ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජයකට ඇද දමමින් අද (16) විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේ දී ම පෙරැළිකාර ජයක් ලැබීමට නැමීබියානු කණ්ඩායම සමත් වූයේය.
ඕස්ට්‍රේලියාවේ ජීලොන්ග්හි පැවැති මෙම සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ දී කාසියේ වාසිය පරාජයට පත්වීමෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩායම ලකුණු 164ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක දී ලකුණු 108කට දවා ගැනීමට නැමීබියානු පන්දු යවන්නෝ සමත්වූහ. ඕස්ට්‍රේලියානු තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීම වාසි සහගත බව සියලු ක්‍රිකට් විචාරකයන් කියද්දී ශ්‍රී ලංකාව හඹායාම තෝරාගත්ත ද එය පසුව පාරාවළල්ලක් විය.
පළමුව පන්දුවට පහරදුන් නැමීබියානු ඉනිමේ 16 වැනි පන්දුවාරය අවසන්වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ පාලනය අත්පත් කරගෙන තිබිණි. ඒ වනවිට කඩුලු 06ක් බිඳවැටී ඔවුන් ලබා සිටියේ ලකුණු 106ක් පමණි. නමුත් අවසන් පන්දු 24 දී තවත් ලකුණු 54ක් ලබා ගැනීමට නැමීබියානු පිතිකරුවන් සමත් විය. අවසන් පන්දුවාර 05 දී ලකුණු 44ක් ලබාගත් යාන් ෆ්‍රයිලින්ක් මුහුණ දී තිබුණේ පන්දු 28කට පමණි. ඔහුට මනා සහයක් දුන් ජේ.ජේ.ස්මිත් ලකුණු 31ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ දී ම කුසල් මෙන්ඩිස් දවා ගැනීමට නැමීබියානු නායක ඩේවිඩ් වීස් සමත් වූ අතර පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක පිට පිට පන්දු දෙකක දී දවා ගත් බෙන් ෂිකොන්ගෝ ඊළඟ පන්දුවේ දී භානුක රාජපක්ෂ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකරගත්තේ යැයි ප්‍රබල ඉල්ලීක් කළේය. නමුත් විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කරද්දී තුන්වැනි විනිසුරුගේ සහය ගැනිමට නැමීබියා නායකයා පැකිළුණේ නැත. එසේ වුවත් භානුකට එල්ල වූ පන්දුව පතිත වූ ස්ථානය සහ පිට ඉන්නට තරමක් මෑතින් තිබීම යන කරුණු හේතුවෙන් භානුකට තවදුරටත් පිටියේ සිටීමට අවස්ථාව ලැබුණේ ෂිකොන්ගෝට කඩුළු ත්‍රිත්වය අහිමි කරමිනි
භානුක රාජපක්ෂ (20) සහ නායක දසුන් ශානක (29) නැවත තරඟය ශ්‍රී ලංකාව දෙසට අවතීරණ කිරීමේ අරමුණින් පන්දු 24ක දී ලකුණු 34ක් ලබාගත්ත ද භානුකගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා පරාජය වළක්වා ගත නොහැකි විය. අවසන් කඩුළු 06 ලකුණු 34ක දී අහිමිවිය.
ක්‍රීඩාංගණයේ තණ තීරුව දෙපසින් හතරේ සීමාව වඩාත් සමීපව තිබුණු බැවින් ශ්‍රී ලංකා පිතිකරුවන් දළ ලකුණු ලබා ගැනීමේ වේගය 08කට ආසන්නව තබා ගත යුතු බැවින් දෙපසින් හයේ පහර සහ හතරේ පහර සඳහා උත්සාහ කරන බව පෙනෙන්නට තිබිණි. නමුත් ඉහළට ඇදී ගිය පන්දු 07ක් ම හතරේ සීමාව ආසන්නයේ සිටි නැමීබියානු පන්දු රකින්නන් අත රැඳීම පරාජයට මූලික හේතුවක් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟය ලබන 18 වැනි දා එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ මෙම පිටියේ දී ම පැවැත්වේ.
නැමීබියාව පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 163 යි – (නිකොල් ලොෆ්ටීට්න් 20, ස්ටීවන් බාර්ඩ් 26, ගර්හාඩ් එරැස්මස් 20, යාන් ෆ්‍රයිලින්ක් 44, ජේ. ජේ. ස්මිත් (නොදැවී) 31, ප්‍රමෝද් මදුශාන් 37/2, මහීෂ් තීක්ෂණ 23/1, දුෂ්මන්ත චමීර 39/1, චාමික කරුණාරත්න 36/1, වනිඳු හසරංග 27/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි – (දසුන් ශානක 29, භානුක රාජපක්ෂ 20, ධනංජය ද සිල්වා 12, ඩේවිඩ් වීස් 16/2, බර්නාඩ් ෂූල්ට්ස් 18/2, බෙන් ෂිකොන්ගෝ 22/2,ථ යාන් ෆ්‍රයිලින්ක් 26/2, ජේ.ජේ. ස්මිත් 16/1)