spot_img
spot_imgspot_img

දරුවන් කෙළසූ ගාල්ලේ කපුවා බේරා ගැනීමට, දේශපාලකයෝත්, පොලිස් ලොක්කෝත් දැඩි උත්සාහයක (සම්පූර්ණ කතාව)

පුවත්

විදෙස්

ගාල්ල ප්‍රකට පාසල් දෙකක් ඇතුළු දිවයිනේ පාසල් කිහිපයක පිරිමි දරුවන් අපයෝජනය කරමින් ඔවුන්ගේ විඩියෝ විකුණා මුදල් ගැරූ දේවාලයක කපුවා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ ගාල්ල, උණවටුනේ, මැටරඹ පදිංචි කීර්ති කුමාර බටගොඩ නමැති 44 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙක් වන අතර තමන්ගේ පියා මියගිය පසු ලැබුණු ශක්තියකින් දේවාලයක් පවත්වාගෙන යන බව කියමින් කෝටිපතියකු බව ට පත්ව ඇත.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ දී මෙම පුද්ගලයා බේරාගැනීමටත්, ඇප ලබාදීමටත් කටයුතු කරන ලෙස ගාල්ලේ ඉතාමත් ඉහළ පොලිස් නිලධාරීන් සහ දේශපාලකයන් කිහිප දෙනෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑම් සිදුකර ඇත.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කාමරයක රඳවා තබන ලෙසත්, මාධ්‍යවෙත මේ තොරතුරු අනාවරණය වීම කෙසේ හෝ වළක්වන ලෙසත් ගාල්ලේ උසස් පොලිස් නිලධාරීන් බලපෑම් කර ඇතැයි වාර්තාවේ. මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වීමට වසරකට පෙර ගාල්ලේ එක්තරා බෞද්ධ පාසලක දරුවකුගේ පියෙක් මේ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති අතර එම සිද්ධිය දැනගත් ගාල්ලේ උසස් පොලිස් නිලධාරීන් මැදිහත් වී පැමිණිල්ල ඉදිරිපත් කළ පියාට රුපියල් 250,000.00ක මුදලක් කපුවාගෙන් ලබා දී එම පැමිණිල්ල වැළැක්වීමේ සිද්ධියක් ගැන ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුව තිබේ.

ගාල්ලේ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් 09 දෙනකු ලිංගික කටයුතු සඳහා යොදාගන්නා වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. මීට අමතරව තවත් දකුණේ පාසල් කිහිපයක දරුවන් සහ අතුරුගිරියේ සහ කැස්බෑවේ පදිංචි පිරිමි දරුවන් දෙදෙනකු ද අපයෝජනයට ලක්වූ අය අතර සිටින බව මේ වනවිට අනාවරණය වී තිබේ. එම දරුවන් සියලු දෙනා වයස අවුරුදු 09-15ත් අතර පසුවන පිරසකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ තවමත් අනාවරණය වී ඇති කරුණු පමණක් බවයි. ඔහුගේ ගොදරු බවට පත්වූ ළමයින් සංඛ්‍යාව අති විශාල ප්‍රමාණයක් විය හැකියැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.

සිය දෙමාපියන් සමඟ සෙත් ශාන්ති කරගැනීමට යැයි පවසමින් ඔහුගේ මැටරඹ සතර මහා දේවාලය නම් ස්ථානයට පැමිණෙන දරුවන් මේ ආකාරයට රවටා ලිංගික ක්‍රියාවන් සඳහා යොදවාගෙන ඇති අතර ඊට අමතරව ‍ඔහුගේ දේවාලය අවට පදිංචි දරුවන් ද ලිංගික ක්‍රියාවන්ට පොළඹවාගෙන තිබේ.

එම දරුවන්ට නවීන ජංගම දුරකථන, ටැබ් යන්ත්‍ර පවා පරිත්‍යාග ලෙස ලබා දී ඇත. ඔහු එම දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝ එම දරුවන්ට ම නැවත ලබා දී ඒවා මිතුරන්ට පෙන්වා මිතුරන් ද පොළඹවාගන්නා ලෙස ද උපදෙස් දී මෙය ජාලගත කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දරුවන් සමඟ ලිංගිකව එක්වන වීඩියෝ දර්ශන මෙම පුද්ගලයා විසින් විදෙස් රටවලට සහ වෙබ් අඩවි වෙත අළෙවි කර ඇති බැවින් එම පුද්ලයන් සහ වෙබ් අඩවි සම්බන්ධ තොරතුරු අනාවරණය කරගැනීම ජාත්‍යන්තර පොලිසියේ ද සහය ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අප සමඟ කීවේය.

රටේ නමගිය දේශපාලනඥයන්, උසස් පොලිස් නිලධාරීන් ඇසුරු කරමින් මෙම දේවාලය පවත්වාගෙන යන ඔහු ‍ඉතාමත් ඉක්මණින් කෝටිපතියකු වූ තැනැත්තෙකි. පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් වෙනුවෙන් මුදල් වියදම් කරන මේ තැනැත්තා ජනප්‍රිය රූපවාහිනී නාලිකා කිහිපයක ම ගුවන් කාලය නොමිලයේ ලබාගනිමින් සහ ඇතැම් අවස්ථාවල දී මුදල් ගෙවා ලබාගනිමින් වැඩසටහන් රැසක් විකාශය කරගෙන ඇත. පුවත්පත් ගණනාවකට ද විශ්ව ශක්තිය, අනාවැකි සම්බන්ධ ලිපි ගණනාවක් ද සපයා ඇත. ඊට අමතරව ඔහුගේ නමින් ජනතාවට උදව් කරන මුවාවෙන් පදනමක් ද පවත්වා ගෙන යන අතර යූටියුබ් නලිකාවක් ද පවත්වාගෙන යමින් ප්‍රකට චරිතයක් බවට පත්ව සිටියේ ය.

බෞද්ධ විහාරස්ථානවලට සහ විවිද පාසල්වලට ද මුදල් වියදම් කරමින් දරුවන්ට උපකාර කරමින් සුදෝ සුදු චරිතයක් ලෙස පෙනී සිට ඇත. රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් වාර්ෂික පෙරහැරක් ද පැවැත්වීම ඔහු නොකඩවා කරගෙන යන කාර්යයකි.

ඔහු විසින් ලිංගික කාර්යයන්ට පොළඹවාගන්නා දරුවන් සමඟ ඔහුගේ දේවාලය අසළ ඇති තට්ටු හතරකින් යුතු ඔහුගේ නිවසේ දරුවන් අපයෝජනයට ලක්කර වීඩියෝ ගත කර ඇත. ඊට අමතරව අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක දී ද එසේ දරුවන් අපයෝජනය කර ඇත. එසේ දරුවන් අපයෝජනය කරන අවස්ථාවල දී ඔහු විසින් රූගත කරන ලද දර්ශන රැසක් මේ වනවිට රහස් පොලිසිට ලැබී ඇතැයි වාර්තා වේ.

එම දරුවන් සැකකරු විසින් ඔහුගේ මිතුරන් කිහිප දෙනකුට ද ලබා දී ඇති බව අනාවරණය වී තිබේ. එම පිරිස් ද අත්අඩංගුවට ගැනීම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපයෝජනයට ලක්කළ දරුවන්ට රුපියල් 40,000.00 ක පමණ මුදලක් ගෙවීමට ද මොහු කටයුතු කර තිබේ. එමෙන් ම එම දරුවන්ට සෑම අවස්ථාවක දී ම විවිධ උපකාර කර ඇති බැවින් දේවගැතිවරයා ගැන සැකයක් ඇති නොවූ බවත් තම දරුවන් දේවගැතිවරයා වෙත නිතරම යැවූ බවත් අපයෝජනයට ලක්වූ දරුවන්ගේ දෙමාපියන් පවසයි.

පොලිස් නිලධාරීන් ඇසුරු කිරීමට අමතරව කළු හැඳගත් පුද්ගලික ආරක්ෂක නිලධාරීන් 09 දෙනකු ද නිරන්තරව ම ආරක්ෂාවවට තබා ගැනීමට මෙම සැකකරු කටයුතු කර තිබේ. එම ආරක්ෂකයන් ඔවුන් යන එන සෑම තැනක දී ආසන්නයේ සිටිමින් ආරක්ෂාව ලබාදෙන අතර නවාතැන් ගන්නා තැන්වල දී ද ආරක්ෂාව සපයා ඇති අතර වාහනයේ ගමන් ගන්නා විට ද වෙනත් වාහනවලින් ආරක්ෂාව සපයමින් ගමන් කර ඇත.

මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරධ කල්ලි පවා ඇසුරු කර ඇති බවත් පාතාල කල්ලිවලට වෙඩි නොවදින සුර යැයි පවසමින් ලක්ෂ ගණන්වලට සුර අළෙවි කර ඇති බවත් අනාවරණය වී තිබේ. නමුත් එවැනි සුර මිල දී ගත්තා යැයි පවසන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිප දෙනකු ම සුර පැළඳගෙන සිටිය දී ම මියගොස් ඇතැයි ද ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයිි.

එක්තරා අපරාධ කල්ලි සාමාජිකයකුට සුරයක් සකසා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට ඉහත පෑලියගො පොලිසිය මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබිණි

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව දැනගත් වහාම දේශපාලකයන් සහ උසස් ම පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑම් කර ඇති අතර මුද් ත්‍යාග පවා පිරිනැමීමට යෝජනා කර තිබිණි.

අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ අධීක්ෂණය මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පිපයසේකර ගේ මෙහෙයවීමනේ විමර්ශන කටයුතු සිදුවෙයි.

පසුගිය දිනක ගාල්ලේ ප්‍රකට පාසලක ප්‍රාථමික අංශයේ සිසුවකු තවත් සිසුන් කිහිප දෙනකු සමඟ ටැබ් යන්ත්‍රයකින් වීඩියෝවක් බලමින් සිටින ආකාරය නිරීක්ෂණය කළ ශිෂ්‍ය නායකයකු එම ටැබ් යන්ත්‍රය පරීක්ෂා කිරිමේ දී එහි අසභ්‍ය වීඩියෝ දර්ශන තිබෙනු දැක විදුහ්ලපතිවරයාටත් ඒ ගැන පවසා පොලිස්පතිවරයාට යවන ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!