spot_img
spot_imgspot_img

ඊශ්‍රායල, ඉරාන යුද්ධයේ ජය කාටද ?

පුවත්

විදෙස්

සජීවනී සිල්වා විසිනි

ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඉරානයද නොකඩවා මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටී. මේ දක්වා අවස්ථා එකොලහක දි මිසයිල 370 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලය දෙසට එවිමට ඉරානය කටයුතු කල තිබිණි.

ඊයේ (15) රාත්‍රියේ දි උතුරු ඊශ්‍රායලය සහ ටෙල් අවීව් නුවර ඉලක්ක කරගනිමින් ඉරානය මිසයිල පනහකට අධික ප්‍රමාණයකින් පහර දුන් අතර ඒවා කිහිපයක් පතිත වීමෙන් හයිෆා වරායේ ඇති තෙල් පිරිපහදුවට දැඩි හානි සිදුවිය.

එසේම ඊයේ දිනයේදි එල්ල වු බැලැස්ටික් මිසයිල හතරක් ටෙල්අවිව්වල ජනාකීර්ණ ප්‍රදේශයට කඩා වැදිම හේතුවෙන් සිදුවු ගොඩනැගිලි හානි නිසා මේ දක්වා සිදුවී ඇති මරණ ගණන හතරක් ලෙසට වාර්තා වෙයි.

ඉරානය අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ පළිගැනිම සම්පුර්ණ වන තුරු ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බව සහ කිසිදු සාම සාකච්චාවකට එළැඹ්මෙන් වැළකි සිටින බවයි.ඉහත ප්‍රකාශයෙන් පැහැදිළිවන කරුණක් වන්නේ ඉරානය දිගින් දිගටම ඊශ්‍රායලයට පහර දෙන බවයි.

මෙම ගැටුම දිගු කාලයක් ඇදීයාම අවාසිදායක වන්නේ කුමන පාර්ශ්වයටද යන්නයි අප විමසා බැලිය යුතු කරුණකි.

ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ ඉරාන බුද්ධි අංශවල නාසයට යටින් රිංගා ඉරාන අභ්‍යන්තරයට ම ගොස් සිදු කරන ලද මෙහෙයුම් නිසා ඔවුන් ඉතා ශක්තිමත් රහස් ඔත්තු ජාලයක් ඉරානය තුල ගොඩ නංවා ගැනීමට සමත්ව ඇත.

පසුගියදා න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිව තිබු ගුවන් ආරක්ෂක පද්ධති වලට පහර දීමට යොදා ගත් ඩ්‍රෝන ගබඩා කර තිබු භුගත උමං ඉදිකිරීමේ සිට ඉරාන ආරක්ෂ අංශවල ඉහල නිලධාරින් සහ විද්‍යාඥයන් 14 දෙනකු ද නිවැරදිව ඉලක්ක කිරිමට ඊශ්‍රායලය සමත් වන්නේ එවැනි ඔත්තු ජාලයක් ඔවුන් සතු වූ බැවිනි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ගොඩ නැගු බුද්ධි ජාලය එක්වරම භාවිතයට ගැනිම හේතුවෙන් මේ වන විට එය ඉරාන ආරක්ෂක අංශවලට නිරාවරණය විම ඊශ්‍රායලයට එම ඔත්තු ජාලය නැවත වරක් කඩිනමින් යොදා ගැනිමට නොහැකි වනවා සේම මෙම සිදුවිම පාඩමකට ගෙන තම හිඩැස් වසා ගැනිමට ඉරානය කටයුතු කිරිම ඊශ්‍රායලය පාර්ශවයේ ඇති අවාසියක්.

ඊශ්‍රායලය බලාපොරාත්තු වු පරිදිම ඉරානය මුල් ප්‍රහාරය නිසා වික්ෂිප්ත වුවත් ඔවුන් ඉක්මනින් සිහි එලවා ගන්නට සමත්ව තිබෙන බවක් පෙනි යයි. එසේම මේ දක්වා ඉරානය ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි බුද්ධිමත්ම තීරණය ගෙන තිබිම මේ අර්බුදයට ගෙන විත් ඇත්තේ ඊශ්‍රායලය බලාපොරොත්තු නොවු හැඩ ගැස්මකි.

ඒ ඉරානය මැද පෙරදිග ස්ථාන ගත කර ඇති ඇ‍මරිකානු එක්සත් ජනපද හමුදාවන්ට පහර නොදීමට ගත් තීරණයයි. ඇත්ත වශයෙන්ම ඉරානය එසේ ප්‍රහාරයක් දියත් කළේ නම් එයින් ඊශ්‍රායලයට විශාල වාසියක් අත්වනු ඇත.

මේ ප්‍රහාරයේ දි ඊශ්‍රායලයේ මුලිකම ඉලක්කය වුයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනයි.ඉරානයේ බොහෝ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඔවුන් ඉදිකර ඇත්තේ භූගතවයි. උදාහරණයක් ලෙසට ඔම් කදුකර නගරය ආශ්‍රිතව ඉදි වු ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පවතින්නේ අවම වශයෙන් පොලව මට්ටමෙන් මිටර් 80 ක් පමණ ගැඹුරිනි. මේ නිසා භූමිය මතු පිටට එල්ල කරන ගුවන් ප්‍රහාර වලින් ඒවාට වැඩි තර්ජනයක් නොවනු ඇත.

එසේ නම් භූගත ගොඩනැගිලි විනාශ කිරිමට ඊශ්‍රායලට බන්කර් බස්ටර් බෝම්බ අවශ්‍ය වේ. දැනටත් ඊශ්‍රායලය සතුව GBU 32, 39 වැනි බන්කර් බස්ටර් බෝම්බ වලට පැවතුනත් ෆෝඩෝ වැනි සැලකිය යුතු ගැඹුරකින් ඉදිකර තිබෙන පර්යේෂණාගාර වෙත ඉහත කී බෝම්බවලට ළඟා විම අපහසුයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු ගුවන් හමුදාව සතු GBU 57A බන්කර් බස්ටර් බෝමබයට නම් සිය ඉලක්කය සොයා අඩි 200 කට වඩා ගැඹුරකට ගමන් කිරිමට හැකියාව තිබෙන අතර මෙම බෝම්බ රැගෙන යා හැක්කේ B 2 වැනි බරැති බෝම්බ හෙලන යානාවලට පමණි.

නමුත් ඊශ්‍රායලය සතුව ඉහත කි GBU 57 බෝම්බ සහ B2 වැනි බෝම්බ හෙලන යානා නොමැති නිසා ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉහත කී භුගත මධ්‍යස්ථාන වලට සැලකිය යුතු හානියක් සිදු වු බවට උපකල්පනය කිරිමට නොහැකියි. නමුත් ඉරානය යම් කිසි ලෙසකින් ඇමරිකානු හමුදා වලට පහර දීමක් සිදු කළේ නම්  ඊශ්‍රායලයට භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරිමට ඇමෙරිකානු සහය ලැබිමට වැඩි ඉඩක් තිබුණු බව පැහැදිළි පැහැදිලිය.

ඊශ්‍රායලය සැලකෙන්නේ ලොව ඇති හොදම මිසයිල ආරක්ෂණ පද්ධති සහිත රටක් ලෙසිනි. ඔවුන් සතුව ඇති ඇරෝ ( 2 සහ 3) මිසයිල ආරක්ෂණ පද්ධතිවලට කිලෝමීටර් 100 ක් ඉහළ අහසේදි දිගු දුර බැලැස්ටික මිසයිල විනාශ කිරිමේ හැකියාව ද, ඩේවිඩ් ස්ලින්ග් පද්ධතියට දිගු දුර සහ මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල පොළවේ සිට කිලෝමීටර් පහළොවක් දක්වා උසක දි ඉලක්ක ක්රිමේ හැකියාව ද , ඇමරිකාවෙන් මෑතකදි සැපයු තාඩ් ප්‍රති මිසයිල පද්ධතියට ද කිලෝමිටර් 150 ක් තරම් උන්නතාංශයකදි මධ්‍ය පරාසික බැලැස්ටික් මිසයිල විනාශ කිරිමට හැකියාව ඇත.

ඉරානය සතුව කිලෝමිටර් 300 සිට 2000 දක්වා ගමන් පරාසයක් ඇති බැලැස්ටික මිසයිල 3000ක් පමණ (මේ ගණන ඊට වඩා වැඩිවිය හැකියි) පවතින බව යුද විශේලේෂකයන්ගේ මතයයි. ඉරානයේ සිට ඊශ්‍රායලය දක්වා ඇති දුර වන කිලෝ මීටර 1400ක් ගමන් කිරිමට හැකි මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල වර්ග නවයක් පමණ ඉරානය සතුව ඇත.

ඒ අනුව සරලවම කිවහොත් මේ සටන මිසයිල බලවතකු සහ ප්‍රති මිසයිල බලවතකු අතර සටනක් බව ඉතා පැහැදිළි කරුණකි.

ඉරානය ටෘ ප්‍රොමිස් මෙහෙයුමේ තුන්වන අධියරේ දී ඉහත කි මිසයිල භාවිතා කරමින් එල්ල කල ප්‍රහාර වලදි කැපි පෙනන සිදුවිමක් වුයේ එම  මිසයිල අතර ඇති නවින හයිපසොනික් මිසයිල මෙන්ම තරමක් පැරණි මිසයිලද ඊශ්‍රයාල මිසයිල ආරක්ෂණ පද්ධති මග හරිමින් ඉලක්ක වලට ලගා විමයි.

විශේෂයන්ම හයිෆා වරායට එල්ල වු හයිපසොනික් මිසයිලක විඩියෝ අන්තර්ජාලයේ දැක ගන්නට ඇති අතර ඒවා කෙතරම් වේගයකින් ඉලක්ක වෙතට ළඟා වනවාදයි එයින් තේරුම් ගත හැකිය. ගුවන් යානා මිසයිල වැනි ගුවනේ ගමන්ගන්නා වස්තූන්ගේ වේගය මැනීමට භාවිතා කරන්නේ මාර්ක් යන ඒකකයි. මාර්ක් එකකට වැඩි වේගයක් ඇති මිසයිලයක් සුපර්සොනික් ලෙසටත්, මාක් පහකට වැඩි වේගයක් ඇති මිසයිලයක් හයිපර්සොන්ක ලෙසත් සැළකේ.

ඉරානය සතුව මෙවැනි අති නවින හයිපසොනික් මිසයිල කොපමණ සංඛ්‍යාවක් ඇතිද යන්න ගැන නිශ්චිතවම කිව නොහැකි මුත් ඊශ්‍රායලයට වේදනාත්මක මට්ටමේ හානියක් කිරිමට තරම් ප්‍රමාණවත් එවැනි මිසයිල ඉරානය සතු බවට සැකයක් නැත.

පසුගිය දිනවල ප්‍රහාර එල්ල කිරිමේදි ඉරානය ඉහත නවින හයිපසොනික මිසයිල අතරින් පතර යොදා ගත්තත් ඒ යොදාගත් ඒවා අතරින් වැඩි සංඛ්‍යාවක් සිය ඉලක්කවලටම ළඟා වූ අතර එමගින් සිදුවු හානියද අති මහත්ය.

ඉරානය මෙවැනි හයිපසොනික මිසයිල පමණක්ම යොදා පහර දෙන්නේ නම් එ්වායින් වැඩි ප්‍රමාණයක් මිසයිල ආරක්ෂණ පද්ධතිය මඟහැර යනු ඇතැයි අනුමාන කළ හැකි වේ.

ඉරානය සතුව ඇති කයිබර් ශෙයිකාන්, ගාදිර්, සෙජිල් වැනි මිසයිල අයත් වන්නේ හයිපසොනික් කාණ්ඩයටයි.

මේ හයිපසොනික මිසයිල ඒවායේ වේගය නිසාම නවින මිසයිල ආරක්ෂණ පද්ධතිවලට ග්‍රහණය කිරිම තරමක් අපහසු බව සැළකේ.

ඉරානය සහ ඕමානය අතර පවතින කිලෝමිටර් තිස්තුනක පළලකින් යුත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ බොර තෙල් අතරින් 30% කුත් ස්වභාවික වායු අතරින් 20% නිරන්තරයෙන්ම හුවමාරු වේ. පසුගියදා ඉරානය දෙසින් අසන්නට ලැබුනේ ඔවුන් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමිම ගැන සලකා බලමින් සිටින බවයි. එය වසා දැමුවහොත් ලෝක ආර්ථිකයට එයින් ඇති වන බලපෑම ඉතා අහිතකර වනු ඇත. සමස්ථයක් වශයෙන් ගත් කල මුල් අදියරේ ඊශ්‍රායලය ඉදිරියෙන් සිටියත් ඝෘජු අමරිකානු සහයක් නොමඅතිව ඊශ්‍රායලයට දිගු කාලයක් තනිවම ඉරානය මෙල්ල කිරිමට අපහසු බව පෙනි යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles