මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චේාදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය සහ දියණිය තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග අද (18) නියෝග කළ ද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් තිදෙනා රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.
එක් එක් සැකකරුට රුපිය්ල 50,000.00ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් නියම කර තිබිණි.
මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් විසින් රුපියල් මිලියන 97.35ක මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන්ගේ ගනුදෙනු සම්බන්ධයේන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිෂන් සභාවට වාර්තා කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබිණි. මෙහි දෙවැනි සැකකාරිය වන හිිටපු අමාත්‍යවරයාගේ බිරිඳට සහ තුන්වැනි සැකකාරිය වන දියණියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් විමර්ශනවල දී සොයාගෙන තිබිණි.
සැකකරුවන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයේන ද විමර්ශන සිදුකරන අතර ඔවුන්ට අයත් රුපියල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවතින බවට තොරුතරු අනාවරණය වී ඇතැයි ද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
තුන්වැනි සැකකාරියට අයත් සහාධිපත්‍ය දේපළක් තහනම් කර ඇති අතර, එම සැකකාරියගේ සැමියා හෙවත් හිටපු අමාත්‍යවරයාගේ බෑණාට අයත් බව කියන වාහනයක් ද අල්ලස් කොමිෂන් සභාව භාරයේ රඳවාගෙන තිබේ.
සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් නිල නිවාස හා වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ සිදුවූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම විසින් විමර්ශන සිදු කරන බව එම කොමිසමේ නිලධාරීන් කියා සිටියේ ය.
එයට අදාළ විමර්ශනවල දී සාක්ෂිකරුවන් සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බවත් ඔවුන් වෙත එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් එලෙස සාක්ෂි දීමට ටමැළිකමක් දක්වන බවත් අල්ලස් කොමිෂමේ මතය විය. එබැවින් සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා තිබිිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ විමර්ශන සඳහා අවශ්‍ය සියලු සහාය සැකකරුවන් විසින් අල්ලස් කොමිෂම වෙත ලබා දී තිබෙන බවයි.
සැකකරුවන් විසින් ඔවුන් ආදායම් උපයාගත් ආකාරය ලේඛන සහිතව අල්ලස් කොමිසම හමුවේ පැහැදිලි කර තිබියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තම සේවාදායකයා නීති විරෝධී ලෙස මැණික් පතලක් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම විසින් චෝදනා එල්ල කළත් එය නිසි පරිදි රජයට බදු ගෙවා පවත්වාගෙන ගොස් ඇතැයි ද එම පතලින් මැණික් ලැබී ඇතැයි ද නීතිඥවරයා කීවේය.
එම මැණික් ජාතික ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ වෙන්දේසියකදී විකුණා රුපියල් මිලියන 610 ක් සහ මිලියන 125ක් රජයට අය විය යුතු බදු ගෙවීමෙන් පසුව උපයා ගත් බවත් එම සියලු ආදායම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට පැහැදිලි කර තිබෙන බවත් කියා සිටියේය.
තම සේවාදායකයා මීට සති කීපයකට ඉහතදී මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටි අතර ඔහු යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කරනු ලබන ඉල්ලීම පිළිගත නොහැකි බවත් නීතිඥවරයා චෝදනා කර ඇත.
තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම සිදුකර ඇති බවට තහවුරු වන සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති නිසා සැකකරුවන් සියලු දෙනා ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අනතුරුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරීමට නියම කළේය. ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 24 වන දා කැඳවීමට ද නියම කර ඇත.