ස්නායු ආබාධයක් හේතුවෙන් උපතින් ම දෑත් දෙපා ඇතුළු සිරුරේ කොටස් කිහිපයක් අප්‍රාණිකව සිටි මාතර, දික්වැල්ලේ දෙව්මි රන්සරා දැරිය අද (12) මියගිය බව මාතර රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.
ස්නායු ආබාධයකින් පෙළෙමින් වුව ද සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 09ක් ලබාගත් දෙව්මි දික්වැල්ලේ බඹරැන්ද සද්ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. මිය යනවිට ඇය 17 වැනි වියේ පසු වූ අතර මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියාය.
වරින් වර ඇතිවන සෙම් තත්වයකින් පීඩා විඳි ඇය නිව්මෝනියා තත්වයකින් මියගිය බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
සාමාන්‍ය පෙළ විභාගය ඇය ඉතා විශිෂ්ඨ ලෙස සමත්වූයේ ඉනෙන් පහළ කොටස සම්පූර්ණනේ ම අප්‍රාණිකව සහ දෑත් අබාධිතව සිටිය දී ය. මව් පියන් විසින් වඩාගෙන පාසලට රැගෙන එන ඇය වෙනුවෙන් ම විශේෂ පුටුවක් සහ බංකුවක් ඇගේ පන්තිකාමරයේ තබා තිබිණි. යන්තම් පෑන හසුරුවාගත හැකි ඇයට සෞන්දර්ය විෂයයන් හැදෑරීමේ අපහසුතාවක් තිබූ බැවින් ඒ වෙනුවට සිංහල සාහිත්‍ය විෂය හැදෑරීමට පාසලෙන් අවස්ථාව සළසා තිබූ අතර සාමාන්‍ය පෙළ සමත්වූ ඇය වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය බව පැවසූ බැවින් ඇය වෙනුවෙන් ම වාණිජ විෂය ධාරාව එම පාසලේ ආරම්භ කිරීමට පවා බලධාරීන් අවශ්‍ය කටයුතු යෙදීම විශේෂත්වයකි.
ඇය සාමාන්‍ය පෙළ සමත් වූ අවස්ථාවේ දී ද කියා සිටියේ තම ජීවිතය ගැන දිගු බලාපොරොත්තුවක නොමැති බැවින් උසස් පෙළ ඉහළින් සමත්වීම පමණක් ඉලක්ක කරගන්නා බවයි. අනතුරුව කරන දේ ගැන තවමත් සිතා නැතැයි ද ඒ ගැන පසුව සිතන බව ද ඇය කීවාය.
නමුත් ඇයට උසස් පෙළ ඉලක්කය ජය ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත.
ස්නායු ආබාධයකින් පෙළෙමින් පවා ජීවිතය ජය ගැනීමට අදිටන් කරගෙන අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව කරගෙන යාමෙන් රටේම අවධානය දිනාගත් දෙව්මිගේ අවසන් කටයුතු දික්වැල්ල, රත්මලේ පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
