spot_img
spot_imgspot_img

දකුණේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව තොරතුරු පනත උල්ලංඝනය කරයි

පුවත්

විදෙස්

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව 2016 අංක 12 දරණ තොරතුරු පනතට පටහැනිව කටයුතු කරමින් සිටියි.

එම පනත අනුව විද්‍යුත් තැපැල් මාර්ගයෙන් තොරතුරු ඉල්ලා සිටි විට පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී නියෝජ්‍ය කොමසාරිස් නදීකා ඉන්ද්‍රානි ඉල්ලුම්කරුගේ අනන්‍යතාව තහවරු කර ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් හෝ ඒ හා සමාන තහවරු කළ හැකි ලේඛනයක සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කරන්න යැයි දැනුම් දී තිබේ.

මේය තොරතුරු දැනගැනීමේ පනතට පටහැනි දැනුම් දීමකි.

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ, තල්‍පේ, හීනටිගල පදිංචිව සිටින මාධ්‍යවේදී ඩබ්ලිව්.එල්.අනුර ප්‍රියන්ත විසිනි. ඔහු තම නමින් පවත්වාගෙන යන විද්‍යුත් තැපැල් ලිපිනයක් මගින් පසුගිය අගෝස්තු 31 වැනි දින තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ තම පදිංචි ලිපිනය පැහැදිලිව සඳහන් කරමින්, ජංගම දුරකථන අංකය ද සඳහන් කරමිනි, මෙරට රාජ්‍ය භාෂවක් වූ සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු ඉල්ලුම් පත්‍රයෙහි තමන්ගේ ලිපිනය පැහැදිලිව සඳහන් කර ශ්‍රී ලාංකික පුරවැසියකු බව ද දක්වා ඇත.

මාධ්‍යවේදී අනුර ප්‍රියන්ත එලෙස කරන ලද ඉල්ලීමට පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරිනී නදීකා ඉන්ද්‍රානි  ලියාපදිංචි තැපැල් මගින් 2023-09-05 දිනැතිව SPPRD/A2/4/2 ආංක දරණ ලිපිය මගින් අනන්‍යතාව තහවරු කරන ලෙස දැනුම දී ඇත. එමගින් පවසා ඇත්තේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ පදිංචිය තහවරු කළ හැකි වෙනත් ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසයි.

මෙම දැනුම්දීම පනතට පටහැනි බැවින් අපි තොරතුරු නිලධාරිනියට කතා කළ විට ඇය දිගින් දිගටම පවසන්නේ තමන් නිවැරදි බවයි. විද්‍යුත් තැපෑලෙන් තොරතුරු දැනගැනීමේ අයදුම් පත්‍රයක් යොමුකළ විට පුද්ගලයකුගේ අනන්‍යතාව තහවරු කරගත නොහැකි බවත් එම ඉල්ලීම් ලිපි‍යේ අත්සනක් නොතිබූ බැවින් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු ද යන්න දැනගැනීමට නොහැකි බවත් ඇය කියා සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“අපි කියන්නේ නෑ තොරතුරු දෙන්න බෑ කියලා. කෙනෙකුගේ පුරවැසිභාවය තහවරු කරගන්නේ නැතිව අපිට තොරතුරු දෙන්න බැහැ. ඒ ඊමේල් එකේ කිසිම අත්සනක් නෑ. ඒ නිසා අනන්‍යතාවය තහවරු කරනතුරු අපිට තොරතුරු දෙන්න බෑ.”

ඉල්ලුම්කරු වෙත ඇය එවූ ලිපිය ලැබීමෙන් ම ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු බව තහවරු වන බැවින් තවදුරටත් අනන්‍යතාව තහවරු කිරීම අනවශ්‍ය නොවේදැයි විමසූ විට ද ඇය කියා සිටියේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ පදිංචිය තහවරු කළ හැකි වෙනත් ලේඛනයක් ලබාදෙන තුරු තොරතුරු ලබා නොදෙන බවයි.

එය පනතේ සඳහන් කරුණක් නොවන බවත් තොරතුරු දැනගැනීමේ පනතට පරිබාහිරව අනීතිකව කටයුතු කිරීමට ඇයට හැකියාවක්ක නැතැයි පෙන්වා දුන් විට ද ඇය එය පිළිනොගත්තාය.

මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මීට ඉහත ද තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ලබාදුන් නියෝගයක් ද ඇත.

මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මස 10 වැනි දා තොරතුරු ඉල්ලා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම රෝහලේ තොරතුරු නිලධාරී විසින් දැනුම් දී තිබුණේ ඉල්ලුම්කරුගේ අනන්‍යතාව තහවරු කරන ලෙසයි. ඒ සඳහා ඔහුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉල්ලා තිබිණි.

ඒ පිළිබඳ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිිපත් කළ විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන II) දන්වා තිබුණේ රෝහලේ තොරතුරු නිලධාරියා විසින් දන්වා ඇති පරිදි අනන්‍යතාව තහවරු කර අදාළ තොරතුරු ලබාගන්නා ලෙසයි.

එම දැනුම්දීම් අනුව අනන්‍යතාව තහවරු නොකළ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පේරාදෙණිය ශික්ෂණ රෝහල තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කරන බවට තොරතුරු කොමිසමට පැමිණිලි කළේය. 71/2021 පේරාදෙණිය ශික්ෂණ රෝහලට එදිරිව මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් සිදුකරන ලද අභියාචනය 2021 අප්‍රේල් මස 20 වැනි දින විභාගයට ගත් කොමිසමේ සාපති මහින්ද ගම්මන්පිල, එස්.ජී.පුංචිහේවා, රෝහිණී වල්ගම සහ කිෂාලි පින්ටෝ ජයවර්ධන නියෝග කර ඇත්තේ “කොමිෂන් සභා රෙගුලාසිවල (ගාස්තු හා අභියාචනා කාර්ය පටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) සඳහන් RTI 1 අයදුම්පත ප්‍රකාරව තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයා ශ්‍රී ලාංකික පුරවසියෙක් සඳහන් කර තිබීම ප්‍රමාණවත් බවයි. තොරතුරු ඉල්ලුම්කරුගේ පුරවැසිභාවය තහවුරු කිරීම කරන්න යැයි දැක්විය හැකි වන්නේ සීමිත අවස්ථාවන්හි දී සාධාරණ හේතු මත පුරවැසිභාවය ප්‍රශ්න ගත වන අවස්ථාවන්හි පමණකි.” යනුවෙනි.

එමෙන්ම තොරතුරු ඉල්ලුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බවට ප්‍රයෝගික පදනම්ව පොදු අධිකාරියට සැකයක් ඇති තැනක් හැර, පුද්ගලයෙකු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමක් ඉල්ලා සිටින විට, පුරවැසිභාවය පිළිබඳ තහවුරු කිරීමක් අවශ්‍ය නොවන බව ද කොමිසන් සභාව මෙම නියෝගය මගින් අවධාරණය කර තිබේ.ඒ අනුව පොදු අධිකාරිය සන්තකයේ භාරයේ හෝ පාලනයේ පවතින තොරතුරුවලට අදාළව පිළිතුරු ලබාදීමට කටයුතු කරන ලෙස ද තොරතුරු කොමිසම මගින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගකර තිබිණි.

මෙම සියලු කරුණු අනුව පැහැදිළි වන්නේ දකුණු පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරිනිය තොරතුරු පනත නොසළකාහරිමින් කටයුතු කර ඇති බවයි. එමගින් පුරවැසියාගේ තොරතුරු අයිතිය උල්ලංඝනය කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!