spot_img
spot_imgspot_img

ගාල්ලේ පුද්ගලික රෝහලක කොරෝනා ආසාදියන් සැඟවීමේ උත්සාහයක්

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකුට අද (12) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් එම පුද්ගලයා ආසාදිත බව  හඳුනාගෙන තිබියදී ඒ බව සෞඛ්‍ය බලධාරීන්ගෙන් සැඟවීමට පුද්ගලික රෝහලේ පරිපාලනය කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි.

ආසාදිතයා අසළට පැමිණි රෝහල් බලධාරීන් එම තැනැත්තා රෝහලේ 14 කාමරයට ඇතුළත් කර ඇති අතර ආසාදිතයාගේ සියලු අවශ්‍යතා ඉටුකරන බවට ද පොරොන්දු වී තිබේ. මෙම රෝහල් ජාලයේ මාතර පිහිටි ශාඛාවේ කොරෝනා ආසාදිත වූවන් පිළිබඳ තොරතුරු සැඟවීම හේතුවෙන් එම රෝහල වසා දමා කාර්ය මණ්ඩලයේ සියළු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන ලෙස මාතර නගරාධිපතිවරයා ඊයේ (11) නියෝග කළේය.

එහි ගාල්ල නගරයේ වක්වැල්ල පාරේ පිහිටි මෙම රෝහලට පසුගිය දෙසැම්බර් මස 18 වැනි දා රාත්‍රී ප්‍රතිකාර සඳහා පැමිණි මවක් සහ දියණියක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. ඒ බව දෙසැම්බර් 19 වැනි දා වාර්තා කළෙමු. එසේ වුව ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයකු අද (12) දිනයේ ද තහවුරු කළේ මෙම රෝහල විසින් එවැනි ආසාදිතයන් දෙදෙනකු පිළිිබඳ මෙතෙක් තොරතුරු ලබා දී නැති බවයි.

එම ආසාදිතයන් දෙදෙනා වාර්තා වූ අවස්ථාවේ දී රෝහලට අප වෙබ් අඩවියෙන් ඇමතුමක් ගත්ත ද ඔවුන් ප්‍රකාශ කර සිටියේ එවැනි රෝගින් හමුවී නැති බවයි. නමුත් ඉන් පසු වෛද්‍යවරයකු ඇමතුමක් ගත් විට එවැනි රෝගීන් දෙදෙනකු හමුවූ බව තහවුරු කරන ලදී.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රෝහලට පැමිණි අයකු ආසාදිත වූ පසු අවශ්‍ය ප්‍රතිකාර සහ රැකබලා ගැනීම් එම රෝහලෙන් සිදුකරන්නේ දැයි නොදන්නා නමුත් එසේ කළ ද ඔවුන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ කරුණු සොයා බලා නිරෝධායනය කිරීම අත්‍යාවශ්‍ය බැවින් ඒ පිළිබඳ අනිවාර්යයෙන් ම සෞඛ්‍ය අංශ දැනුම්වත් කළ යුතු බවයි. එසේ දැනුම් නොදෙන්නේ නම් අදාල පුද්ගලික රෝහල සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අද (12) එම රෝහලේ දී ආසාදිතයකු වාර්තා වූ පසුව ද එම ආසාදිතයාගෙන් ජෛව සාම්පල ලබාගත් රෝහල් සේවකයා විසින් ම ඉන් පසු පැමිණෙන පුද්ගලයන්ගේ ද ජෛව සාම්පල ලබාගන්නා ආකාරය ද අපට නිරීක්ෂණය කළ හැකි විය.

පසුගිය ඔක්තෝබර් මාසයේ තොටගොඩ පදිංචි තරුණයකු ජපන් යාම සඳහා අවශ්‍ය බැවින් පීසීආර් පරීක්ෂණයක් කර ගැනීමට ‍වක්වැල්ල පාරේ පිහිටි මෙම රෝහලට ගියේය. ඔවුන්ට පොරොන්දු වූ පරිදි ඊට පසු දින එහි වාර්තාව නොලැබුණු බැවින් එය ගැනීමට කොළඹ ගියේය. කොළඹ නාරාහේන්පිටි පිහිටි ශාඛාවේ පැය ගණනක් ප්‍රමාද වීම හේතුවෙන් ඇති වූ බහින් බස්වීමකින් පසු එම තරුණයාට ලැබී තිබුණේ ඔහු කොරෝනා ආසාදිතයකු බවට වාර්තාවකි. එම තරුණයාගේ පියා දිගින් දිගටම කියා සිටියේ තම පුතු ආසාදිත බව පැවසුව ද ගාල්ලේ සහ නාරාහේන්පිට රෝහල් ශාඛාවල පැය ගණන් තම පුතා රැඳී සිටිය ද ඔහු සමඟ සමීපව කටයුතු කළ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරීමක් හෝ අවම වශයෙන් රෝහල් පරිශ්‍රය ඉක්මණින් විෂබීජහරණය කිරීමක් නොකළ බවයි.

මේ වාර්තාව සැක සහිත බවත් එ් නිසා තම පුතාගේ පීසීආර් පරීක්ෂණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගින් ලබාගන්නා ලෙස පියා දිගින් දිගටම ඉල්ලා සිටිය ද ඒ අවස්ථාව ඔවුන්ට ලැබුණේ නැත. ගාල්ලේ වසංගත රෝග බලධාරියෙක් ඇස්කන් පියාගෙන සිටියේය.

“ඉන් දින කිහිපයකට පසු ගාල්ලේ හේලීස් සමාගමේ සේවක සේවිකාවන් 292ක් සඳහ‍ා මෙම රෝහලෙන් ම පීසීආර් පරීක්ෂණ සිදුකරවාගත් අතර ඒ පරීක්ෂණ සඳහා එකකට රුපියල් 6,500.00ක් බැගින් වැය වී තිබිණි. ඒ සේවක සේවිකාවන් අතරින් 04 දෙනෙකුට කොරෝනා ආසාදිත බව වාර්තාවල තිබූ නමුත් ‍ඉහත කී තරුණයාගේ වාර්තාව සැක නොසිතූ සෞඛ්‍ය අංශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ම යළි පීසීආර් පරීක්ෂණ ඔවුන් හතර දෙනා සඳහා සිදුකරන ලදී. ප්‍රතිඵලය වූයේ එම වාර්තා වලින් ඔවුන් ආසාදිත නොවන බව තහවුරු වී පුද්ගලික රෝහල දුන් වාර්තා වැරදි බව සෞඛ්‍ය අංශ පැවසීමයි.

මේ පිළිබඳ අප විසින් මීට පෙර පළ කරන ලද ලිපිවල සබැඳි මෙතැනින්.

මේ කරුණු පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!