මංගලනාත් ලියනආරච්චි
විසි එක්වන සියවසේ අප මුහුන දී සිටින බරපතලම ගැටළුව වනුයේ,දේශගුණික විපර්යාස හේතුවෙන් මිහිතලය උණුසුම්වීම සහ ඒ තුලින් මානව සංහතිය පත්ව ඇති අතිශය ඛේදනීය ඉරණමයි.
දේශගුනික විපර්යාස යනු, ගෝලීය හෝ කලාපීය දේශගුණික රටාවන්හි හි සිදුවන වෙනස්කම් වන අතර එයට ප්‍රධාන හේතුවක් වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. ඊට ස්භාවික ක්‍රියාවලීන් මෙන්ම මානව ක්‍රියාකාරකම්ද එකසේ බලපා ඇති බව නොරහසකි. දේශගුණික විපර්යාස වල තවත් එක් අතුරු ඵලයක් වන්නේ, සමුද්‍රීය පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමයි. සාගර ජලයේ උණුසුම ඉහළ යාම, මිහිතලයේ පැවැත්මට මෙන් ම මෙරට ධීවර කර්මාන්තයට තර්ජනයක් වන අතර,එය අපගේ ආර්ථිකයටද බලපෑම් එල්ල කරන බව සාගර හා පරිසර විද්‍යාඥයන්ගේ අදහස වී ඇත.
දේශගුණික විපර්යාස මෑත කාලීන සිදුවූවක් නොවුන ද, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන වායු විමෝචනය වැඩිවීම අප වර්තමානයේ අත් විදින ඛේදනීය තත්වය වේගවත් කිරීමට බලපා ඇත. එම ක්‍රියාවලිය “මානව දේශගුණික විපර්යාස“ යනුවෙන් විද්‍යාඥයන් අර්ථ ගන්වයි. වර්තමාන දේශගුණික විපර්යාස වලට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, පොසිල ඉන්දන දහනය, වන විනාශය සහ කාර්මික ක්‍රියාවලීන් මුල්කර ගනිමින් කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායු අපගේ වායු ගෝලයට එකතුවීමයි. මෙම තත්වය හරිතාගාර ආචරණ තත්වයට මග පාදන අතර, එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවත් Climate clock සංවිධානය සදහන් කර සිටි.
හරිතාගාර වායු ස්භාවිකව වායු ගෝලයේ නොතිබෙන්නට පෘතුවි තලයේ උෂ්ණත්වය සාමාන්‍යෙයන් සෙල්සියස් අංශක සෘණ 18 ක් පමණ වීමට ඉඩ තිබුණි. එහෙත්, සුදුසු ප්‍රමාණවලින් හරිතාගාර වායු තිබීම හේතුවෙන් සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් පමණ වී ඇත. එය සෙල්සියස් අංශක 33 ක වැඩිවීමකි. මේ අනුව බලන කල හරිතාගාර වායු මානව පැවැත්මට අත්‍යාවහ්‍ය සාධකයක් වුව ද, පසුගිය දශක කිහිපයේ, හරිතාගාර වායු සාන්ද්‍රණය බොහෝ ලෙසින් ඉහල ගොස් තිබීම මෙම ඛේදනීය තත්වයට මග පාදා ඇත.
හරිතාගාර වායුන්ගේ ප්‍රධානතම වායුව වනුයේ, කාබන්ඩයොක්සයිඩ් වන අතර, එය වාර්ෂිකව ටොන් බිලියන ගණනක් වායු ගෝලයට මුදා හැරේ. මිනිසා විසින් දහනය කරනු ලබන පොසිල ඉන්දන ඊට වැඩි දායකත්වයක් සපයයි. හරිතාගාර වායු අතරින් දෙවන විශාලතම සාමාජිකයා වනුයේ, මීතේන් වායුවයි. එය හරිතාගාර වායු ප්‍රතිශතයක් ලෙස ගත් විට, 24% අගයකි. මීතේන් වායුව පරිසර උෂ්ණත්වය ඉහල දැමීමට වැඩි වශයෙන් දායක වන අතර, එය කාබන්ඩයොක්සයිඩ් මගින් ඇති කරන්නාවු බලපෑම මෙන් 21 ගුණයකි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ද වැඩි වශයෙන් වායු ගෝලයට එක් වන අතර, එම වායුව හරිතාගාර වායු සංයුතියේ 10% ප්‍රතිශතයක් හිමිකර ගනී. නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව කාබන්ඩයොක්සයිඩ් වායුව මෙන් 310 ගුණයක් ගෝලීය උණුසුම වැඩි කිරීමේලා ක්‍රියාකාරි බවින් යුත්තය.

අධි පාරිභෝජන ජීවන රටාවකට උරුමකම් කියන සංවර්ධිත රටවල් බොහොමයක් ගෝලීය උෂ්ණත්වය වැඩි කිරීමට වැඩි වශයෙන් දායක වන බව නොරහසකි. සංවර්ධිත රටවල් හා ගත් කල, ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම සම්බන්දයෙන් අපගේ දායකත්වය අල්ප වන නමුදු, ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් වන ශ්‍රී ලංකාවට දේශගුනික විපර්යාස මගින් සිදුවන අනිටු බලපෑම බැහැර කළ නොහැක.

කිලෝමීටර් 1,700 කට වඩා විහිදෙන වෙරළ තීරයකින් පොහොසත් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, දිගු කලක් තිස්සේ සජීවී සාගර ජීවීන් සඳහා අභයභූමියකි. පොහොසත් මත්ස්‍ය සම්පතකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වටා මුහුදු තීරය, දහස් සංඛ්‍යාත ධීවර ප්‍රජාවට ප්‍රධානතම ජීවනෝපයකි. එහෙත්, දේශගුණික විපර්යාස අර්බුදයේ අවාසනාවන්ත ප්‍රති විපාකයක් වන සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය බිඳ වැටීම සනිටුහන් කර ඇත.

අවුරුදු දහස් ගණනක් පුරාම මිනිසාට ආහාර නිෂ්පාදනයට උපකාරි වු යහපත් දේශගුණික තත්වයන් රැසක් ම මේ වන විට මිහිතලයට අහිමි වී ඇති බව නොරහසකි. දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම ඊට ප්‍රධානතම හේතුවයි. මෙම දේශගුණික විපර්යාසයන් හි අහිතකර බලපෑම ක්ෂේත්‍ර රැසකට එල්ලවී ඇත. ඒ අතරින්, අප රටේ ධීවර කාර්මාන්තයට සිදු කරන බලපෑම සුළුපටු නොවන බව ජාතික ජලජ සම්පත් හා ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජ්‍යාතනය හෙවත් නාරා ආයතනය කියා සිටි. මේ තුලින් වැඩි වශයෙන් අගතියට පත්ව ඇත්තේ, සම්ප්‍රදායික සුළු පන්න ධීවරයන්ය.
නාරා ආයතනය කියන අන්දමට ගෝලිය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු ජලයේ උෂ්ණත්වය පසුගිය කාලය තුල සීග්‍ර ලෙස ඉහල ගොස් ඇත. මෙම තත්වය ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ස්‍ය ගහණය අඩු වීමට හා මත්ස්‍ය සංක්‍රමණික රටා වෙනස් කිරීමට දැඩි ලෙස බලපා ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි. සංක්‍රමණික ධීවරයෝ, මෑත දියඹේ සහ කලපු ආශ්‍රීතව ධීවර රැකියාවේ නිරත ධීවරයෝ මෙයින් මහත් පීඩාවට ලක්ව සිටිති. වසර විස්සකට පමණ පෙර තමන් ලද මත්ස්‍ය අස්වැන්නෙන් හරි අඩක් හෝ වර්තමානයේ අල්ලා ගත නොහැකි බව මුලතිව් නයාරු ප්‍රදේශයේ සංක්‍රමනික ධීවරයෙකු වන 67 හැවිරිදි නල්ලහේවගේ සුනිල් පෙන්වා දෙයි.

නල්ලහේවගේ සුනිල්
‘’ඒ කාලේ අපි නයාරු රස්සාවට ආවේ, ලොකු විශ්වාසයකින්. ඉස්සර එක එක මාලුවට සීසන් තිබුණා. බලයෝ සීසන් එක කාලෙකට. අලගොඩුවෝ තව කාලෙකට. බෝල්ලෝ තවත් කාලෙකට. අවුරුද්ද පුරාම මාලු අල්ලනවා. ඒත්,අද එහෙම විශ්වාසක් ඇතිව රස්සාවේ කරන්න බැහැ. දැන් සංක්‍රමණික ධීවර රැකියාව නැතිවෙමින් යන්නේ. සමහරක් දවසට හොද්දටවත් මාලු නැහැ. ඒ කාලේ අල්ලපු මාලු වලින් භාගයක්වත් දැන් අහුවෙන්නේ නැහැ.. ‘’
එසේම සාගර ජලය ඉහළයාම හේතුවෙන් ධීවර බිම්, නිවාස හා ධීවර වාඩි බිම් අහිමිවීම ද නැගෙනහිර වෙරළ හා දකුණු වෙරළ තීරය තුළ වැඩි වශයෙන් දැකිය හැකියි. විශේෂයෙන් නැගෙනහිර වෙරළ තීරයේ කින්නියා සිට මූතුර් දක්වා සහ ත්‍රීකුණාමලය සිට කුච්චවේලි දක්වා වු වෙරළ තීරය තුල ජීවත්වන ධීවරයෝ මෙම තත්වයෙන් බහුල ලෙස පීඩා විදිති. ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ මාදැල් ධීවරයෙකු වන අබ්දුල් කලීල් කියා සිටින්නේ, වෙරළ තීරය පටුවීම හේතුවෙන් මේ වන විට තම මාදැල් ව්‍යාපාරය අභියෝගයට ලක්ව ඇති බවයි.

අබ්දුල් කලීල්
‘’දැන් එන්න එන්නම මුහුද ගොඩට ඇවිත්. වෙරළ අඩු වෙලා. මේ නිසා මාදැල අදින්න වෙලා තියෙන්නේ මහ පාරට. මේක ලොකු ප්‍රශ්නයක්.‘’
1993 සිට 2023 දක්වා කාලය තුල මුහුදු මට්ටම ගෝලීය වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, එය ඇතැම් සාගර ද්‍රෝණියන්හි අගල් 6-8 අගයක් ගන්නා බවත් හවායි විශ්ව විද්‍යාලයේ පිලිප් තොම්සන්ගේ දත්ත NOAA Climate.gov වෙබ් අඩවිය සදහන් කරඇත.
මේ හේතුවෙන් ඇතිවන භයංකාරත්වය නම්, ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩව වැඩිවන විට, මුහුදු මට්ටම ඉහළ යාම තව දුරටත් වැළැක්විය නොහැකි යතාර්ථයක් බවට පත්වීමයි.
ගෝලීය උණුසුම ඉහල යාම සමුද්‍රීය පරිසර ජෛව විවිධත්වයට මෙන්ම මත්ස්‍ය සංක්‍රමණික රටා පද්ධතියට ද තර්ජන එල්ල කරන බවත්, එය මෙරට ධීවර කර්මාන්තයට සෘජු බලපෑමක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්මේන්තුවේ අංශාධිපති මහාචාර්‍ය තිලක් විජේතුංග බංඩාර කියා සිටියේ ය. මුහුදු ජලයේ හා කලපු ආශ්‍රීත ජලයේ උෂ්ණත්වය ඉහලයාම හේතුවෙන් ඇතැම් මත්ස්‍ය විශේෂ වඳ වී යාම මෙන් ම එම මත්ස්‍ය විශේෂ යහපත් පරිසර පද්ධතියක් සොයා සංක්‍රමණය වීම සිදුවන බවත්, එමගින් ධීවර ජනයාගේ ජීවනෝපායට ආහාර රටාවට මෙන් ම මෙරට ආර්ථිකයට ද සිදු කරනු ලබන බලපෑම සුළුපටු නොවන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මහාචාර්‍ය තිලක් විජේතුංග බංඩාර
මෙරට වෙසෙන ආන්තික ජන ප්‍රජාවක් වන මුහුදු ආදිවාසීන් හෙවත් මුහුදු වැද්දන්ගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දේශගුණික විපර්යාස බරපතල ලෙස බලපෑම් එල්ල කර ඇති බව වත්මන් මුහුදු ආදිවාසි නායක සින්න තම්බි වේලායුදන් කියා සිටි. මුහුදු ආදිවාසීන් යනු, නැගෙනහිර වෙරළ තීරය නිජබිම කරගත් මෙරට වෙසෙන සුවිශේෂි ජන කොට්ඨාශයකි. මුහුදු ආදිවාසීන්ගේ ප්‍රධානතම ජීවනෝපාය වනුයේ, කලපු ආශ්‍රීත ධීවර රැකියාව හා මී පැණි එකතු කිරීමයි.

සින්න තම්බි වේලායුධන්
“අපේ මුතුන් මිත්තෝ රට ඇතුලේ ඉදන් මහවැලි ගඟ දිගේ පහළට ආවේ, ආහාර හොයා ගෙන. ඒ ඇවිත් තමා ඒ අය නැගෙනහිර වෙරළාසන්නව පදිංචි වුනේ. ඒ කාලේ මේ කලපු වල මාලු, කකුළුවෝ, ඉස්සෝ, මුහුදු බෙල්ලෝ ඕන තරම් හිටියා. අපිට ආහාර වලින් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අපි කලපු අවට හිටපු නිසා පසු කාලීනව අපි මුහුදු වැද්දෝ බවට පත් වුණා. අපි වැඩි කාලයක් ජීවත් වුනේ කලපුවෙන්. නමුත්, මේ වෙන කොට කලපුවල ඉස්සර හිටිය මාලු ඉස්සෝ කකුළුවෝ නැහැ. බෙල්ලොත් වඳ වෙලා ගිහිල්ලා. ඒ වගේම ඉස්සර මුහුදේ හිටිය මාලු බිත්තර දාන්න ආවේ, කලපු වලට. ඒකෙන් මාලු හොදට බෝවුණා. ඒත්,දැන් මාලු බිත්තර දාන්න කලපුවට එන්නේ නැහැ. දැන් කලපු මුහුදු වෙලා. මුහුදෙයි කලපුවෙයි මාරුවෙන් මාරුවට ජීවත් වෙච්ච මාලු දැන් මුහුදටම ගිහිල්ලා. ඉස්සර වගේ නෙවෙයි, දැන් කලපු වතුර රස්නේ වැඩියි කියලා අපිටත් තේරෙනවා. කලපුවල හැම තැනම හොරි හෙවත් ජෙලිෆිෂ් බෝ වෙලා. මේ හිංදා අපේ පාරම්පරික කලපු ධීවර රැකියාව මුහුදු ආදිවාසීන්ට අහිමි වෙලා තියෙනවා.”
එකල වැසි සමය අවසන් වන විට කලපු ආශ්‍රීතව මිරිදිය මසුන් බහුල ලෙස දැකිය හැකි වන අතර, එය ඔවුන්ට වසරේ වැඩි කාලයක් ආහාර සපයා ගැනීමට කදිම ගොදුරු බිමක් බවට පත්වේ. එහෙත්, වර්තමානයේ, කලපු ආශ්‍රීතව මෙම මසුන් වඳවී යෑම හේතුවෙන් මුහුදු ආදිවාසීන්ට බරපතල ආහාර හිගයකට මෙන්ම ආර්ථීක අවපාතයකට මුහුණ දීමට සිදුව ඇති බව සින්න තම්බි වේලායුදන් අවධාරණය කළේය.
‘’අපි ඒ කාලේ කලපු මාලු අල්ලලා දුම් ගහලා පුච්චලා කරවල කරලා විකුණුවා. කලපුවේ මට්ටි (මුහුදු බෙල්ලෝ) හාරලා කෑමට අරන් වැඩි හරිය පාරේ තියා ගෙන විකුණලා හොඳ ආදායමක් ගත්තා. අද මේ කිසි දෙයක් අපිට නැහැ. දැන් කලපුවේ විසි දැලක් එලුවොත්, දැල පිරෙන්න අහුවෙන්නේ හොරි. අපේ අය දැන් කැලේ අතහැරලා කොළඹ කුලී වැඩට යනවා.’’ දේශගුණික විපර්යාස හේතුවෙන් තම පරපුර වර්තමානයේ ආපසු හැරවිය නොහැකි අතිශය ඛේදනීය ඉරණමකට මුහුණ දී සිටින බව සින්න තම්බි වේලායුදන් විස්තර කරයි.
ත්‍රිකුණාමාලයේ පදිංචි පාරමපරික මාදැල් කර්මාන්ත කරුවෙකු වන 71 හැවිරිදි කොඩ්බේ ගොඩ්‍ර්න් අප්පුහාමි හෙවත් බේබි මුදලාලි, මුහුදේ රිද්මය හා ජීවය සමග දශක ගණනාවක් පුරා දිවි ගෙවන්නකි. ඔහු පවසන්නේ, මේ වන විට ත්‍රීකුණාමලය අවට මුහුදේ මත්ස්‍ය සම්පත සීඝ්‍ර ලෙස අඩුවී හොරි හෙවත් ජෙලිෆිෂ් වර්ග බහුලව වර්ධනය වී ඇති බවයි. ත්‍රීකුණාමලය මුහුද ආශ්‍රීතව පිහිටි කර්මාන්ත ශාලා මගින් සහ නැව්, ධීවර යාත්‍රා මගින් සමුද්‍රීය පරිසරයට මුදා හරින රසායනික ද්‍රව්‍ය, තෙල් හා වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් මෙම තත්වය ඇතිවී තිබෙන බව බේබි මුදලාලිගේ අහසයි.

කොඩ්බේ ගොඩ්‍ඩ්‍රින් අප්පුහාමි
‘’ඉස්සර මාදැල දැම්මාම මාලු බරට දැල ඉරෙනවා. ඒත්, දැන් මඩියේ භාගෙට භාගයක් හොරි. මේ නිසා ධීවරයන් විදියට අපි ලොකු අසීරුතාවයකට මුහුණ දෙනවා. දැල් ඉරෙනවා. දැල් සුද්ධ කරන්න වෙනම කුලියක් යනවා. ජෙලි වැල්ලේ කුණු වුනහම ගඳ ගහනවා. සමහරක් ජෙලි ඇගේ ගෑවුනාම විෂයි. ඇඟ කසනවා. කැපෙනවා. මුහුදට තෙල් විෂ රසායනික ද්‍රව්‍ය එකතු වෙන එක නිසා තමා මෙහෙම මුහුදු වතුරේ රස්නය ඉහළ ගිහින් මේ තත්වය උදා වෙලා තියෙන්නේ. ඇත්තටම තව අවුරුදු හත අටකින් අපිට මේ මාදැල් කර්මාන්තය අත හරින්න වෙයිද කියලත් සැකයක් තියෙනවා.’’
ශ්‍රී ලංකාව අවට මුහුදේ ජෙලිෆිධ් වර්ග හෙවත් ඩොටියන් වර්ග විසි තුනක් පමණ හඳුනා ගෙන ඇති බවත්, පාරිසරික සාධක වෙනස්වීම සමුද්‍රීය පරිසරයේ ජෙලිෆිෂ් ආක්‍රමණයන් වැඩිවීමට හේතුව වී ඇති බවත් සාගර විද්‍යාඥයන් අදහස වී තිබේ.
පරිසර පද්ධතියේ උෂ්ණත්වය හා ලවණතා වෙනස්වීම් ජෙලිෆිෂ් වර්ග වලට දරාගත හැකිවීම හා අනුවර්ථනයවීමට හැකිවීම මෙසේ ජෙලිෆිෂ් වර්ග වැඩිවීමට හේතුව බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්තව විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය චමරි දිසානායක පෙන්වා දෙයි. දළ වශයෙන් වසරකට ජෙලිෆිෂ් ටොන් 15,600 පමණ මෙරට මුහුදු තීරයේ හමුවන බව 2017 වසරේ සිදුකල නෝර්වේ ශ්‍රී ලංකා සමුද්‍රිය අධ්‍යයනයෙන් තහවුරු වී ඇති බව ඇය වැඩි දුරටත් කීවා ය. මෙය බරපලත පාරිසරික ගැටළුවක් වන අතර, එය මෙරට ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපාන සාධකයක් බව ද මහාචාර්ය චමරි දිසානායකගේ අදහසයි.

සාගර ජලය උණුසුම් වන විට, බොහෝ සත්ව විශේෂ සඳහා තීරණාත්මක අභිජනන භූමියක් ලෙස සේවය කරන සමුද්‍රීය තෘණ පද්ධති මියයාම, කොරල් පර විනාශ වීම හෙවත් විරංජනය වීම සජීවී බවෙන් තොර පරිසර පද්ධතියක් නිර්මාණය වෙයි. මෙලෙස පරිසර පද්ධති අහිමි වීම පාරිසරික ගැටලුවක් පමණක් නොව, එය ආර්ථික හා සමාජීය වශයෙන් ද අර්බුදයකි. මෙම තත්වයේ අහිතකර ප්‍රතිඵල වඩාත්ම බලපානේනේ සුළු පරිමාන ධීවර ප්‍රජාවට බව මහාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර පෙන්වා දෙයි.
ත්‍රීකුණාමලය නිලාවේලි පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වු මෙරට පිහිටි එකම දූපත් ජාතික වනෝද්‍යානයයි. පරෙවි දූපත එසේ ආකර්ශනයට ලක්වීමට ප්‍රධානතම හේතුව ඒ වටා පිහිටි සුවිශේෂි කොරල් පරයයි. පරෙවි දූපත කොරල් පරය මෙරට පිහිටි හොදම කොරල් පරය කිහිපයෙන් එකක් ලෙස හදුනා ගෙන ඇති අතර, එහි එකිනෙකට වෙනස් කොරල් විශේෂ එකසිය පනහකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වන බව වනජීවි දෙපාර්මේන්තුව පවසයි.

කෙසේ වෙතත්, මේ වන විට පරෙවි දූපත වටා පිහිටි මෙම සුවිශේෂි කොරල් පරය මිය යාමේ අවධානමට ලක්ව ඇති බව පරෙවි දූපත ජාතික වනෝද්‍යානයේ හිටපු උද්‍යාන භාරකරු මංජුල මොනරතැන්න කීවේ ය. කොරල් පරය මෙසේ විනාශ වීමට ප්‍රධාන හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සමඟ ඇතිවන උණුසුම් සාගර ජල තරංග බව ද ඔහු පවසයි.

කොරල් පර නිපදවනුයේ,කොරල් බුහුබාවා නැමැති ජීවියෙකු මගිනි. කොරල් බුහුබාවා සමඟ සහජීවනයෙන් වෙසෙන සූසැන්තලී (Zooxanthalae) නැමැති ඇල්ගී විශේෂය කොරල්පර වර්ණවත් කිරීම සිදු කරයි. මෙම ඇල්ගී විශේෂය විවිධ පැහැයන් ගනී. මෙම ඇල්ගීවලට සාගර ජලයේ උණුසුම දරාගත නොහැකි වූ විට කොරල් බුහුබාවගෙන් ඉවත්වෙයි. එසේ ඉවත්ව ගිය පසු කොරල්පර වර්ණවත් කිරීමේ ක්‍රියාවලිය සිදු නොවන අතර, ඉතාම කෙටි කාලයක් තුල කොරල්පර සුදු පැහැ ගැන්වී, කොරල් මිය යාම සිදුවේ. මෙම තත්වය සමුද්‍රීය පරිසර පද්ධතියන්ට මෙන්ම ආහාර දාමවලට බලපෑම් සිදුකරන බව මංජුල මොනරතැන්න කීවේය.

‘’මේ වෙන කොට පරෙවි දූපතේ එක පැත්තක කොරල් පර මැරිලා. කොරල් පර නැති වූ විට ඒ මත යැපෙන වෙනත් සමුද්‍ර ජීවීන්ගේ පැවැත්මටත් එව තර්ජනයක් වෙනවා. බොහෝ මත්ස්‍යන් අභිජනන කටයුතු සිදු කරන්නේ, මේ කොරල්පර පද්ධතිය තුළ. නමුත් කොරල් මැරුණහම ඔවුන්ට ඒ මත ආරක්ෂාව වගේම ආහාරත් නැති වෙනවා. කුඩා විසිතුරු මසුන් බෝවීමත් මේ තත්වය මත නැති වෙනවා. ඒ වගේම පරෙවි දූපත ආශ්‍රීතව කැස්බෑ විශේෂ රැසක් ජීවත් වෙනවා. නමුත්,කොරල්පර නැතිවුනහම කැස්බෑවන්ට ආහාර නැති වෙන නිසා එයාලත් මේ පද්ධතියෙන් ඉවත් වෙනවා. මේ වන විට මුහුදු ජලය උණුසුම්වීම හේතුවෙන් සිදුවන බලපෑම තදබල ලෙස පරෙවි දූපතට බලපාලා තියෙනවා.‘’
ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ සංචාරක මග පෙන්වන්නෙකු වන මොහොමඩ් මොබීන් පවසන්නේ, නිලාවේලි පරෙවි දූපත් කොරල්පරය මියයාමේ අනිටු බලපෑම මේ වන විටත් තම රැකියාවට තදබල අන්දමින් බලපෑම් කර ඇති බවයි. වෙනත් වසර වලදී වසරේ මැයි සිට අගෝස්තු දක්වා අති විශාල ප්‍රමාණයක් සංචාරකයන් නිලාවේලි වෙත පැමිණියද, මේ වන විට එසේ පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව හෙතෙම කියා සිටි.
දේශගුණික විපර්යාස හේතුවෙන් කොරල්පර මියයාම මේ වන විට දිවයින වටා පිහිටි ස්ථාන රැසකම සිදුවෙමින් පවතින බව සාගර විද්‍යාඥයන් අනතුරු අගවයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කල්පිටිය වැලිපර අභය භූමියේ හෙක්ටයාර් 306.7 පුරා පැතිරුණු කොරල්පර දෙක මිනිස් ක්‍රියාකාරකම් හා සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් 99 %ක් ම විනාශ වී ඇති බව සමුද්‍ර සංරක්ෂණවේදියෙකු සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය මහාචාර්‍ය සෙව්වන්දි ජයකොඩි පවසයි.
පරිසරවේදීන් අනතුරු ඇඟවීම
මහාචාර්‍ය සෙව්වන්දි ජයකොඩි ය, ශ්‍රී ලංකාවේ සමුද්‍ර ජෛව විවිධත්වයට දේශගුණික පිළිබදව වසර ගණනාවක් පුරා අධ්‍යනය කරන්නියකි. ඇය පවසන අන්දමට දේශගුණික විපර්යාස මත්ස්‍ය සංක්‍රමණ රටාවට මෙන්ම සාගරික ආහාර දාමයන්හි ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපෑම් කර ඇති අතර ඒ හේතුවෙන් මෙරට ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සෘජු බලපෑම් එල්ල කර තිබේ.
මේ සම්බන්දයෙන් Impacts of Climate Change on Marine Ecosystems සගරාවට අයත්, www.wyb.ac.lk වෙබ් අඩවිය ද තොරතුරු රැසක් සදහන් කර තිබේ.
මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මෙසේ පවසයි.

“අපේ ජලයේ කලක් සමෘද්ධිමත් වූ ඇතැම් මත්ස්‍ය විශේෂ අතුරුදහන් වීම අපි දැනටමත් දකිමින් සිටිනවා. මුහුදු උෂ්ණත්වය ඉහළ යාම නිසා සාගරයේ ආහාර දාමවලට වැඩි දායකත්වයක් සපයන ශාක හා සත්ව ප්ලවාංග විනාශවීම සිදු වෙනවා. ඒ වගේ ම තෘණ භූමි මසුන්ට අවශ්‍ය ඔක්සිජන් නිපදවනවා. සාගරයේ උෂ්ණත්වය වැඩි වූ විට මේ ප්ලවාංගත්, තෘණ භූමිත් විනාශ වෙනවා. ඒ වගේම කොරල් විරංජනයත් සමුද්‍රීය ආහාර දාමයන් බිද වැටීමට බලපානවා. මෙය පාරිසරික ගැටලුවක් පමණක් නොවේ, එය අපේ ධීවරයින්ට සෘජු තර්ජනයක්.”
මහාචාර්‍ය ජයකොඩි පවසන අන්දමට මෙම ශාක ප්ලවාංග හෙවත් සාගර තෘණ භූමි විනාශවීම හේතුවෙන් සාගර පරිසරය තුළ ඔක්සිජන් රහිත කලාප ගොඩ නැගෙන අතර, මේ වන විටත් ඉන්දියානු සාගරයේ ගොඩ නැගුණු එවැනි ඔක්සිජන් රහිත කලාපයන්හි විශාලත්වය ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි. මෙය ඉතාම කණගාටුදායක සහ බරපතල තත්වයක් බව මහාචාර්‍ය සෙව්වන්දි ජයකොඩි කීවාය.
ඕෂන්ස්වෙල් සංරක්ෂණ කණ්ඩායමේ නිර්මාතෘ ආශා ඩි වොස් මෙම ගැටලුව ප්‍රතිරාවය කරයි.
“දේශගුණික විපර්යාස නිසා සාම්ප්‍රදායික ධීවර බිම්වලින් මත්ස්‍ය විශේෂ ඉවතට තල්ලු වෙමින් පවතීනවා.” ඇය පැහැදිලි කරන ආකාරයට ජලයේ උෂ්ණත්වය ඉහළ යන විට, මසුන් සිසිල් ජලයට සංක්‍රමණය වන අතර,ඒ හේතුව නිසා ධීවරයන්ට අඩු මත්ස්‍ය අස්වැන්නකට සීමා වීමට සිදුවේ. මෙම මත්ස්‍ය සංක්‍රමණය සම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ නිරත වු සුළු පරිමාණ ධීවරයන් රැසකට, සිය කර්මාන්තයෙන් බැහැරවීමට පාදක වී ඇති බවත්, සමහරුන්ට ඔවුන්ගේ ධීවර ආම්පන්න සහ බෝට්ටු සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුව ඇති බවත් https://oceanswell.org/ වෙබ් අඩවිය හෙළිකර සිටී.
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට ඇති බලපෑම

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය මෙරට ආර්ථිකයේ මූලික සාධකයක් වන අතර එය මිලියන 02කට අධික ජනතාවකට ජීවනෝපායන් සපයන බව මහ බැංකු වාර්තා හෙළිකර සිටි. කෙසේ වෙතත්, මෙම ඉපැරණි සහ වැදගත්වු කර්මාන්තය වෙනස් වන දේශගුණික තත්වයන් හමුවේ හැරයාමේ සීමාවන්ට භාජනය වෙමින් පවතින බව https://oceanswell.org/ වෙබ් අඩවිය වැඩි දුරටත් පෙන්වා දී ඇත.
දේශගුණික විපර්යාසයන්හි බලපෑම හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම සහ ලවණතා වෙනස්කම් බොහෝ කලක් සමෘද්ධිමත් ධීවර කර්මාන්තයක් පැවති බත්තලංගුණ්ඩුවට දැඩි බලපෑම් එල්ල කර ඇති බවත්, විශේෂයෙන් ඉස්සන්, කකුළුවන් සහ දැල්ලන් ගහනයේ දැඩි පහත වැටීමක් දැකිය හැකි බවත් ධීවරයෝ මැසවිලි නගති. එය ප්‍රාදේශීය ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට දැඩි බලපෑමකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බත්තලංගුණ්ඩුවේ පාරම්පරික ධීවර කාර්මිකයෙකු වන ඇන්ටනී ෆොන්සේකා මෙසේ කියයි.

ඇන්ටනී ෆොන්සේකා
‘’මේ බත්තලංගුණ්ඩුව කියන්නේ, ධීවරයන්ට නිධානයක්. ඒ කාලේ මේකෙ රස්සාව කරන බෝට්ටු දාහකට වඩා තිබුණත්, දැන් තියෙන්නේ සියයකටත් වඩා අඩු ප්‍රමාණයක්. සමහරක් අය බෝට්ටු විකුණලා රට ගිහින්. තවත් අය වෙන වෙන රස්සාවලට ගිහින්. කොටින්ම කියනවා නම්, මේ වෙන කොට මේ මුහුදේ මාලු වද වෙලා. ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ නැත්තටම නැතිවෙලා.‘’
මිනිසා විසින් අවට පරිසරයට මුදා හරින ලබන කාබන්ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ගනු ලබන්නේ සාගරයයි. සාගරය වායුවක් ලෙස අවශෝෂණය කර ගනු ලබන කාබන්ඩයොක්සයිඩ් මුහුදු ජලය සමග දියවී කාබනික් අම්ල නිපදවන අතර, එය සාගරයේ තුලනාත්මකව පවතී. එහෙත්, මිනිසා විසින් විමෝචනය කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවෙත් ම සාගරයේ කාබනික අම්ල ප්‍රතිශතය වැඩි වී, සාගරයේ ආම්ලිකත්වය අසමාන අන්දමින් ඉහළ යයි. ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ මුහුදු බෙල්ලන් වැනි කැල්සියම් කාබනේට් පෘෂ්ඨයක් සහිත මසුන් මෙම පරිසර තත්වය දරාගත නොහැකිව වෙනත් පරිසර පද්ධතියක් කරා යොමුවෙන බව මහාචාර්‍ය සෙව්වන්දි ජයකොඩි වැඩි දුරටත් පැහැදිළි කළාය.

සාගර ජලයේ ආම්ලිකත්වය වැඩිවත්ම ඇතැම් කෙලවල්ලන්, සාඩින් සහ ඉස්සන් විශේෂ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් තවත් ඈතට සංක්‍රමණය වන අතර, ගැඹුරු හා අනතුරුදායක ජලයට යාමට ප්‍රමාණවත් පහසුකම් නොමැති දේශීය ධීවරයින්ට මෙමගින් නව අර්බුදයක් ඇති කරවන බව https://en.wikipedia.org/wiki/Koggala_Lagoon වෙබ් අඩවියද හෙලි කර සිටි.
රජයේ ප්‍රතිචාරය
ශ්‍රී ලංකා රජය මේ ඇතිවී තිබෙන අවදානම පිළිබඳව හොඳින් දැනුවත් ය. වර්ධනය වන තර්ජනයට ප්‍රතිචාර වශයෙන්, සාගර උෂ්ණත්වය නිරීක්ෂණය කිරීමට සහ ධීවර කර්මාන්තයට ඇති වන බලපෑම් අවම කිරීම සඳහා උපාය මාර්ග පර්යේෂණ කිරීමට නාරා ආයතනය පියවර ගෙන තිබේ. මත්ස්‍ය සංක්‍රමණ රටා සහ සාගර තත්ත්වයන් පුරෝකථනය කිරීම අරමුණු කරගත් ධීවර ප්‍රජාවන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සංවර්ධනය කිරීම මෙම මුලපිරීම්වලින් එකකි.
තිරසාර ධීවර ශිල්පීය ක්‍රම හඳුන්වා දීම සහ සමුද්‍ර ජීවීන්ට සිදුවන හානිය අවම කරන පරිසර හිතකාමී ධීවර ආම්පන්න භාවිතය ලබාදීම සඳහා නාරා ආයතනය ජාත්‍යන්තර ආයතන සමඟ මේ වන විටත් කටයුතු කරමින් සිටී. මත්ස්‍ය තොග කළමනාකරණය වැඩිදියුණු කිරීම, සෘතුමය ධීවර තහනම් කිරීම් හඳුන්වා දීම සහ ගැටලුව උග්‍ර නොකරන ජලජීවී වගා පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කිරීම මගින් මෙම වෙනස්කම් වලට අනුවර්තනය වීමට උත්සාහ කරන බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය කේ.අරූලනාදන් පවසයි.

ආචාාර්ය කේ.අරූලනාදන්
මෙම ක්‍රියාත්මකවීම් වලට අමතරව, ධීවර අමාත්‍යාංශය මගින් සමුද්‍ර පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මසුන් ඇල්ලීම සීමා කෙරෙන සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ ස්ථාපිත කිරීමට ද කටයුතු කරමින් සිටි. මෙම උත්සාහයන් අත්‍යවශ්‍ය වුව ද, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව යැපෙන වැඩි පිරිසකගේ ආර්ථික පීඩනයන් ප්‍රසාරණය සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ සංකීර්ණතා යන අභියෝගවලට මෙහි දී මුහුණ දීමට සිදුවන බව නොරහසකි.
මහාචාර්‍ය තිලක් විජේතුංග බණ්ඩාර පෙන්වා දෙන අන්දමට දේශගුණික විපර්යාස අවම කිරීමට ශ්‍රී ලාංකිකයන් ලෙස ගත හැකි ක්‍රියා මාර්ග අවම වුවද, වන වගාව, වෙරළාසන්න පරිසර පද්ධති ආරක්ෂා කිරීම, නාගරික වන වගාව, කෘෂී වන වගාව වැනි පරිසර හිතකාමි ව්‍යාපෘති ප්‍රචලිත කිරීම මගින්, ඊට යම් තරමකින් දායකවීමේ හැකියාව පවති. විශේෂයෙන් සුළං සහ සූර්ය බල විදුලිය වැනි පුනර්ජනීය බලශක්ති වෙත මාරුවීම ඵලදායි අනුවර්තනය වීම් ලෙස සැළකිය හැකි බව හෙතෙම තව දුරටත් කියා සිටියේ ය.
ධීවරයින්ගේ ජීවත්වීමේ අරගලය
ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ධීවරයින්ට දේශගුණික විපර්යාස තවදුරටත් දුරස්ථ තර්ජනයක් නොව,දෛනික යථාර්ථයකි. මුහුදු උෂ්ණත්වය ඉහළ යාම ඔවුන්ගේ පාරම්පරික විශ්වාසදායක ධීවර කර්මාන්ත කඩාකප්පල් කිරීමට හා ඔවුන් පීඩාවට පත් කිරීමට සමත්වී ඇති බව නොරහසකි.
‘’ඉස්සර මුළු පවුලක් ජීවත් කෙරෙව්වේ,මේ රස්සාව…නමුත්,අද වෙන කොට මේ රස්සාව අතහැරලා දාන්න සිද්ධ වෙලා..මම හිතන්නේ ඒක එච්චර හොද දෙයක් නම්,නෙවෙයි.තව ටික කාලෙකින් මේ රස්සාව නැතිවෙලාම යන්න පුළුවන්.. ‘’එසේ කියන්නේ,කුච්චවේලි කල්ලරාව ශාන්ත අන්තෝනි ධීවර සමූපකාර සමිතියේ ලේකම් මානෙල් පොඩිනේරිස් ය.

මානෙල් පොඩිනේරිස්
ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පුරා මෙබදු ජීවන කතා බොහෝමයකි.මත්ස්‍ය අස්වැන්න අඩුවීම, දිගු ධීවර ගමන් සඳහා ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ අනපේක්ෂිත කාලගුණික රටාවන්ගේ අවදානම වැඩිවීම ධීවරයින් මත පීඩනය වැඩි වීමට හේතු වී තිබේ.
වෙනස්වන ලෝකයකට අනුවර්තනය වීම
පවත්නා තත්වය එතරම් යහපත් නොවුනද, මෙම ගැටළුවට ගතහැකි පියවර බොහොමයක් ඇති බවත්, අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යාත්මක ප්‍රතිපත්ති සහ දේශීය සහභාගීත්වය ඒකාබද්ධ කරන බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වනු ඇති බවත් පරිසර හා සාගර විද්‍යාඥයන්ගේ අදහසයි. දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම සඳහා සමුද්‍ර පරිසර පද්ධතිවල අනුවර්තන ධාරිතාව ගවේෂණය කරන පර්යේෂණ සඳහා වැඩි වශයෙන් යොමුවන ලෙස මහාචාර්‍ය සෙව්වන්දි ජයකොඩි ඉල්ලා සිටී.
“උණුසුම් ජලයේ සමුද්‍ර විශේෂවලට ජීවත් විය හැකි ආකාරය සහ ඒවාට නව තත්වයන්ට අනුවර්තනය විය හැකිද යන්න අප තේරුම් ගත යුතුයි” ඇය වැඩි දුරටත් අවධාරණය කරයි.
විද්‍යාත්මක පර්යේෂණවලට අමතරව, තිරසාර ධීවර පිළිවෙත් වඩාත් පුළුල් ලෙස අනුගමනය කළ යුතු බව විශේෂඥ මතයයි. මත්ස්‍ය එකතු කිරීමේ උපාංග (FADs), තිරසාර ජලජීවී වගාව සහ කඩොලාන වනාන්තර ප්‍රතිසංස්කරණය වැනි තාක්ෂණික ක්‍රියාදාමයන් හඳුන්වාදීම මගින් තීරණාත්මක සහනයක් ලබා දිය හැකි බව National Adaptation Plan for Climate Change Impacts in Sri Lanka හි වෙබ් අඩවිය වු www4.unfccc සදහන් කර සිටී.
කාබන් තරකරන සහ වෙරළ තීරයන්ට ස්වාභාවික ආරක්ෂාව සපයන මෙම වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආශා ඩි වොස් වඩාත් පුළුල් කාර්යභාරයක් වෙනුවෙන් පෙනී සිටී.
කාලය ගෙවී යමින් පවතින අතර, දේශගුණික විපර්යාස සදහා අප විසින් ගන්නා ක්‍රියාමාර්ග වේගවත් විය යුතුය යන්න විශේෂඥ මතය වී ඇත. දේශගුණික විපර්යාස ජාතික දේශසීමා ඉක්මවා යන ගෝලීය ගැටළුවක් වන බැවින් ජාත්‍යන්තර සහයෝගීතාවය මේ සදහා අත්‍යවශ්‍ය වනු ඇත. සාමූහික ප්‍රයත්නයන් තුළින්, ශ්‍රී ලංකාවට තම සමුද්‍ර පරිසර පද්ධති ආරක්ෂා කිරීමට පමණක් නොව, ඒවා මත යැපෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ සංස්කෘතියේ තීරණාත්මක කුළුණක් වන ධීවර කර්මාන්තය වර්තමානයේ තීරණාත්මක සන්ධිස්ථානයකට දිශානතව පවතී.
ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන මුහුදු උෂ්ණත්වය, දැනටමත් සමුද්‍ර පරිසර පද්ධති විනාශ කිරීමට පටන් ගෙන ඇති අතර, එය මත්ස්‍ය තොග සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට දැඩි ලෙස බලපා තිබේ. සමුද්‍ර විශේෂ සිසිල් ජලයට මාරු වන විට සහ කොරල් පර විරංජනයෙන් පීඩා විඳින විට, කුඩා පරිමාණ ධීවරයින් සැලකිය යුතු තරමේ විවිධ අභියෝගවලට මුහුණ දෙන බව නොරහසකි.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය (NARA) වැනි ආයතන හරහා රජය මෙම ගැටලුව සම්බන්දයෙන් වැඩි අවධානයක් ලබාදිය යුතු තත්ත්වයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, සාගර තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට සහ තිරසාර ධීවර පිළිවෙත් දිරිමත් කිරීමට පියවර ක්‍රියාත්මක කරමින් සිටීන බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය කේ.අරූලනාදන් කියා සිටි. කෙසේ වෙතත්, මෙම උත්සාහයන් වැදගත් වුවද, එය විසඳුමේ කොටසක් පමණි. දේශගුණික විපර්යාසවල සංකීර්ණතා සඳහා ශක්තිමත් විද්‍යාත්මක පර්යේෂණ, සමුද්‍ර පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය සහ දේශගුණික අනුවර්තන උපාය මාර්ග ධීවර අංශයට ඒකාබද්ධ කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඇතුළත් සහයෝගී, බහු-පාර්ශවීය ප්‍රවේශයක් ලබා දිය යුතුව ඇති බව හෙතෙම වැඩි දුරටත් අවධාරණය කරයි.
රජයේ මුලපිරීම් වලට අමතරව, වෙනස්වන පරිසරයට අනුවර්තනය වීමට දේශීය ධීවර ප්‍රජාවන්ට බලය හා මඟ පෙන්වීම කල යුතුය. තිරසාර ධීවර ක්‍රම, අනුවර්තන තාක්ෂණයන් සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහ ආපදා සදහා සූදානම් වීම, උණුසුම් වන ලෝකයක දිවි ගලවා ගැනීමට සහ සමෘද්ධිමත් වීමට ධීවරයින්ට අවශ්‍ය මෙවලම් වලින් සන්නද්ධ කළ හැකිය.
ඕෂන්ස්වෙල් වැනි සංරක්ෂණ කණ්ඩායම් මහජනතාව දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්ති තීරණවලට බලපෑම් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මෙම කැළඹිලි සහිත ජලයේ සැරිසැරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව රඳා පවතින්නේ විද්‍යාඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සාමූහික උත්සාහයන් මත පමණකි. නව්‍ය විසඳුම් වැළඳ ගැනීමෙන් සහ ගෝලීය සහයෝගීතාවය පෝෂණය කිරීමෙන්, රටට තම සමුද්‍ර සම්පත් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ධීවර කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට සහ අනාගත පරම්පරාවන්ට සියවස් ගණනාවක් තිස්සේ ඔවුන්ව නඩත්තු කළ සාගරය මත විශ්වාසය තැබිය හැකි බව සහතික කළ හැකිය. කුණාටුව දරුණු ය, නමුත් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාවට ඒ සදහා මුහුණ දිය හැකි වන අතර එමගින් ධීවර ප්‍රජාවන් සඳහා තිරසාර සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කළ හැකිවනු ඇත.
කාබන් විමෝචනය සදහා සුදුසුම කාලයයි.. පරිසරයේ හරිත වර්ණය සමග ආර්ද්‍රතාවය ආරක්ෂා කර ගැනීමට ඔබේ සහය ලබාදෙන්න