කළත් පාසලෙන් අවසර ලබාගෙන තමයි සහභාගී වුණේ. අපි සිරස ආයතනයටත් ස්තූතිවන්ත වෙනවා ඇගේ දක්ෂතාව සුවිශේෂීත්වය රට හමුවට ගෙන ආවාට. මේ දරුවා ආදර්ශයට ගන්න කියා අපි සමස්ත සිසු පරපුරෙන්ම ඉල්ලා සිටිනවා.” 

විදුහල්පති සරත් ලියනගම

ෂුක්රා දියණියගේ වසර හතරක් ම සිංහල ගුරුවරිය වූ සකුන්තලා සමරනායක මෙසේ කවාය.

ෂුක්රා දියණියට අවුරුදු 4ක් ම සිංහල ඉගැන්නුවේ මම. මේ දරුවා පන්තියේ සුවිශේෂීයි. හැමදාම සිංහල පාඩමට වාඩිවෙන්නේ ඉස්සරහ පේළියේ. භාෂාවේ එයා ආසම කොටස සාහිත්‍ය රසවින්දනය. මුස්ලිම් දියණියක් නිසාදෝ ඇයට ව්‍යාකාරණ වැරදීම් නිතර වෙනවා. නමුත් හරිම ලස්සනට සිංහල සාහිත්‍ය පාඩම් ලියනවා. ව්‍යාකරණ වරදින නිසා රචනා ලියන්න ටිකක් කැමැත්තක් නොදැක්වුවත් ෂුක්රා සිංහල සාහිත්‍යයට, රසවින්දනයට හරිම කැමතියි. ඒ වගේම පොපත් කියවන්න ගොඩක් උනන්දුයි. එයා හරිම අපූරු අදහස් තියෙනවා. පන්තියේ දි ඒවා මා සමඟ සාකච්ඡා කරනවා. එය අනිත් ළමයින්ටත් ලොකු පහසුවක්. සාහිත්‍ය ගැන කතාකරද්දී එයාගේ මුහුණෙන් පේනවා කොතරම් උනන්දුවක් තියෙනවා ද කියා. ෂුක්රා අකුරු වැරැද්දුවාම අනේ මිස් සමාවෙන්න, සොරි සොරි ආයිත් වරද්දන්නේ නැහැ කියලා එයාගේ වැරැද්ද හදාගන්න උනන්දු වෙනවා. පන්තිකාමරයේ දී වගේම විද්‍යාලයේ දී පවා ඉතාමත් තැන්පත් ළමයෙක්. කෙළිලොල් ළමයෙක් නෙවෙයි. ඒ දරුවා තමන්ගේ අරමුණ කරා ගියපු එක ගැන ඉතාමත් සතුටුයි. තරඟයෙන් දිනලා අපේ ගෙදරට ආවා. ඇවිත් ගිරවි වගේ ඔක්කෝම විස්තර කිව්වා. එයා උත්තර දීපු හැටිඒ උත්තර හොයන්න හිතපු විදිය හැමදේම කිව්වා. ඇත්තටම හරිම සතුටුයි. මේ දරුවාට උඝන්වන්න ලැබීමත් සතුටක්. මගෙන් තව පොත් ඉල්ලගෙන ගියා. වාණිජ අංශයේන උසස් පෙළ කළත් සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න ඕනෑ කියලා මගේ ජීවිත කාලෙද අහපු හොඳම කතාව මම ඇහුවේ ෂුක්රාගේ මුවෙන් එදා ලක්ෂපති වැඩසටහනේ දී ෂුක්රා කිව්වා ලෝක අභිමානය අපි ළඟ තියෙන්න ඕන කියන එක ජාති ආගම් කුල බේද සියල්ල එක වචනයෙන් කැඩුවා. ඒක තනිකරම එයාගේ සිතිවිල්ලක් ඇත්තමට ෂුක්රා ගැන මට හරිම ආඩම්බරයි.”

සිංංහල ඉගැන්වූ ගුරුතුමිය සකුන්තල සමරනායක

ෂුක්රා සිරස ලක්ෂපති වැඩසහනේ දී පැවසූ වදනක් ඇගේ විද්‍යාලයේ ගුරුවරු අප සමග සිහිපත් කළහ. ඔවුන් පවසන්නේ එය සැබැවින්ම ෂුක්රා පොත්පත් පරිශීලනයෙන් සහ ජාතික ආගමික වශයේන සම්මිශ්‍රිත වූ සමාජයකින් ලැබූ අපූරු අත්දැකීම් හේතුවෙන් ඇය දැක්වූ අදහසක් බවයි.

“අපිට ඕනේ දේශාභිමානය නෙවෙයි. අපි හිතන්න ඕනේ ලෝක අභිමානයෙන්. අපි දේශාභිමානය ගැන කතා කරනවා. නමුත් පරිසරය විනාශ වුණාම අපිට අපේ පෘථිවිය නැතිවෙනවා කියා හිතන්නේ නැහැ.”

සැබැවින්ම ෂුක්රා කියූ සෑම වචනයකම අපූරු අර්ථයක් තිබේ. ඇය කතා කළාය. ඇය විවෘතව අදහස් දැක්වූවාය. ඇය මෙරට සමාජයේ සැබෑ සළකුණ රට හමුවේ තැබුවාය.

(rata.lk)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!