spot_img
spot_imgspot_img

ක්‍රීඩා ජයග්‍රහණ ආර්ථිකයට ශක්තියක් වෙයි

පුවත්

විදෙස්

සීනාත් අයුබ් විසිනි

2022 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ආරම්භය ධනාත්මක වූයේ පුහුණු තරඟයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදියා වූ සිම්බාබ්වේ කණ්ඩායම පහසුවෙන් ම පරාජය කිරීමට හැකිවීමෙන්.  නායක දසුන් ශානක සහ ඔහුගේ කණ්ඩායම පසුගිය මාස කිහිපය තුළ සහභාගී වූ සියලුම ප්‍රධාන තරඟාවලිවල දී සුවිශේෂී දස්කම් පෙන්වීමට සමත්වීඹත් විශේෂත්වයක්.

මේ වසරේ ජූනි-ජූලි මාසවල සිදු වූ සති හයක ඔස්ට්‍රේලියානු සංචාරය අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ මූල්‍ය අපේක්ෂාවන් ඉහළ නංවා ඇති බව විස්තර කළ හැකියි. මෙම සංචාරය ආර්ථිකයට මුදල් එන්නත් කළා පමණක් නොව, එය “විසිට් ශ්‍රී ලංකා” ව්‍යාපාරයේ ආරම්භය හරහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙසද භාවිතා කළ හැකි වුණා. කෙසේ වෙතත්, නිදහසින් පසු ඔවුන්ගේ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලාංකිකයන්ට එය හුදෙක් මුදල්වලට වඩා වැඩි දෙයක්. එය දුෂ්කර කාලවල දී සතුට, ප්‍රීතිය සහ උද්යෝගයේ උත්තේජනයක්.

එක්දින ජාත්‍යන්තර (එක්දින) තරඟාවලියේ ජයග්‍රහණය ඇතුළුව තරඟ 10 න් 5 ක්ම ජයග්‍රහණය කිරීමට කණ්ඩායම සමත් වූ හෙයින් මෙම සංචාරය සැබවින්ම මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ මුහුණුවල සිනහවක් ඇති කිරීමට සමත් වුණා. අතිශය දුෂ්කර අවස්ථාවක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළ සංචාරයක නිරත වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඔවුන්ට සිය කෘතඥතාව පළ කිරීමට අමතක කළේ නැහැ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙරටට පැමිණීමට ස්තූතිය පළ කරමින් ක්‍රීඩා ලෝලීන් බැනර් සහ පුවරු රැගෙන ගිය අයුරු සංචාරය පුරාවටම දක්නට ලැබුණු දෙයක්.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව පිට පිට ජයග්‍රහණ ලැබීමෙන් මාසයකට පමණ පසුව පැවැත්වෙන 2022 ආසියානු කුසලානයට පිවිසීමට කණ්ඩායමට සහ ක්‍රීඩා ලෝලීන්ට විශාල බලාපොරොත්තුවක් සහ නව ශක්තියක් ලබා දුන්නා. ආසියාවේ විශාලතම ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමෙන් ඇති වන වාසි රැසක් හේතුවෙන් රටේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් විය හැකි බැවින් තරඟාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව ලබා ගැනීම පිළිබඳ පුවත් සමඟ වැඩි උද්යෝගයක් සහ ප්‍රීතියක් ඇතිවුණා.

කෙසේ වෙතත්, සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින්, 2022 ආසියානු කුසලාන තරඟාවලිය පවත්වන ස්ථානය තරඟාවලිය ආරම්භ වීමට දෙසතියකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත ගෙන යන ලදී. දිවයිනේ පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙම “දුෂ්කර” තීරණය ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC)බල කෙරුණු බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ ප්‍රකාශය වුණා.

කෙසේ වෙතත්, 2022 ආසියානු කුසලාන තරඟාවලිය පුරාවටම සංචාරක ප්‍රවර්ධනය සඳහා රඳවාගෙන සිටින සත්කාරක අයිතිවාසිකම් උපරිම ලෙස භාවිතා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලය සහතික වුණා. මෙම අරමුණ සඳහා දූපත් ජාතිය බොහෝ උපාය මාර්ග භාර ගත් ආකාරය මනාව පැහැදිළියි.

මෙම ක්‍රමෝපායන් අතර ප්‍රමුඛතම කරුණ වූයේ ක්‍රීඩකයන්ගේ පිතිවල #visitSriLanka ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමයි. රජයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් අවසර ඉල්ලා තිබුණේ රටේ පිරිහෙමින් පවතින සංචාරක කර්මාන්තයට සහයෝගය දැක්වීම සඳහා මෙම ස්ටිකර් භාවිතා කිරීමටයි. ශ්‍රී ලංකා සංචාරක තානාපති සහ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ද එම අදහස් ප්‍රචාරය කළා.

2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ සාර්ථකත්ය පෙන්වා දුන් අවස්ථාවක්. ඇෆ්ගනිස්තානයට එරෙහිව අතිශය වේදනාකාරී පරාජයක් ලබමින් තරගාවලිය ආරම්භ කළ ද, මුල් දිනවලදී දුර්වල කණ්ඩායමක් ලෙස නම් කළ දසුන් ශානක ඇතුළු කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව තරඟය ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පෙරළිය පෙන්වීමට සමත් වුණා. ආසියානු කුසලානයේ අනෙක් සියලුම තරග ජයග්‍රහණය කිරීමට හැකිවීම ඔවුන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්.

සැප්තැම්බර් 11 වන දින සැමරුම් උච්චතම අවස්ථාවට පත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 2022 ආසියානු කුසලානයේ ශූරයන් ලෙස නැගී සිටීමත් සමඟ, වසර 8 කට පසු රටට ප්‍රධාන ක්‍රිකට් තරඟාවලි ජයග්‍රහණයක් සහ මිලියන 21 කට වැඩි ජනතාවගේ හදවත් සතුටින් උද්දාමයට ලක්වුණේ පෙර නොවූ විරූ ලෙසින්.

ගයාංජලී අමරවංශ සහ ඇයගේ කණ්ඩායම විසින් එදිනම මෙරටට රැගෙන ආ ආසියානු දැල්පන්දු ශූරතාවය ද ආසියානු කුසලාන ජයග්‍රහණයට එක්වීම විශේෂත්වයක්. සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙවර තරගාවලියේ දී සමත් වුණා.

සැප්තැම්බර් 11 වෙනිදා රට වෙනුවෙන් තවත් බොහෝ දේ සිදු වූ දිනයක්. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව The Road Safety World Series 2022 හි දී ඔවුන්ගේ පළමු තරඟයට එදා ඉන්දියාවේ දී මුහුණ දී සිටියා. මෙහි දී ද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දින දර්ශනයේ ඓතිහාසික දිනය බවට පත් කරමින්.

ඉන්දියාවේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියා.

මෙම චමත්කාරජනක ක්‍රීඩා ජයග්‍රහණවලින් මාසයක් ඇතුළත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැමිණියේ ජයග්‍රහණයේ මිහිරියාවට තවත් රසය එක් කිරීමටය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 14කට පසු පළමු වරට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි අතර, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය පරාජය කරමින් ශූරතාවය දක්වා ළඟා වුව ද අවසන් මහා තරඟයේ දී අනපේක්ෂිත පරාජයක් ලැබුවා.

මෙම සියලු ජයග්‍රහණ, ක්‍රීඩාවෙන් පමණක් නොව විනාශ වෙමින් පවතින ආර්ථිකය යළි නගා සිටුවීමේ දී ද වැඩි අවස්ථා ඉපයීමේ මාධ්‍යයක් ලෙස රටට, සෙසු ලෝකයෙන් වැඩි පිළිගැනීමක් ලබා ගැනීමට මග පෑදිය හැකියි. දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලිය ද විදේශීය ක්‍රීඩකයින් සඳහා දොරටු විවර කරනු ඇති අතර, බිඳවැටී ඇති ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රටට හිතකර ලෙස ක්‍රියා කරනු ඇති බව ‍නොඅනුමානයි.

ලේඛකයා – Factum හි පුහුණු පර්යේෂකයකු ලෙස සේවය කරයි. ඇය සමඟ සම්බන්ධ විය හැකි ආකාරය [email protected]

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!