spot_img
spot_imgspot_img

සාරිය එපා කියා පාසල් ගිය ගුරුවරු

පුවත්

විදෙස්

රට පුරා පාසල් රැසක ගුරුවරියෝ අද (21) තමන්ට පහසු ඇඳුමකින් සැරසී රාජකාරී සඳහා ගියහ. මෙලෙස පහසු ඇඳුමකින් සැරසී පාසල් ගිය ගුරුවරියෝ ඒ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පවා පළකර ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අප කළ විමසීමක දී එහි ඉහළ නිලධාරියකු පැවසුවේ ගුරුවෘත්තියේ යෙදෙන පිරිමි හෝ ගැහැනු අයගේ ඇඳුම සම්බන්ධයෙන් කිසිදු නීතියක් හෝ උපදෙස් මාලාවක් හෝ මෙතෙක් නිකුත් කර නැති බවයි. ගුරුවරියන්ගේ ඇදුම සාරිය යැයි නීතියක් නැතත් එය සම්ප්‍රදායක් බවට පත්ව තිබෙන බව ද යහපාලන රජය කාලයේ ගැබිනි ගුරුවරියන්ට ඊට සුදුසු ඇදුමක් හදුන්වාදුන් බව ද එම ප්‍රකාශකයා කීවේය.

පසුගිය අර්බුදකාරී වාතාවරණය තුළ රාජ්‍ය සේවකයන්ට සුදුසු සහ පහසු ඇඳුමකින් සැරසී කාර්යාලයට පැමිණීමට අවසර ලබාදෙමින් නිකුත් කළ උපදෙස් අනුව ගුරුවරියන්ට ද සාරිය හැර වෙනත් සුදුසු පහසු ඇඳුමකින් සැරසී රාජකාරී සඳහා වාර්තා කිරීමට අවසර ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් විසින් කරන ලද ඉල්ලීමක් මහත් ආන්දෝලනාත්මක තත්වයකට පත්ව තිබිණි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් භික්ෂූන්ගෙන් කරුණු විමසූ අතර ඔවුන් ඊට දැඩි විරෝධයක් දක්වා තිබිණි. ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද කියා තිබුණේ ගුරුවරුන්ට සාරිය හැර වෙනත් ඇඳුමක් ඇඳීමට ඉඩ නොදෙන බවයි.

තත්වය එසේ තිබිය දී අද (21) සිට සාරිය වෙනුවට වෙනත් සුදුසු සහ පහසු ඇඳුම් අඳින බව පවසමින් රටපුරා පාසල් ගුරුවරියන් රැසක් වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණ තිබිණි.

ගුරුවරු බොහෝ දෙනකු පවසන්නේ තම රාජකාරී සිදුකිරීමේ පහසුවත්, ආර්ථික ගැටලුවත් හේතුවෙන් තම රාජකාරියට සුදුසු සහ පහසු ඇඳුමක් ඇඳීමට තීරණය කළ බවයි. එම ගුරුවරියන් පවසන්නේ රාජකාරී සඳහා පැමිණීමේ දී බස් රථයේ දී, දුම්රියේ දී පවා සාරිය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වන බවයි. තවත් පිරිසක් පවසන්නේ සාරි සහ ඔසරිය ඇඳීමේ දී කාන්තාවන්ගේ සිරුරේ වැඩි කොටසක් නිරාවරණය වන බැවින් සාරියට වඩා සිරුර හොඳින් ආවරණය වන වෙනත් පහසු ඇඳුමක් ගුරුවරියන්ට වඩාත් සුදුසු බවයි.

තමන් සාරිය ප්‍රතික්ෂේප කරමින් වෙනත් ඇඳුමකින් සැරසී අද පාසලට පැමිණි විට සිසු දරු දැරියන් ද ආදරයෙන් පිළිගත් බව එම ගුරුවරියෝ සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!