spot_img
spot_imgspot_img

“රන් කෙල්ලක්” බිහිකළ ගුරුවරයා

පුවත්

විදෙස්

ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගනිමින් වසර 21කට පසු එවැනි දස්කමක් කළ තරුෂි කරුණාරත්න යනු එක් රැයකින් බිහිවූ තාරුකාවක් නොවේ. අනූපමේය කැපකිරීම, දැඩි අධිෂ්ඨානය හමුවේ ලබාගත් විශිෂ්ඨ පුහුණුව නිසා ම ඇයට මේ සුවිශේෂී දස්කම සිදුකිරීමට හැකියා ලැබිණි.

ශ්‍රී ලංකාව රනින් සැරසූ තරුෂි මළල ක්‍රීඩාවට අත්පොත් තැබුවේ ජනප්‍රිය තලයේ පාසලකින් නොවේ. මහනුවර දිස්ත්‍රික්කයේ ඈත එපිට දුෂ්කර කඳුකර ගම්මානයක් වූ මැණික්හින්නේ වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙනි.

මේ පාසල ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා පාසලයි.

එසේ වුව ද මේ පාසල ගැන දන්නේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින්නන් පමණි. රටේ බහුතරයක් දෙනා මේ පාසල ගැන දන්නේ නැත. වලල මධ්‍ය විද්‍යාලය යනු මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන නිෂ්පාදනාගාරයක් ලෙස හැඳින්විය හැකි පාසලකි.

මේ තරුෂිගේ ක්‍රීඩා ගුරුවරයා ගැන විශ්ව චින්තන විසින් තැබූ Facebook සටහනකි.

90 දශකයේ මැදභාගයේ ඉදල ජාතික මට්ටමේ වැඩ පෙන්වපු වලල සෙට් එක 2000න් පස්සේ කාටවත් ලංවෙන්න බැරි තරමට ලාංකීය පාසල් මළල ක්‍රීඩාවෙ අනසක පතුරවනවා. සමහර තරගාවලිවල මීටර් 400, මීටර් 400×4, මීටර් 800 වගේ ඉසව් සියල්ල පහසුවෙන් ජය ගත්තෙ මේ වලල සෙට් එක. සමහර ඉසව් වලලට ලියලා දීලා වගේ තිබුණේ. සමහර අවස්ථාවල පදක්කම් තුනම දිනන්නෙ වලල. සෙසු පාසැල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවො නම් අකමැතිම නම උනෙත් වලල.

නම් දැරූ පාසැල් පිරුණු මහනුවර නගරයෙන් පිට ගමක කඳු මිටියාවතක පිහිටි වලල ඉස්කෝලෙ කොහොමද මේ තරම් වැඩකාරයෝ හැදුවේ කියලා පුදුමත් හිතෙනවා ඇති. ඒ සුසන්ත ප්‍රනාන්දු ගැන නොදන්න නිසා. ඔහු තමයි වලල මළල ක්‍රීඩාවෙ මහා නිමැවුම්කරු. අද රටට රන් පදක්කම ගෙනාපු තරුෂිගේ ගුරුවරයාත් ඔහුයි.

මම සුසන්ත ප්‍රනාන්දු ගැන කාලෙකට පෙර දැන ගන්නෙ අපේ ඉස්කෝලෙ FB පේජ් එකකින්. ඔහු කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වගේම ආනාව හැදූ දක්ෂ ක්‍රීඩකයෙක්. පාසැලෙන් පස්සේ බණ්ඩාරවෙල අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ක්‍රීඩා ගුරුවරයෙක් ලෙස එලියට එන සුසන්ත සර් සිය දෙවනි පත්වීම ලෙස වලලට එන්නෙ 1990 දි.

එතකොට වලල කුඩා ක්‍රීඩාපිටියක් තිබුණු සාමාන්‍ය පාසලක්ලු. සුසන්ත සර් 1990 දි ජාතික පාසැල් මළල ක්‍රීඩා තරඟාවලියට එන්නෙ එක ක්‍රීඩකයෙක් එක්ක. නමුත් මේ අපූරු මනුස්සයා අවුරුදු තුන හතරක් ඇතුලත මහනුවර ප්‍රබල බාලක බාලිකා පාසැල් පරාජය කරන්නට සමත් වැඩ්ඩො ටිකක් දුම්බර මිටියාවතෙන් බිහි කරනවා පමණක් නෙවෙයි ලංකාවේ පළමු ක්‍රීඩා පාසැල වලල විද්‍යාලයේ පිහිටුවන්නත් පුරෝගාමී භූමිකාවකට පණ දෙනවා. ඒ ආපු ගමන තමයි දශකයක් යනකොට රටම අභිබවා ගිහින් අද වෙනකොට ආසියාවම අභිබවා යන්නෙ.

ඔහු ගමේ කොල්ලො කෙල්ලො ටිකත් එක්ක අවුරුදු 33ක් තිස්සේ මේ ආපු ගමන බොහොම දුශ්කර එකක් බව ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න ඕනැ එකක් නෙවි. බොහෝ කටු කාගෙන ඔවුන් සෑහෙන්න දුරක් පැමිණ තිබෙනවා. කොටින්ම අදටත් දන්න තරමට වලල ඉස්කෝලෙ තියෙන්නෙ මීටර් 200 ප්‍රාථමික ට්‍රැක් එකක්. ලංකාවේ ඉහළින් නම රැන්දූ පාසැලකට පවා දෙන්න පුළුවන් පහසුකම් ටික පවා ලබා දෙන්න අපේ පාලකයන්ට අවශ්‍යතාවයක් නැති එක ගැනත් පුදුම වෙන්න දෙයක් නෑ.

එවැනි කටුක මාවතක සුසන්ත සර් පෙන්වපු පාරෙ ආපු තරුෂි මීටර් 800 ජාතික ශූරිය වෙනකොට එම ඉසව්වේ ජාතික ශූරයා වෙන්නෙ ඇගේ අයියා හර්ෂ. ඒ වලලින් බිහිවෙච්ච ඩිල්ෂි, ශෙහාන්, සෙනිර, ඉඳුනිල්, මධුශංඛ වැනි ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ජවන හා පිටිය වැඩ්ඩන් සිය ගණනකින් දෙන්නෙක් පමණයි. ඔවුන් මෙතෙක් දිනපු ජාතික ශුරතා, ජාතික පාසැල් ශූරතා ප්‍රමාණය සිය ගණනක්.

තරුෂිගෙ පදක්කම් සමග මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන මේ වෙලාව තරම් සුදුසු වෙලාවක් තවත් නෑ මේ ජයග්‍රහණ පිටිපස්සේ නිහඩව බලා ඉන්න සුසන්ත සර්ව සිහිපත් කරන්න. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් (ක්‍රීඩා) ලෙසත්, තවමත් වලල ඉස්කෝලෙ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ජාතික මළල ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙසත් තම රාජකාරීය දේවකාරියක් ලෙස ඉටු කරමින් ඉන්න නිහඩ වීරයා, සුසන්ත ප්‍රනාන්දු යනු වලලට පමණක් නොව අද රටටම සම්පතක් වෙලා අවසන්.

මේ කෙටි සටහන වලල කොල්ලන් කෙල්ලන්ගෙ ‘අපේ සර්’ නම් ඒ අපූරු මිනිසාට උපහාරයක්ම වේ

විශ්ව චින්තන තැබූ පළමු සටහන මෙතැනින්

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!