spot_img
spot_imgspot_img

ඩුබායි රටේ හිර වී සිටි කාන්තාවක් යළි පැමිණ සිය ගණනක් සිර වී සිටින හැටි කියයි

පුවත්

විදෙස්

දඹුල්ලේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක උපදෙස් සහ මඟ පෙන්වීම මත ඩුබායි ගොස් හිරවී සිට නැවත පැමිණ තමන් ඇතුළු කාන්තාවන් විදින දුක් ගැහැට මාධ්‍ය හමුවේ හෙළි කළාය.

ඇය දඹුල්ලේ, දඹුලු ඔය පදිංචි ලලිතා පද්මිණී නමැති කාන්තාවකි.

විදේශ රැකියා සඳහා යාමේ දී කිසිම ආකාරයකින් සංචාරක වීසා මත නොයන්න යැයි රජය කොතෙක් උපදෙස් දුන්න ද ඇය ගොස් ඇත්තේ සංචාරක වීසා ලබාගනිමිනි. ඒ දඹුල්ලේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයකින් ලබා දුන් උපදෙස් අනුවය.

එම රැකියා නියෝජිත ආයතනයේ පෙළඹවීම මත ඇය ඔවුන්ට මුදල් ගෙවා සංචාරක වීසා මත ඩුබායි වෙත ගිය විට එහි සිටින තම නියෝජිතයන් ඇයට රැකියාවක් ලබාදෙන බව එම නියෝජිත ආයතනය පවසා තිබිණි.

නමුත් පද්මිණී පවසන්නේ ඩුබායි ගිය තමන්ට පොරොන්දු වූ පරිදි රැකියාවක් නොලැබුණු බවයි. එහි ගිය පසු විශාල කාමරයක තමන් හිර කර දැමූ බවත් ඒ කාමරයෙන් එළියට බසින්නට හෝ නොහැකි බවත් ඉර එළිය හෝ නොවැටෙන එම කාමරයේ කාන්තාවන් 85 දෙනකු සිටි බවත් ඇය පවසයි.

ඔවුන්ට භාවිතා කිරීමට තිබී ඇත්තේ එක් වැසිකිළියක් පමණි. ස්නානය කිරීමට හෝ ඇඳුම් සෝදා ගැනීමට හෝ අවස්ථාවක් තිබී නැත. මාස තුනක් ඇය මේ කාමරයේ අපා දුක් විඳිද්දී අවස්ථා කිහිපයක් තවත් අය සමඟ දෛනික වැටුපට නිවෙස් කිහිපයක සේවය කළ ද ඒ මුදල් හෝ තමන්ට නොදී රැකියා නියෝජිත ආයතනය විසින්ම ලබාගත් බව ඇය කියයි.

තමන සිරකර තිබූ කාමරය පිහිටි ගොඩනැගිල්ලේ වෙනත් ස්ථානවල තමන් වැනි කාන්තාවන් සහ පිරිමි ද සිරකර තිබෙන බව ඇයට තේරුම්ගිය බවත් ඔවුන් කවදා කෙසේ පැමිණි අයද යන්න නොදන්නා බවත් පද්මිණී පවසයි.

“මා සිරකර තිබූ කාමරයේ දොර ජනෙල් පවා අගුල් දාලා තියෙන්නේ අපිට කිසිම සනීපාරක්ෂක පහසුකමක් නෑ. තට්ටු ගොඩනැගිල්ලේ අපි වගේම තවත් අය හිරකරගෙන ඉන්නවා. අන්තිමේ දි මගේ දරුවන් සහ ඥාතීන් එකතු වෙලා ලක්ෂ ගණනක් මුදල් වියදම් කරලා නැවත මා ගෙන්වා ගත්තා. එහෙම ‍එන්න බැරිව හිරවෙලා ඉන්න අය පුදුම දුකක් විඳින්නේ.”

ඇයට විදේශගත වීම සඳහා කටයුතු සැළසූ විදේශ රැකියා නි‍‍යෝජිත ආයතනයෙන් විසූ විට ඔවුන් පවසන්නේ කාන්තාවන් කිහිප දෙනෙකුගේ හැසිරීම් රටා හේතුවෙන් ඔවුන් වෙන්කර තබන බවයි. ඇතැම් අය රැකියා සඳහා යොමුකළ හැකි තරම් යහපත් මානසික තත්වයක නොසිටින බැවින් ඔවුන් රැකියාවකට යැවීමට නොහැකි බවත් එම සමාගම පවසයි.

ලලිතා පද්මිණී ‍තමන්ට විඳින්නට සිදුවූ කරදර සහ තමන් සමඟ සිටි අනෙකුත් කාන්තාවන් පිළිබද පොලිසියට සහ විදේශ රැකියා කාර්යාංශයට පැමිණිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!