දින දින වැඩිවන කිඹුල් තර්ජනය

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සිටින සතුන් අතරින් ඉතාමත් භයානක සහ අසුවුවහොත් ලෙහෙසියෙන් මිනිසකුට ගැලවී යා නොහැකි සත්වයා වන්නේ කිඹුලාය. ලොව විශාලතම උරගයන් ලෙස හඳුන්වන කිඹුලන් ජලයේදීත් ගොඩබිමදීත් ඉතාමත් දරුණු විලෝපකයන් ලෙස පිළිගැනේ. ගොඩබිමටත් වඩා දියේ දී අතිශය දරුණු සහ ශක්තිමත් කිඹුලන් පන ඇති ඕනෑම ජීවියකු ගොදුරු කරගැනීමට මාන බලයි.

ජලයේ සිටින කුඩා මාලුවකු‍ගේ පටන් දිය බීමට එන දැවැන්ත කුළු හරකකු පවා ගොදුරු කරගන්නා මේ කිඹුලන් මිනිසුන් පවා අසුවවහොත් අතහැර දමන්නේ නැත.

කිඹුල් ප්‍රහාර කිහිපයක් ම පසුගිය සති කිහිපයේ දී ශ්‍රී ලංකාවේ තැන් තැන්වලින් වාර්තාවිය. දෙහිවල මුහුදේ දී කිඹුලකු විසින් ඇදගෙන යාමෙන් විසිතුරු මසුන් එකතු කරන අයකු මියයාමෙන් පසු දඹුල්ලේ, කණ්ඩලම ප්‍රදේශයේ දුන්න බිඳුණුවැවේ දිය නැමට ගිය 07 හැවිරිදි පාසල් සිසුවකු ද කිඹුලකු විසින් ඩැහගන්නා ලදී.

මෙසේ මියගියේ කණ්ඩලම ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චනුත් සත්සර නමැති දරුවෙකි.

දරුවාගේ පියා පවසන්නේ කිඹුලා විසින් දරුවා ඩැහැගත් පසු තම පුතා බේරාගැනීමට නොගත් උත්සාහයක් නැති බවයි. නමුත් අවසානයේ පුතා තම ග්‍රහනයෙන් අතහැරුණු බවත් ඒ සමඟ කිඹුලා දරුවා රැගෙන නොපෙනී ගිය බවත් ඔහු පවසයි.

අවසානයේ ඒ දරුවාගේ සිරුර සොයා පැය ගණන් මෙහෙයුම් කළ අතර තැන තැන සපා කෑ තුවාල සහිත සිරුර වැව පත්ලේ අඩි 25ක් පමණ ගැඹුරු ස්ථානයක වළක් වැනි තැනක මඩෙහි රඳවා තිබී සොයා ගැණිනි. දරුවාට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමිවිය. සිරුර සපා කෑ බවට සළකුණු තිබුණ ද කිසිදු කොටසක් ගිල දමා නොතිබූ බව එම සිරුර දුටු පිරිස් කියති.

ලෝකයේ කිඹුලන් විශේෂ 18ක් සිටින අතර ඉන් විශේෂ 02ක් ශ්‍රී ලංකාාවේ දක්නට ලැබෙයි. එක් විශේෂයක් මෙරට තෙත් කලාපයේ ජීවත්වන අතර ඔවුන් සිංහල භාෂාවෙන් ගැට කිඹුලා ලෙස හැඳින්වේ. ඉංග්‍රීස බසින්  Saltwater Crocodile ලෙස හඳුන්වන එම සත්ව විද්‍යාතමකව හඳුන්වන්නේ Crocodylus porosus ලෙසිනි.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සිටින කිමුල් විශේෂය හඳුන්වන්නේ හැල කිඹුලන් ලෙසිනි. ගැට කිඹුලාට වඩා ප්‍රමාණයෙන් තරක් කුඩා හැල කිඹුලන් ගැට කිඹුලාට වඩා තරමක් අලු පැහැයෙන් යුක්තය. ගැට කිඹුලා හැල කිඹුලාට වඩා ප්‍රමාණයෙන් විශාලවන අතර තරමක් තද පැහැතිය. හැල කිඹුලා ඉංග්‍රීසි භාෂාවෙන් Mugger Crocodile ලෙසත් සත්ව විද්‍යාත්මකව Crocodylus palustris ලෙසත් හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගැට කිඹුලකු හොඳින් වැඩුණු විට අඩි 18-20ත් දක්වා විශාල වන අතර හැල කිඹුලකු අඩි 10-12ත් අතර විශාලත්වයකින් යුක්ත වෙයි.

ලෝකයේ සිටින සියලුම කිඹුල් විශේෂ තමන්ට හසුවන ඕනෑම සතකුට පහර දී ගොදුරකරගන්නා අතර ඒ සෑම විශේෂයක් ම මිනිසුන්ට පහර දුන් අවස්ථා ද ලෝකය පුරාම වාර්තා වෙයි.

ලොව සිටින කිඹුලන් අතරින් වඩාත් දරුණුම විශේෂය ලෙස හඳුන්වන්නේ නයිල් ග‍ඟ සහ ඒ අවට ජීවත්වන නයිල් කිඹුලාය. ඉන් පසු වඩාත් දරුණුම විශේෂය ලෙස සළකන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන ගැට කිඹුලන්ය. නමුත් වියළි කලාප‍යේ ජීවත්වන කිඹුලන් වරින් වර මිනිසුන්ට පහර දී ඇතත් ඔවුන් අනෙක් කිඹුල් විශේෂවලට වඩා සාපේක්ෂව දරුණු බවින් අඩු සහ තැතිගෙන පලායන සත්ව විශේෂයක් ලෙස පිළිගැනීමක් තිබේ.

වියළි කලාපයේ ගංඟා සහ වැව් ආශ්‍රිතව ජීවත්වන හැල කිඹුලන්ගෙන් වැඩිම ගහණයක් දක්නට ලැබෙන්නේ වනෝද්‍යානවල ඇති වැව් ආශ්‍රිතව වුව ද ජනාකීර්ණ ප්‍රදේශවල ඇති වැව් සහං වියළි කලාපීය ගංඟා ආශ්‍රිතව ද සැළකිය යුතු කිඹුලන් ප්‍රමාණයක් දක්නට ලැබෙයි.

ශ්‍රී ලංකාවේව ගැට කිඹුලන් සාමාන්‍යයෙන් 2,500ක් 3,500ක් අතර ප්‍රමාණයක් සිටින බවත් හැල කිඹුලන් ඊටත් කිහිප ගුණයකට වැඩි ප්‍රමණයක් සිටිය හැකි බවත් වන ජීවී දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කර ඇත. ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණය් ජාතික වනෝද්‍යාන තුළ ජීවත් වන බව පවසයි.

මේ වනවි තෙත් සහ වියළි කලාපයේ කිඹුලන්ගෙන් මිනිසුන්ට සිදුවන පහරදීම් විශාල වශයෙන් වැඩි වී ඇත. මෙයට හේතු කිහිපයක් ම බලපාන බව පෙනෙන්නට තිබේ.

අතිශය දරුණු සතකු වන කිඹුලන් වරකට බිත්තර විශාල ප්‍රමාණයක් දමයි. එය ඇතැම්විට බිත්තර 20-40ක් දක්වා ප්‍රමාණයකි. වියළි කලාපයේ ජීවත්වන හැල කිඹුලන් වැව් කණ්ඩි ආශ්‍රිතව බිත්තර දමන අතර ගැට කිඹුලන් ගොඩබිම කොළ රොඩු එකතුකර කූඩුවක් සාදා එහි බිත්තර දමයි.  එම කූඩුව අසළට ම වී කිඹුල් මව විලෝපික සතුන්ගෙන් බිත්තර ආරක්ෂා කරන්නීය.

කිඹුලාගේ උපතට පෙර සිටින දරුණුම සතුරා වන්නේ සර්පයන්ය. සර්පයෝ කිඹුල් කූඩුවට වැදී බිත්තර ගිල දමයි. ඇතැම් පක්ෂීන් ද මේ කූඩුවේ බිත්තර ඩැහැ ගැනීමට උත්සාහ ගත්ත ද එය බහුලව සිදුවන්නක් නොවේ.

නමුත් දැන් සිදුව ඇත්තේ මිනිසා විසින් ස්වභාවික පරිසරය ආක්‍රමණය කරද්දී පහසුවෙන් විනාශ කර දැමිය හැකි සර්පයන් ගහනය අඩුවී තිබීමයි. එබැවින් දැන් කිඹුලන්ගේ බිත්තර ගිල දැමීමට සර්පයන් නැත. බිත්තර සියල්ලෙන්ම පාහේ පැටවුන් බිහිවන බැවින් කිඹුලන් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී.

එමෙන් ම අතීතයේ වැව්, ගංඟා ඇළ දොළ ආශ්‍රිතව ජීවත් වූ විලෝපිකයන් වන දියබල්ලන්, කබරුන් වැනි සතුන්ද දක්නට ඇත්තේ අඩුවෙනි. ඒ නිසා කිඹුල් පැටවුන්ට ද ඇති තර්ජනය අවම වී ඇති බැවින් ඔවුන් හොඳින් වර්ධනය වෙයි.

මීට දශක කිහිපයකට පෙර ගම්වල විසූ දඩයක්කරුවෝ කිඹුලන් දඩයම් කළහ. මස් සඳහාත් සම ලබාගැනීම සඳහාත් කිඹුලන් අතීතයේ දඩයම් කළ ද වර්තමානයේ දැඩි නීති සම්පාදනය සහ ‍කිඹුලන් දඩයම් කිරීමේ දුෂ්කරතාව හේතුවෙන් කිඹුලන්ට මිනිසුන්ගෙන් එල්ල වූ තර්ජනය අවම වී තිබේ. එමෙන් ම කිඹුලන් සිටිනවා යැයි දැනගත් විට ඔවුන්ට ඇති බිය නිසාම මිනිසුන් ද කිඹුලා මඟහැර සිටීම නිසා කිඹුලන්ගේ දිවි රැකෙයි. මේ නිසා ද ඔවුන්ගේ ගහණය සීඝ්‍රව වැඩිවන බව පෙනෙන්නට තිබේ.

පරිසරවේදීන් පවසන්නේ කිඹුලන් මිනිසුන්ට පහරදීමට වඩා මඟහැර යාමට උත්සාහ ගන්නා බවයි. බොහෝ විට ඔවුන් ඉක්මණින් දියට බැස පිහිනා ගොස් සැඟවෙයි. ගං ඉවුරුවල කඩොලාන සහ පඳුරු ආශ්‍රිතව සැඟවී සිටින ඔවුන් ඉක්මණින් දිය යටට යයි.

නමුත් යම් පුද්ගලයකු කිඹුලන් සිටින ප්‍රදේශයක සෑම දිනකම එකම වේලාවක එකම කාර්යයක් කරන්නේ නම් උදාහරණයක් ලෙස ගතහොත් සෑම දිනකම එකම ස්ථානයකින් පැමිණ ජලයේ මුහුණ සෝදන්නේ නම් කිඹුලා එම පුද්ගලයා ගොදුරු කරගැනීමට සැළැස්මක් සකස් කරයි. සැඟවී කල් යල් බලා සිට දින ගණනකට පසු එකම රටාවට පැමිණෙන පුද්ගලයා ගොදුරු කරගනියි.

නමුත් දුන්න බිඳුණු වැවේ දරුවකුට දිවි අහිමිවන්නේ එවැනි සැලසුම් සහගත කිඹුල් ප්‍රහාරයකින් නොවේ. මේ වැවේ කිඹුලන් සිටින බැවින් ගැමියෝ එහි දිය නෑමෙන් වැළකී සිට ඇත. ඒ බව දිවි අහිමිවූ දරුවාගේ දෙමාපියෝ ද දැන සිටියහ. නමුත් වැවක දිය නෑමට ආශාවෙන් සිටි දරුවාගේ බලවත් පෙරැත්ත කිරීම හේතුවෙන් ම ඔවුහු එහි ගියහ.

ඇතැම් විට ඒ දරුවා ඩැහැගත් කිඹුලා මීට පෙර එම ස්ථානයට නිතර නිතර පැමිණෙන පුද්ගලයකු පිළිබඳ විමසිල්ලෙන් සිටියා විය යුතුය. කිඹුලකු ජලයේ දී යම් ගොදුරක් හඳුනාගන්නේ ජලයේ සිදුවන අසාමාන්‍ය චලනයත් සමගිනි.  මේ සියල්ල නිරීක්ෂණය කළ කිඹුලාට ඒ දරුවා යනු තවත් එක් ගොදුරක්ම පමණි. අවාසනාවට ඊට බිලි වූයේ චනුත් සත්සර නමැති 07 හැවිදිරි වියේ පසු වූ දරුවෙකි.

ස්වභාවයෙන් ම කිඹුලා යනු දියයට තම ප්‍රදේශයක් වෙන්කරගත් එහි ආධිපත්‍යය පවත්වාගෙන යන සත්වයෙකි. බොහෝ විට දිය යට ඇති වළවල්, ගුල් ආශ්‍රිතව සහ ගල් පර්වත ආශ්‍රිතව තම සීමාව පවත්වාගෙන යයි.

විශාල ගොදුරක් ලැබුණු විට කිඹුලා එය රැගෙන ගොස් තමන්ට අයත් ඒ සීමාවේ සඟවා තබා පසුව ආහාරයට ගැනීම සිදු කරන්නේ යැයි පරිසරවේදීන් පවසයි. පසුගිය 15 වැනි දා සවස දරුවා ඩැහැගත් කිඹුලා ද සිදුකරන්නට ඇත්තේ එය විය යුතුය. පැය ගණනක් කිමිදුම් කරුවන් ද වෙහෙස වී දරුවාගේ සිරුර සොයාගත්තේ අඩි 25ක් පමණ ගැඹුරු වැව් පත්ලේ වළක් වැනි ස්ථානයක රඳවා තබා තිබිය දී ය.

ඒ ස්ථානය වළක් වැනි තැනක් බවත් මළ සිරුර මඩේ ඔබා රඳවා තිබූ බව ද කිමිදුම්කරුවෝ කියති. මේ කිඹුලාගේ ස්වභාවයයි. ඒ දරුවා ඩැහැගත් කිඹුලාට ඒ මොහොතේ ආහාරයක් අවශ්‍ය නොවන්නට ඇත. සිරුරෙන් ඩැහැගෙන දිය යටට ඇදගෙන යද්දී දරුවා මියයන්නට ඇත. කිඹුලාගේ දත් පහරවල් සිරුරේ තැන තැන තිබිණි. අනතුරුව පසුව ආහාරයට ගැනීම සඳහා ඒ සිරුර මඩෙහි ඔබා සඟවන්නට ඇත.

මේ කිඹුලන්ගේ ක්‍රමයයි.

කිඹුලන් සිටින ස්ථානයක් යනු අතිශය භයානක තැනකි. කිඹුලකු ඕනෑම මොහොතක සැඟවී පහර දෙන බව අප තේරුම්ගත යුතුය.

ඇතැම් ස්ථාවල සිටින කිඹුලන් අල්ලා වෙනත් තැන්වලට ගෙන ගොස් දමා කිඹුල් තර්ජනය ඉවත් කිරීමට කොතෙක් උත්සාහ ගත්ත ද එය සාර්ථක නැත.

පරිසරවේදීන් පවසන්නේ කිඹුලන් ඉවත්කිරීම ද එතරම් ප්‍රායෝගික නැති බවයි. වරක් ඕස්ට්‍රේලියාවේ ගම්මානයක මිනිසුන්ට බරපතල තර්ජනයක් වූ කිඹුලකු අල්ලා එරට බලධාරීන් එම කිඹුලා ගුවනින් කිලෝ මීටර 2,000කට වැඩි දුරක් ගෙන ගොස් සුදුසු පරිසර පද්ධතියකට නිදහස් කර තිබිණි. නමුත් සති කිහිපයකට පසු ගුවනින් ගිය කිඹුලා යළි තමන් සිටි තැනටම පැමිණ තිබිණි.

මේ ස්වභාවික සංසිද්ධීන් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.

විශේෂ ස්තූතිය – ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය  

ගැට කිඹුලා
හැල කිඹුලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
Bestweb