spot_img
spot_imgspot_img

ගාල්ලේ ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය හැදිලා. “සිරිල් පොන්නම්පෙරුමට සිහිවටන හදන්න ඉස්කෝලේ සුසානභූමියක් නෙවෙයි” – නියෝජ්‍ය විදුහල්පති කියයි

පුවත්

විදෙස්

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය ඇති කරමින් එම පාසල් භූමිය තුළ රණවිරු ස්මාරකයක් ඉදිකිරීමට පාසල් බලධාරීන් කටයුතු කරමින් සිටී.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත් කොඩිතුවක්කු පැමිණ මෙම ස්මාරකය ඉදිකිරීම සඳහා ඊයේ (01) මුල්ගල් තැබුවේය.

පාසලේ බලධාරීන් පවසන්නේ යුද්ධයේ දී සහ ඉන් පසුව මියගිය කර්නල් ධූරයෙන් ඉහළ පාසල් ආදි ශිෂ්‍යන් 16 දෙනකු සහ තවත් රණවිරුවන් කණ්ඩායමක් සිහි කරමින් මෙම ස්මාරකය ගොඩනගන බවයි.

නමුත් 30 අවුරුදු යුද්ධයෙන් පසු උගත් පාඩම් කොමිසම ඇතුළු නැවත මෙරට වර්ගවාදී අර්බුදයක් ඇති නොවීමට අවශ්‍ය කරුණු සොයා බැලූ පාර්ශවයන් අතැළු මානව හිමිකම් සංවිධානයන්ගේ මතය වන්නේ රණවිරු ස්මාරක, යුද සුසාන භූමි පමණක් නොව ජන කොට්ඨාස අතර වෛරය ඇතිකරන, ජාතික සහ ආගමික සහජීවනයට හානිකර කිසිදු ඉදිකිරීමක් ශ්‍රී ලංකාව තුළ ඉදි නොකළ යුතු බවයි.

එසේ වුව ද ජාතික පාසලක් වූ ශාන්ත ඇලුවීසියස් විද්‍යාලය තම පාසලේ දරුවන් අතර සාමය සංහිදියාව, ජතික සහ ආගමික සංහිඳියාව දියුණු කරන දෑ කිරී‍ම වෙනුවට රණවිරු ස්මාරක ඉදිකරමින් පවතී.

මේ ස්මබන්ධයෙන් අප ඇලුවීෂසියස් විද්‍යාල‍යේ විදුහල්පති අනුර ගමගේ අමතා විස්තර විමසූ විට ඔහු කියා සිටියේ ‍එම කරුණ සම්බන්ධයෙන් වැඩි දායකත්වයක් දැක්වූ නියෝජ්‍ය විදුහල්පති ශාන් ‍ජාගොඩගෙන් විමසන ලෙසයි.

ඒ අනුව නියෝජ්‍ය විදුහල්පති ශාන් ජාගොඩ ඇමතූ විට හෙතෙම මෙසේ කීවේය.

“මගේ පන්තියේ හිටපු හොඳම යාලුවන් පවා හමුදාවේ ඉහළ නිලතලවල ඉදිද්දී යුද්ධෙන් මැරුණා. ඒ වගේම හමුදා බුද්ධි අංශයේ හිටපු දෙදෙනකු ඇතුළු මියගිය කර්නල් තනතුරට ඉහළ ධූර දරපු 16 දෙනෙක් සිහිපත් කරමින් සහ අනිකුත් නිලවල ඉදලා මියගිය අය සිහිපත් කරමින් මේක හදන්නේ. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ගත්තා. තවත් බත්තරමුල්ලේ ආයතනයක් අපිට අනුමැතිය දුන්නා. අපේ පාසලේ රණවිරුවන් රැසක් තවමත් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් ‍කරන මේ දේ ඉතාමත් හොඳ වැඩක්”

නමුත්, පාසලක රණවිරු ස්මාරක ගොඩනැගීම පාසලේ අරමුණුවලට පටහැනි බවත් අපි පැවසූ විට ඔහු කීවේ මෙය රණවිරු ස්මාරකයක් නොව සිහිවටනයක් පමණක් බවයි.

එවිට අපි මෙසේ ඇසුවෙමු. “ ඇලුවීෂියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ඇතුළු විද්වතුන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය සිහිපත් කරන්න කිසිම ස්මාරකයක් පාසලේ හදන්නේ නැද්ද ?”

එවිට නියෝජ්‍ය විදුහල්පතිවරයා කීවේ මෙවැනි කතාවකි.

“ඔයා හිතුවද ඒ අයට සිහිවටන හදන්න ඉස්කෝලේ කියන්‍නේ සුසාන භූමියක් කියලා”

නියෝජ්‍ය විදුහල්පතිවරයා පවසන පරිදි ඔහු රණවිරු ස්මාරකයක් ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ඉදිකරමින් උත්සාහ ගන්නේ යුද්ධයේ දී මියගිය තම පන්ති මිතුරන්ට උපහාර කිරීම විය යුතුය.

2007 අංක 56 දරන සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) පනත 3.(1) වගන්තියේ මෙලෙස දැක්වේ.

“කිසියම් තැනැත්තකු විසින්, යුද්ධ පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවිම නොකළ යුතුය.”

ගාල්ලේ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය යනු සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතික දරුවන් ඉගෙනුම ලබන බහු වාර්ගික සහ බහු ආගමික විවිධත්වය ඇති පාසලකි. එක ම රටක උතුරු ප්‍රදේශයේ දෙමළ භාෂාව කතා කරන ජන කොට්ඨාසයකට විරුද්ධව යුද වැදී මියගිය පුද්ගලයන්ට වෙනුවෙන් ස්මාරක තනා හමුදා නිල ඇඳුම්, අවි ආයුද පාසල තුළ ප්‍රදර්ශනය කරමින් කටයුතු කිරීම 2007 අංක 56 දරන සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) පනත උල්ලංඝනය කිරීමකි. මේ ‍පාසලේ සිටින දෙමළ කතා කරන දරුවන්ට එම පාසලේ ම බලධාරීන් වෙනස් ලෙස සලකන්නේ කෙසේ ද යන්න අපට ගැටලුවකි. එමෙන් ම යුද්ධයට ගිය නිලධාරීන් සිහිපත් කරන ස්මාරකයකින් යුද්ධය පිළිබඳ දිරිගැන්වීමක් සහ හමුදාව පිළිබඳ ප්‍රවර්ධනයක් සිදු වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන, සිරිල් පොන්නම්පෙරුම වැනි විද්වතුන් වෙනුවෙන් සිහිවටන හදන්නට පාසල සුසාන භූමියක් නොවේ යැයි කී නියෝජ්‍ය විදුහල්පතිවරයාට අවබෝධ නොවීම ද පුදුමයකි.

මේ සම්බන්ධයෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නීතිඥ දුමින්ද රාජපක්ෂගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මේ රණවිරු ස්මාරකය හදන්න යෝජනාව ආවේ අවුරුදු ගණනාවකට කලින්. මෙවැනි දෙයක් පාසලට අනවශ්‍යයි කියලා මතයකුත් තිබුණා. ආදි ශිෂ්‍ය සංගමයේ ඇස්තමේන්තුව වුණෙ රුපියල් ලක්ෂ 02ක්. කොහොම හරි අනුමැතිය නොලැබීම ඇතුළු ප්‍රශ්න කිහිපයක් නිසා මේක ප්‍රමාධ වුණා. අපේ ආදිශිෂ්‍ය රණවිරුවන්ට මේ ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් එයාලාා මේ ගැන විමස විට අපි කිව්වේ මේ සඳහා අවශ්‍ය අනුමැතිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගෙන එනවානම් අපි ඉඩ දෙන්නම් කියලා. රණවිරු ආදි ශිෂ්‍යන් තමයි මහන්සිවෙලා මේකට අනුමැතිය අරගෙන ඇවිත් වැඩේ පටන්ගත්තේ. ඒ ගැන විවිධ මත තියෙනවා.”

අපි මේ සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දුගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මගේ පුද්ගලික මතය නම් පාසල්වල රණවිරු ස්මාරක සෑදිම අවශ්‍ය නෑ. පාසලක කීර්තිමත් ආදි ශිෂ්‍යයන් මියගියානම් ඔවුන් සැමරීම ඔවුන්ගේ චරිත සහ ක්‍රියාවන් ගැන කතා කරලා දරුවන්ට ආදර්ශයක් ලබාදීම සුදුසු දෙයක්. නමුත් යුද්ධය සිහිපත් කරන සිහිවටන පාසල් පද්ධතියට අවශ්‍ය නෑ. අපි කතා කරන්න ඕනේ සංහිදායාව ගැන. අනික ශ්‍රී ලංකාවේ හමුදාව ආයතනික වශයෙන් ගත්තම දැඩි චෝදනාවට ලක්වුණු ව්‍යුහයක්. යුද සමයේ විතරක් නෙවෙයි. ප්‍රේමවතී මනම්පේරී ඝාතනය, රතු පස්වල සිද්ධිය ඉදලා මෙම මුල්ගල් තැබීමට පෙර දින දෙකේ ගාල්ල කොටුවේ දී සාමාන්‍ය ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා එල්ල වී තිබෙනවා. රණවිරුවන් කියා ගනිමින් මේ යුද හමුදාව කියන පද්ධතිය පාසල්වලට විවිධ ආකාරයෙන් රිංගලා දරුවන්ගේ මානසිකත්වය වෙනස් කරනවාට උසස් මානවී ගුණාංග ගැන බලාපොරොත්තු තබන සමාජය ‍විරුද්ධ විය යුතුයි. නමුත් තමන්ගේ පාසලේ මියගිය ආදි ශිෂ්‍යයන් සහිපත් කිරීම ඔවුන් වෙනුවෙන් වැඩ කිරීම අපි එපා කියන්නේ නෑ.”

පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්ති සහ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා පවසන්නේ මෙවැනි රණවිරු ස්මාරකයක් ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවයි. එබැවින් ඒ පිළිබඳ අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහගෙන් විමසුවෙමු. එවිට ඔහු මෙසේ කීවේය.

“මම නම් එවැනි අනුමැතියක් දීලා නෑ. මම මේ තනතුරේ වැඩ බාරගන්න පෙර දුන්නා ද කියා දන්නේ නෑ. නමුත් පාසල් පද්ධතිය තුළ රණවිරු ස්මාරක හැදීම වැරදියි. ඒක නොවිය යුතු දෙයක්. මම මේ මොහොතේ ම විදුහල්පතිට කතා කරලා මේ ගැන සොයා බලන්නම්. ඒක අනුමත කළ හැකි දෙයක් නෙවෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!