spot_img
spot_imgspot_img

බදු සංශෝධනය ගැන ජනාධිපති කියන කතා

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් බදු සංශෝධනය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස වී ඇත්තේ සෘජු බදු අයකිරීම 20% ඉක්මවිය යුතු බවයි. 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනය සියයට 14.5 ත් සියයට 15 ත් අතර ආදායම ලබාගැනීමේ ඉලක්කය කරා යෑම සඳහා 100,000ට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් මත ආදායම් බදු අයකිරීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා කීවේය. එම තීරණය වෙනස් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොලැබෙන බව ද හෙතෙම පවසයි.

IMF නිර්දේශ නොලැබෙන්නේ නම් ලෝක බැංකුව ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවලත් සහයෝගය ලබාදෙන රටවල්වලත් ආධාර නොලැබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු පවසන්නේ දැනට පවතින තත්වයට වඩා අසීරු තත්වයක්  ඉදිරියේ දී ඇතිවිය හැකි බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නැතිනම් නැවත පෝළිම් යුගයක් ඇතිවන බව ද ඔහු කීවේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කිරීම සහ මහ කන්නය තුළින් වැඩි අස්වැන්නක් ලබාගෙන ඉන් ලැබෙන ආර්ථික වාසි ලබා ගැනීම සිය අරමුණ බව ද ජනපතිවරයා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දුනි.

මෙම අමාරු තීරණ පිළිබඳව පසුබිම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒවා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බව ද එම තීරණ පිළිබඳව විටින් විට යළි සලකා බැලීමක් සිදුකරන බවද ජනපති පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වනවිට සියයට 70ත් 75ත් අතරට පත්ව තිබේ.

පසුගිය වසර දෙක තුළදී බිලියන 2300ක් මුදල් මුද්‍රණය කිරීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට මූලික හේතුව වී ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික (ඔක්තෝබර් 07) රැස්වීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පුද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනෙකුට වැඩි පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට සහභාගී වුණා.

ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් 03 වන ජපානය, චිනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේ දී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාව. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්වී පාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා දැනුම් දී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගී වුණා. විශේෂයෙන් අමෙරිකාවේ, භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදු කිරීමට අපිට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි. ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් අවශ්‍යය බව අපිට දැනුම් දුන්නා. ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩිකරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.

එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.

නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපිට රුපියල් බිලියන 600ක්, 700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.

අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.

අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. රටේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේ ද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදු වෙනවා. ආදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේ දී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70% – 75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.

මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.

අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවෙනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදු කළ බවත්ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනව නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා. ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය පුද්ගලික බදු. අපි වැඩිපුරම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අපි සෘජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමණයක් ලබාගත්තේ වක්‍ර බදු වලින්.

විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා, ඒ අය කිව්වේ සෘජු බදු වලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 02ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා, එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක – 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිං යුගයට යන්න වෙනවා.

මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහකන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩු වෙනවා. ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.

අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාරගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලුදෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බව ද සඳහන් කරන්න කැමතියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!