-1.6 C
New York

සිසුන්ගෙන් කෝටි ගණන් මුදල් ගරන, කොළඹ ආනන්දය

Published:

සජීව විජේවීර

කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මිලියන ගණනක් මුදල් ගැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ දක්ෂතා දෙමාපියන් හමුවේ ප්‍රදර්ශනය කිරීමට බව පවසමින් “ආනන්දා ගී රංගා” නමැති ප්‍රසංගයකට දරුවන් පුහුණු කර මේ වනවිට එක් පන්තියකින් අවම වශයෙන් රුපියල් 350,000.00ක මුදලක් එකතුකර දිය යුතු බවට දැක්වෙන නිවේදන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රාථමික අංශයේ සෑම පන්තිකාමරයකින් ම රුපියල් 3,000.00 බැගින් වූ ටිකට් පත් 90ක් සහ රුපියල් 2,000.00 බැගින් වූ ටිකට් පත් 30ක් බැගින් මිල දී ගත යුතු බවයි. මීට අමතරව එදිනට මුද්‍රණය කරන සමරු කලාපය සඳහා සෑම පන්තිකාමරයකින් ම අවම වශයෙන් රුපියල් 20,000.00 ක දැන්වීම් ලබාදිය යුතු බව ද, ඩිජිටල් පුවරුව සඳහා දැන්වීම් රුපියල් 30,000.00 බැගින් සහ එළිමහන් පුවරුවට රුපියල් 12,000.00 බැගින් දැන්වීම් ලබාදෙන ලෙස ද දැනුම් දී ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා එක් වසරකින් පන්ති 06 බැගින් පන්ති 30ක් තිබේ. ඒ අනුව ඔවුන් ප්‍රවේශ පත්‍රවලින් පමණක් එක පන්තියකින් රුපියල් 350,000.00 බැගින් පන්ති 30න් ලබන ආදායම 10,500,000.00 කි. සෑම පන්තියකින් ම අවම වශයෙන්  රුපියල් 20,000.00 බැගින් වූ දැන්වීම් ඉල්ලා ඇති බැවින් අනිවාර්ය දැන්වීම්වලින් පමණක් මෙම ප්‍රසංගය සඳහා ලබන ආදායම රුපියල් 600,000.00 කි ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් සෘජුව රුපියල් 11,100,000.00ක් මේ වනවිට එකතු කරමින් සිටී.

මෙයට අමතරව දරුවන්ගේ රංග වස්ත්‍රාභරණ සඳහා ද උපරිමය රුපියල් 2,500.00ක් ලෙස මුදල් වියදම් කිරීමට දෙමාපියන්ට සිදුව ඇත.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, ප්‍රාථමික අංශය භාර සහකාර විදුහල්පති ඇතුළු පාසල් පාලන අධිකාරිය මෙවැනි විශාල මුදලක් එකතු කරමින් සිටින්නේ විද්‍යාලයීය කුලරතන ශාලවේ දී ම සිසු දරුවන්ගේ දක්ෂතා එළිදක්වන ප්‍රසංගයක් වෙනුවෙන් වීම පුදුමය දනවන්නකි. එම පාසලේ ම දරුවන් පරුදු පුහුණුකර එම පාසලේ ම ප්‍රධාන ශාලවේ දී රඟ දක්වා දෙමාපියන්ට පෙන්වීමට මේ තරම් විශාල මුදලක් අවශ්‍ය කුමන හේතුවකට ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

“ආනන්දා ගී රංගා” ප්‍රසංගය ලබන සඳුදා (18), 19, 20, 21,22, 23 යන දින 06ක් පුරා එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වෙන බවයි. මෙම ප්‍රසංගය දින හයක් පුරා පැවැත්වුණ ද ප්‍රසංගය සඳහා සූදානම් කර ඇති පන්ති අයිතම සංඛ්‍යාව 60කි. එක් පන්තියකින් අයිතම දෙකක් බැගින් පැවැත්වෙන අතර පොදු අයිතම ලෙස පූජා නැටුම හඳුන්වා තිබේ. එය සිදුකරන්නේ  5 ශ්‍රේණියේ දරුවන් විසිනි.

ඊට අමරතව පළමු, දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණිවල ළමයින් විසින් ඉදිරිපත් කරන English Action song, හතරවැනි ශ්‍රේණිසේ සහ පස්වැනි ශ්‍රේණියේ සිසුන් විසින් ඉදිරිපත් කරන English Dance  සහ තවත් සංගීත වි‍ශේෂාං ග  02ක් පොදු අයිතම ලෙස දින 06 පුරාම ප්‍රදර්ශනය කීරීමට නියමිතය.

දෙමාපියන් චෝදනා කරන්නේ මෙය ඉතාත් අසාධාරණ මුදල් ගැරිල්ලක් බවයි. සෑම දරුවකු වෙනුවෙන් ම දෙමාපියන් විසින් අවම වශයෙන් ටිකට් පත් 03ක් මිල දී ගැනීමට සිදුව ඇති බවත්, ප්‍රාථමික අංශයේ වසර දෙකක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකු සිටීනම් ටිකට් පත් 06ක් මිල දී ගැනීමට සිදුව ඇති බවත් ඔවුහු චෝදනා කරති.

පාලස්වල සිසු දරුවන්ගේ දක්ෂතා කළඑළි දක්වන මෙවැනි ප්‍රසංග සංවිධානය කිරීමේ වරදක් නැත. නමුත් ඒවා දෙමාපියන්ට පෙන්වීමට එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ම යොදා ගනිමින් මෙවන් මුදල් ගැරීමක් සිදුකිරීම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් එකතුකිරිමේ ක්‍රියාපටිපාටියට සහ චක්‍රලේඛවලට අනුව නිවරදි ද යන්න සොයා බැලිය යුතුය.

මේ සම්බන්ධයෙන් විමසීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක ඇමතීමට අප උත්සාහ ගත්ත ද එම විද්‍යාලයේ 0112681815 දරණ ස්ථාවර දුරකථන අංකයට කිසිම පුද්ගලයකු සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙහිම පාසල පැවැත්වෙන කාල සීමාවේ දී පිළිතුරු ලබාදුන්නේ නැත.

මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂාකරන වෙබ් අඩවියක් ලෙස මෙම පුවත සම්බන්ධයෙන් ආනන්ද විද්‍යාලයීය විදුහල්පතිවරයාගේ අදහස් විමසීමට අවශ්‍ය බව අපි දනිමු. නමුත් ඔහු සම්බන්ධ කරගත නොහැකි වූ බැවින් රජයේ පාසලක මේ ආකාරයෙන් ළමයින් සහ දෙමාපියන් පීඩාවට පත්කරමින් සිදුකරන මුදල් එකතුකිරීමක් හෙළිදරව් කිරීම අත්‍යාවශ්‍ය බැවින් ඔහුගේ අදහස් නොමැතිව මෙම ලිපිය පළකිරීමට අපි තීරණය කළෙමු.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා හෝ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ‍වගකීමක් දැරිය හැකි පුද්ගලයකු මෙම පුවත සම්බන්ධයෙන් ඉදිරියේ දී යම් අදහසක් පළකරන්නේ නම් මේ හා සමාන ඉඩක් ලබාදෙමින් එම අදහස් ද ප්‍රකාශයට පත්කිරීමට අපි බැඳී සිටින බව සඳහන් කරන්නෙමු.

Related articles

Recent articles

spot_img