spot_img
spot_imgspot_img

සිසුන්ගෙන් කෝටි ගණන් මුදල් ගරන, කොළඹ ආනන්දය

පුවත්

විදෙස්

සජීව විජේවීර

කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මිලියන ගණනක් මුදල් ගැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ දක්ෂතා දෙමාපියන් හමුවේ ප්‍රදර්ශනය කිරීමට බව පවසමින් “ආනන්දා ගී රංගා” නමැති ප්‍රසංගයකට දරුවන් පුහුණු කර මේ වනවිට එක් පන්තියකින් අවම වශයෙන් රුපියල් 350,000.00ක මුදලක් එකතුකර දිය යුතු බවට දැක්වෙන නිවේදන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රාථමික අංශයේ සෑම පන්තිකාමරයකින් ම රුපියල් 3,000.00 බැගින් වූ ටිකට් පත් 90ක් සහ රුපියල් 2,000.00 බැගින් වූ ටිකට් පත් 30ක් බැගින් මිල දී ගත යුතු බවයි. මීට අමතරව එදිනට මුද්‍රණය කරන සමරු කලාපය සඳහා සෑම පන්තිකාමරයකින් ම අවම වශයෙන් රුපියල් 20,000.00 ක දැන්වීම් ලබාදිය යුතු බව ද, ඩිජිටල් පුවරුව සඳහා දැන්වීම් රුපියල් 30,000.00 බැගින් සහ එළිමහන් පුවරුවට රුපියල් 12,000.00 බැගින් දැන්වීම් ලබාදෙන ලෙස ද දැනුම් දී ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා එක් වසරකින් පන්ති 06 බැගින් පන්ති 30ක් තිබේ. ඒ අනුව ඔවුන් ප්‍රවේශ පත්‍රවලින් පමණක් එක පන්තියකින් රුපියල් 350,000.00 බැගින් පන්ති 30න් ලබන ආදායම 10,500,000.00 කි. සෑම පන්තියකින් ම අවම වශයෙන්  රුපියල් 20,000.00 බැගින් වූ දැන්වීම් ඉල්ලා ඇති බැවින් අනිවාර්ය දැන්වීම්වලින් පමණක් මෙම ප්‍රසංගය සඳහා ලබන ආදායම රුපියල් 600,000.00 කි ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් සෘජුව රුපියල් 11,100,000.00ක් මේ වනවිට එකතු කරමින් සිටී.

මෙයට අමතරව දරුවන්ගේ රංග වස්ත්‍රාභරණ සඳහා ද උපරිමය රුපියල් 2,500.00ක් ලෙස මුදල් වියදම් කිරීමට දෙමාපියන්ට සිදුව ඇත.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, ප්‍රාථමික අංශය භාර සහකාර විදුහල්පති ඇතුළු පාසල් පාලන අධිකාරිය මෙවැනි විශාල මුදලක් එකතු කරමින් සිටින්නේ විද්‍යාලයීය කුලරතන ශාලවේ දී ම සිසු දරුවන්ගේ දක්ෂතා එළිදක්වන ප්‍රසංගයක් වෙනුවෙන් වීම පුදුමය දනවන්නකි. එම පාසලේ ම දරුවන් පරුදු පුහුණුකර එම පාසලේ ම ප්‍රධාන ශාලවේ දී රඟ දක්වා දෙමාපියන්ට පෙන්වීමට මේ තරම් විශාල මුදලක් අවශ්‍ය කුමන හේතුවකට ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

“ආනන්දා ගී රංගා” ප්‍රසංගය ලබන සඳුදා (18), 19, 20, 21,22, 23 යන දින 06ක් පුරා එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වෙන බවයි. මෙම ප්‍රසංගය දින හයක් පුරා පැවැත්වුණ ද ප්‍රසංගය සඳහා සූදානම් කර ඇති පන්ති අයිතම සංඛ්‍යාව 60කි. එක් පන්තියකින් අයිතම දෙකක් බැගින් පැවැත්වෙන අතර පොදු අයිතම ලෙස පූජා නැටුම හඳුන්වා තිබේ. එය සිදුකරන්නේ  5 ශ්‍රේණියේ දරුවන් විසිනි.

ඊට අමරතව පළමු, දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණිවල ළමයින් විසින් ඉදිරිපත් කරන English Action song, හතරවැනි ශ්‍රේණිසේ සහ පස්වැනි ශ්‍රේණියේ සිසුන් විසින් ඉදිරිපත් කරන English Dance  සහ තවත් සංගීත වි‍ශේෂාං ග  02ක් පොදු අයිතම ලෙස දින 06 පුරාම ප්‍රදර්ශනය කීරීමට නියමිතය.

දෙමාපියන් චෝදනා කරන්නේ මෙය ඉතාත් අසාධාරණ මුදල් ගැරිල්ලක් බවයි. සෑම දරුවකු වෙනුවෙන් ම දෙමාපියන් විසින් අවම වශයෙන් ටිකට් පත් 03ක් මිල දී ගැනීමට සිදුව ඇති බවත්, ප්‍රාථමික අංශයේ වසර දෙකක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකු සිටීනම් ටිකට් පත් 06ක් මිල දී ගැනීමට සිදුව ඇති බවත් ඔවුහු චෝදනා කරති.

පාලස්වල සිසු දරුවන්ගේ දක්ෂතා කළඑළි දක්වන මෙවැනි ප්‍රසංග සංවිධානය කිරීමේ වරදක් නැත. නමුත් ඒවා දෙමාපියන්ට පෙන්වීමට එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ම යොදා ගනිමින් මෙවන් මුදල් ගැරීමක් සිදුකිරීම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් එකතුකිරිමේ ක්‍රියාපටිපාටියට සහ චක්‍රලේඛවලට අනුව නිවරදි ද යන්න සොයා බැලිය යුතුය.

මේ සම්බන්ධයෙන් විමසීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක ඇමතීමට අප උත්සාහ ගත්ත ද එම විද්‍යාලයේ 0112681815 දරණ ස්ථාවර දුරකථන අංකයට කිසිම පුද්ගලයකු සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙහිම පාසල පැවැත්වෙන කාල සීමාවේ දී පිළිතුරු ලබාදුන්නේ නැත.

මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂාකරන වෙබ් අඩවියක් ලෙස මෙම පුවත සම්බන්ධයෙන් ආනන්ද විද්‍යාලයීය විදුහල්පතිවරයාගේ අදහස් විමසීමට අවශ්‍ය බව අපි දනිමු. නමුත් ඔහු සම්බන්ධ කරගත නොහැකි වූ බැවින් රජයේ පාසලක මේ ආකාරයෙන් ළමයින් සහ දෙමාපියන් පීඩාවට පත්කරමින් සිදුකරන මුදල් එකතුකිරීමක් හෙළිදරව් කිරීම අත්‍යාවශ්‍ය බැවින් ඔහුගේ අදහස් නොමැතිව මෙම ලිපිය පළකිරීමට අපි තීරණය කළෙමු.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා හෝ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ‍වගකීමක් දැරිය හැකි පුද්ගලයකු මෙම පුවත සම්බන්ධයෙන් ඉදිරියේ දී යම් අදහසක් පළකරන්නේ නම් මේ හා සමාන ඉඩක් ලබාදෙමින් එම අදහස් ද ප්‍රකාශයට පත්කිරීමට අපි බැඳී සිටින බව සඳහන් කරන්නෙමු.

19 COMMENTS

  1. විමසීමකින් තොරව කරනු ලැබූ ඒක පාර්ශ්වික කරුණු දැක්වීම නිසා විද්‍යාලයට, විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන්ටත් දරුවන්ටත් විශාල හානියක් සිදුවනු ඇත. මේ පිළිබඳව අප්‍රසාදය පළ කරන අතර අඩුම තරමින් නිවැරදි කිරීමක් සඳහා අවස්ථාව තියෙනවා යයි කිව්වත් ඒ සඳහා වන ඉඩ ප්‍රස්තාව සැලසෙන්නේ කෙසේද යන්නවත් සඳහන් නොකිරීම තුළින් ඔබ මෙය ද්වේශ සහගතව කරන ලද්දක් බව පැහැදිලි බවද ප්‍රකාශ කර සිටිමු. 0777521916

  2. විධිමත් අවසරයක් ඇතුව නිත්‍යානුකූලව කරණ මෙවැනි කටයුත්තකට විරුද්ධව බොරු ප්‍රචාර පතුරවා හරිමින් ඔබ කරන පහත් ක්‍රියාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා.

      • ඒ කොන්ද පණ තියෙන එකෙක්, සූටිං මාටින් කෙනෙක් නෙවෙයි.

    • ඔබ ආදිසිසුවෙක් හරි ඔය වැඩෙන් කොමිස් ලාබයක් ලබන ටික්කෙක් වෙන්න ඇති. ඇත්ත ඇති සැටියෙන් දක්වා ඇත. ඔප්පු කිරීමටද සාක්ශි දක්වා ඇත.

  3. මේ කරුණු සියල්ලම සත්‍යයකි.ඒ ගැන හොදින් කරුණු සොයා බලන්න .

  4. This is totally wrong. I am a parent of a child attending the school. Maximum number of tickets you are allowed to buy per student is 3 ( that is not the minimum and not compulsory). They do not allow to buy more tickets even if you want to.

  5. Being a parent of primary would like to emphasize that this is indeed false ….
    School needs to take legal actions for all who are publishing and circulating this type of misleading and school name tarnishing false broadcasts …

  6. දෙමව්පියනි, නිභයව ඉදිරිපත් වන්න විද්‍යාලයිය දූශිත සහ අමානුශික පරිපාලනයට එරෙහිව. අදාල ආයතන වලට හෝ අඩුම තරමින් පොලිසියට හෝ ඒ ගැන පැමිනිලි කරන්න ඔබට නිසැකවම විසඳුමක් ලැබෙනු ඇත.

  7. රජයේ මෙම පාසල දූෂිත තත්වයක පවතින බව කරුණු සහිතව මෙහි ඔප්පු කර ඇත.( ලිපි දෙක අනුව) ඒ සදහා අවසර ලැබී තිබේනම් එම අධිකාරියද දූෂණයට අත දීමකි. මුදල් වියදම් කිරීමෙන් දරුවන් ඉගෙනගන්නා බව දෙමාපියන් කියන්නේ විදුහල් විසින් දෙමාපියන් රවටා ඇති බැවිනි. මමද මෙම පාසලේ දරුවෙක් සිටින නමුත් පාසල් සංවර්ධන සමිතියේ දී අදහස් දැක්වීමට බිය වී සිටින අනෙක් දෙමාපියන් වැනි අසරණයෙකි. ආදි ශිෂ්‍යයෙක් නොවේ.

  8. පසලේ සිසු දරුවන්ගේ දක්ශතා එළි දැක්වීමට වේදිකාවක් තනා දෙන මෙවැනි කාර්‍යයන් පිළිබඳ නිවැරදි කරුණු නොදැන පළ කර ඇති මෙම සාවද්‍ය ලිපිය මගින් සිදුවන්නේ තම ස්ව උත්සහයෙන් පාසල් පද්ධතිය පවත්වාගෙන යාමට වෙර දරන විදුහල්පතිවරුන්, ගුරුවරුන් අධෛර්‍යමත් වීමය. ලිපිය ලියා ඇත්තේ කව්ද යන්නවත් පළ කර නොමැති, සම්බන්ධකර ගැනීමට කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති මෙම වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම වලටද, මාධ්‍ය නිදහසට ද නිගාවකි.

  9. මෙය ප්‍රව්ර්‍තියකට වඩා දේවේශයකින් හා මඩ ගැසීමේ අරමුණින් කරන ලද අසික්කිත ක්‍රියාවකි. ආනන්දය යනු රටේ කීර්තිමත් නමක් දිනූ හා ජාතික ආගමික අනන්‍යතාවය ආර්ක්ෂාකර ගනිමින් රටට වැඩදායී විශාල මානව සම්පත් බිහිකල හා ඉදිරියටත් රටට එවන් සම්පත් බිහි කරන ජාතික සම්පතකි. මෙයට එකඟවන, නොවන සියලුදෙනාට මෙන්ම ගරහන්නන්ටද නිහඩව එම සේවය සලසමින් වසර 137කට අධික කාලයක් ප්‍රථාපවත්ව නොසැලී අනද මාතාව තවමත් කීර්තිමත්ව බබලන බවද, මෙවන් බාල මාධ්‍ය යයි කියා ගන්නා වෙබ් පඩංගු කලින් කලට මතු වෙමින් දේශීය උරුමයට පහර ගසමින් තමන්ගේ බඩ වඩා ගන්නා බවද නොකියාම බැරිය.
    අවම මාධ්‍ය සදාචාරයක් හෝ ඇති, මාධ්‍ය කරණය තම මූලික අරමුණ කරගත් කිසිදු ආධුනික ආයතනයක් හෝ වෙබ් අඩ්වියක් පුවතක් පල කිරීමේදී මෙයට වඩා සැලකිලිමත් වන බව නොරහසකි. විශේෂයෙන්ම තහවුරු කර නොගත් පුවතක් පළකිරීමේදී හෙඩිම කීර්තිමත් විදුහලක නමින්ම පල කිරීම මගින් තම දුෂ්ඨ අරමුණ සඟවාගෙන පහර දෙන්නට තරම් වත් සංයමයක් මෙම පඩංගු වෙබ් අඩවියට තිබී නැති බව පැහැදිළිය. එම හෙඩිම දිවයිනේ ප්‍රසිද්ධ පාසලක හෝ කොළඹ ප්‍රධාන පාසලක ලෙස පල කෙරුවානම් අන්තර්ගතය ගැන හෝ මාධ්‍ය කෙරුවාව ගැන යම් තරමක හෝ අදහසක් ලැබෙන්නට තිබුණි.
    අවශ්‍යතාව තිබුනානම් මෙහි කරුණු පිළිබද සොයා බලන්නට ක්‍රම ඕනෑතරම් ඇති බව මාධ්‍ය කරුවෝ නොවන්නෝ පවා දනිති. එතෙක් මෙවන් පුවත් පල නොකර ඉන්නට තරම් නොඉවසිලිමත් වීමම මේ කුමන්ත්‍රණයේ සැබෑ ස්වරූපය සනාත කරයි.
    ආනන්දය යනු වෙනම සංස්කෘතියකි. එහි භාවිතාව එම පිං බිමට උරුමයක් ඇතිව පය ගැසූවෝ විදිති. ඔවුන්ගේ දරුවෝද අත් විදිති. අද වන විට ඒ පිළිබඳ නිසි හැඟීමකින් තොරව හොර ලිපිනයන්, හා දේශපාලන හා විවිධ වෙනත් බලපෑම් මඟින් විදුහලට අහඹු ලෙස දරුවා ඇතුල් කරගත් සමහර දෙමාපියන්(සමහර දෙමාපියන් යන්න අවධාරණය කළ යුතුය ) එම සංස්කෘතියට අනුගත නොවීමේ වරද මෙහි ඇති සමහර කොමෙන්ට්ස් දෙස බැලූවිට පෙනීයයි. ඔවුන් තමන්ගේ දරුවන්හටද මෙම මහඟු උරුමය ලැබීමේ ප්‍රොඩ මානසිකත්වය බිඳහෙළන බව වටහා ගත යුතුය. ආනන්දයෙන් ලබනා හරය ලබන්නට ඔවුන් අපොහොසත් වෙති.
    මෙවන් විදුහලක් මෙයාකාරයෙන් නඩත්තුවට අරමුදල් අවශ්‍ය බව නොරහසකි. ඒ සඳහා ආදී ශිෂ්‍ය සංගමය හා සංවර්ධන සමිතිය දරන වෑයම පිළිබද මේ අයට නිසි අවබෝධයක් නොමැත. දෙමාපියන් විසින් ගෙවනු ලබන සංවර්ධන ගාස්තුව ඔබ දරුවා ලබන ප්‍රථිලාභයන්ට අලගුතියන්නටවත් හැකිදැයි මධ්‍යස්ථව සිතා බැලීම වටී.
    මේ ප්‍රසංගයේ මාගේ දරුවා දින 6 ම පැවැත්වෙන ගායනයන් දෙකකට සිටී. ඒ සඳහා පුහුණුවීම් හා පටිගත කිරීම් වලට සහභාගි කිරීම් මෙන්ම අවශ්‍ය ඇඳුම් පැළදුම් සඳහාද, දරුවන් වෙනුවෙන් කරනු ලබන සංග්‍රහයන් වෙනුවෙන්ද මම මහත් සතුටකින් දායක වෙමි. ඒ කුළරත්න ශාලාවේ වේදිකාවේ රඟ දක්වන්නට දරුවෙකුට පිනක් තිබිය යුතුයැයි මම විශ්වාස කරන බැවිනි. එය අනද සංස්කෘතියට අනුගත වූවෝ දනිති.
    අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ මා මේ ප්‍රසංගයට ඉදිරිපත්වන 4 වසරේ දරුවෙකුගේ පියෙකු වුවද මට මේ දක්වා ටිකට් පත් මිළදී ගැනීමට අනිවාර්‍ය කර හෝ දැන්වීම් ලබා දෙන ලෙස හෝ දරුවා අනිවාර්‍යයෙන් සහභාගි කළ යුතු හෝ වෙනත් කිසිදු ආකාරයක බල කිරීමක් කිසිවකු විසින් නොකල බවයි. මම සේනක යාපා බණඩාර ඕනෑම අවස්ථාවක මගේ අනන්‍යතාවය ඉදිරිපත් කිරීමට මා සූදානම්ය.

  10. කොළඹ ආනන්ද විද්‍යාලය,,වර්තමාන විදුහල්පති ලාල් දිසානායක මහතාගේ පැමිණීමත් සමග දැවැන්ත සංවර්ධනයට යොමු වූ බව යථාර්ථය දුටු සියලු දෙනාටම දැකිය හැකි ප්‍රස්තුතයකි.මෙහි යථාර්ථය තේරුම් ගැනීමට නම් විදුහල්පතිතුමාට දුරකථනයෙන් අමතන්නෙ නැතුව පාසලට ගොස් විමර්ශනය යෙදෙන්න. එවිට දැකගැනීමට හැකිවනු ඇත අවුරුදු කීපයක් තුළ සිදුවූ විනාශයන් අවුරුදු දෙකක් තුළ ගොඩනගා ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළක් පිළිබඳව දැනගැනීමට පුළුවන.ඒ පිළිබඳ සැම මීටම මෙහෙ මොහොතේදී ආනන්දේ පරිපාලනය විවෘත බව වගකීමෙන් කිව හැකිය.
    මාධ්‍ය සදාචාරය පවතින්නේ නිවැරදි දැක්ම සමාජගත කිරීමෙනි.ප්‍රාථමික ලෙස මාධ්‍ය අවභාවිතා නොකරන්න.විමර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් තුළින් මාධ්‍ය සදාචාරය සුරකින්න.පටු ඒක පාර්ශවී අදහස් වලට කඩේ යන්න එපා.මේ රටට කෙලවුනෙත් ඒකයි.

  11. මීට වසර 4කට පමණ පෙර ආනන්ද ප්‍රාථමික අංශයේ ප්‍රසංගයක් පැවැත්විය. එය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය තුළ සිදුවූවා. නමුත් මෙපමණ බරක් දෙමාපියන් ට දුන්නේ නැත.. සැබෑ ලෙසම දරුවන්ගේ දක්ෂතා වෙනුවෙන් හොද මිනිසුන් කළ වැඩකි. එය ඒ කාලයේ සිටි රන්දෙනිය නම් ප්‍රාථමික අංශභාර නියෝජ්‍ය විදුහල්පති මෙහෙයවීය. දූෂණයන් වූ බවට කිසිවක් කිව නොහැක. එකළ සියලු දේ ළමයිගෙ දියුණුවට කෙරුවා. ටික කලකින් ඔහුව බලෙන් මාරුකර යවා ඇත. ඇයි කියල හිතාගන්න පුලුවන්නේ .
    අන්න එහෙමයි අද මේ තත්වෙට පාර කපාගන්න ඇත්තේ.

  12. ආනන්දයට පහර ගැසීම භෙළා දකිමු !!!
    මෙවැනි මාධ්‍ය ආයතන මුදල් , ආවේග හා යටි අරමුණු මත ක්‍රියාත්මක වේ. පාසැලේ අරමුදල් විගණනය වන බැවින් මෙවැනි මඩ ප්‍රචාර විද්‍යාලයේ කීර්ති නාමය විනාශ කිරීමට හිතා මතා කරන ලද අපරාධයකි. නැවතත් තමන්ගේ පාසැල නොවන අනුන්ගේ පාසැල් වලට අවලාද නැගීම දැඩි සේ හෙළා දකිමු !!! -###

  13. මෙම පාසලේ විදුහල්පතිතුමා හමු වීමට ඇති එකම ක්‍රමය දුරකථනය හරහා නොවේ. වගකිවයුතු ආයතනයක් නම් ඔහුව ගොස් හෝ හමුවී කරුණු තහවුරු කරගන්නාතුරු පල නොකලයුතුය. එයින්ම මොවුන් ගැන මනාව වැටහේ.
    මම දෙක වසර පුතෙකුගේ මවක්. මෙම ප්‍රසoගය පිළිබද විවිධ පණිවිඩ අපට ඔක්තෝම්බර් මස සිට ලැබුණද මෙහි තිබෙන ලියමන දුටුවේම අදය. සමරු කලාපයට දායක වීමට විවිධ දෙමවුපියන් ඉදිරිපත් වූවාමිස මෙහි ඇති අන්දමින් පන්තියකට අවමයක් ගැන දෙමවුපියෙකු ලෙස මා නම් නොදැනුවත්‍ ය.
    ප්‍රවේශපත්‍ර වල මිල 2000ක් වන අතර (3000ට අලෙවි නොකෙරේ), ආසන සීමිත බැවින් එක් පුතෙකුට ගත හැකි උපරිම සoඛ්‍යාව 3කි.

    තවද, ඇදුම් සදහා වියදම් කළ හැකි උපරිමය 2500කි. මගේ පුතා 1,2,3 වසරවලින් ඉදිරිපත් කෙරෙන English action song එකේ ඉන්නේ. දවස් 6ම රග දැක්වීමට ඇතිමුත්, ඔවුන්ගේ ඇදුමට වියදම් වූයේ ඉතස්ම සුළු මුදලකි. ඒ දරුවන්ට shirt එකක් විතරයි මැහුවේ. ඒකත් quotations 3ක් call කරලා ඉතාම සුළු මුදලකට. ගෙදර තියෙන කළු කලිසමට, අමතර වියදමක් කිසිසේ ඇති නොවීමට පාසැලට දමන සපත්තුයි දාන්න කියුව්වේ.

    මෙම දරුවන් විඩාවට පත් නොකර අවසාන සතියතෙක් පාසලේ
    අධ්‍යාපන කටයුතු කරන අතරම පුහුණු කටයුතු ද කෙරිණි. පාසල් වේලාවෙන් පසු පුහුණුවීම් තිබුනේ දින 3කි. උගන්වන්නට ඇති කාලයෙන්, syllabus cover කරමින් මෙම පුහුණුවීම් කිරීම ගුරුභවතුන්ට සුළුපටු කාර්‍යයක් වන්නට නොමැත.

    මේ අසත්‍ය පුවත දැක්වූ මාධ්‍ය වේදියා කිසියම් දවසක දේශපස්ලකයින් විසින් ඇස් පනාපිටම කරන හොරකම්, සූරාකෑම් ගැන පල කර තිබේද යන්නත් මා දැනගැනීමට කැමතිය.
    මෙවැනි අවස්ථා කුඩා කළ සිටම ලබා දීමේ වටිනාමකම නොදත්, හරි හැටි කරුණු සොයා බලා පල කලයුතු බව නොදත් මෙවැනි මාධ්‍යවේදීන් මෙරටට සාපයකි.

  14. මා ද ඇතුලුව මෙහි මෙය අසත්‍ය බවට කරුණු දක්වමින් තැබූ සටහන් ඉවත් කිරීමෙන් මෙය හුදෙක් ආනන්ද විද්‍යාලය අපකීර්තියට පත් කිරීමට කළ දෙයක් බව ඔප්පු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!