spot_img
spot_imgspot_img

වැග්නර් හමුදාව රුසියාවේ මෙහෙයුම නවතා දැමීමට තීරණය කරයි

පුවත්

විදෙස්

රුසියාවට පහරදිමට කටයුතු කළ වැග්නර් හමුදාව තම මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂිින්කෝ සමඟ ඇතිකරගත් ‍එකඟතාවකට අනුව මෙම තීරණය ගත් බව වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කර ති‍බේ. ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බව ද ඔහු පවසයි.

වැග්නර් යනු රුසියාව වෙනුවෙන් යුක්රේනය තුළ මෙහෙයුම් සිදුකළ කුලී හමුදා සේනාංකයකි. යුක්රේනයේ සිට රුසියානු දේශසීමා හරහා ගමන්ගත් මෙම හමදා සේනාංකය මොස්කව් සිට කිලෝ මීටර 1,100ක් දකුණින් පිහිටි රොස්තව්-ඔන්-දොන් නගරයට ඇතුළු වී සිටියේය. එම කුලී හමුදාව රුසියාවේ කැරැල්ලක් දියත් කරන බව පැවසීම හේතුවෙන් රුසියාව ආරක්ෂක විධිවිධාන තරකළ අතර මොස්කව් ඇතුළු නගර කිහිපයක් ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීමට හැකි අයුරින් ආරක්ෂක අංශ කැඳවා තිබිණි.

වැග්නර් හමුදාව සිටින නගරයේ සිට මොස්කව් දක්වා ඇති මාර්ග පවා වසා දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබිණි. ඒ වනවිට රුසියානු හුමුදාව සතු රොස්කව් ඔන් දොන් හමුදා මූලස්ථානය ද වැග්නර් හමුදා විසින් අත්පත් කරගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂින් සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය යුනුස්බෙක් යෙෆ්කොරෆ් සාකච්ඡාවක් ද පවත්වා තිබුණ ද එහි දී වැග්නර් හමුදා ප්‍රධානියා සිය සේනාංක ඉවත්කරගැනීමට එකඟ වී තිබුණේ නැත.

වැග්නර් සේනාංකය, හමුදා කුමන්ත්‍රණයක් දියත් කරන බවට රුසියාව චෝදනා කළේ ඉන් අනතුරුවය.

වැග්නර් හමුදා පවසන්නේ රුසියානු හමුදා ප්‍රධානියා සමස්ත ජාතියම රවටමින් සිටින බැවින් රුසියානු හමුදා නායකත්වය බිඳහෙළීම පමණක් සිය අරමුණ වන බවයි. ඒ අනූව වැග්නර් හමුදාව මොස්කව් දක්වා ගමන් ආරම්භ කරමින් සිටියේය.

වැග්නර් හමුදා, රස්තොව් ඔන් දොන් සහ මොස්කව් අතර පිහිටි වරෝනේෂ් වෙත ළඟාවීම වළකමින් රුසියානු හමුදා M -4 මාර්ගයට ගුවන් ප්‍රහාරයක් ද එල්ල කළේය. ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා රුසියානු හමුදාව වරොනේෂ් හි ඉන්ධන ගබඩා සංකීර්ණයක් ද පුපුරුවා ඇත.

කෙසේ වෙතත්, වැග්නර් හමුදාව රුසියානු ගුවන් සන්නිවේදන යානාවක් සහ හෙලිකොප්ටර් යානයක් ඊයේ වෙඩි තබා බිමහෙළා තිබුණි. 

රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ නිර්භීතව කටයුතු කරන ලෙසට තමන් ඉල්ලා සිටින බවය.

සටන් කරනුයේ තම මිනිසුන් වෙනුවෙන් බැවින් අනාගතය තීරණය කරන මෙම සටනේ දී සියල්ලන් එක්ව කටයුතු කළ යුතු බවද ඔහු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!