spot_img
spot_imgspot_img

කැන්ගරුවෝ සැළසුම් වෙනස් කරති. අද සටනට කුමක් සිදුවේ ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා රාත්‍රී තරඟයෙන් ආරම්භ වේ. සවස 2.30ට තරඟය ආරම්භවීමට නියමිතය.

පල්ලේකැලේ පැවැති අවසන් විස්සයි 20 තරඟයේ දී පැහැදිළි පරාජයක් කරා යමින් සිටිය දී අවසන් පන්දුවාර 03 දී ලකුණු 59ක දැවැන්ත ඉලක්කයක් සාර්ථක කරගැනීමෙන් අනපේක්ෂිත සහ ඇදහිය නොහැකි ජයග්‍රහණයක් ලබාගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මේ තරඟය කෙරෙහි දැඩි අවදානයක් යොමුකර සිටියි.

පල්ලෙකැලේ තනතීරුව පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටත් යෝග්‍ය යැයි පිළිගැනීමක් තිබුණ ද විචාරකයන් නිරන්තරව පවසන්නේ කාසියේ වාසිය මෙම පිටියේ දී ඉතාමත් තීරණාත්මක බවයි. දෙවැනි ඉනිමේ දී දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය බවක් දිස්වන බැවින් කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම චකිතයකින් තොරව ම පළමුව පන්දුවට පහරදීම තෝරාගැනීම පුදුමයක් නොවේ.

නමුත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවැති තරඟ 28 ක දී පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම අවස්ථා 12ක දී ජයගෙන ඇති අතර දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම ඊට වඩා සාර්ථක වී තරඟ 16ක් ජය ගෙන තිබෙන ඉතිහාසයක් ක්‍රීඩාංගණයට ඇත.

අද (14) පැවැත්වෙන තරඟය ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 99 වැනි තරඟයයි. මීට පෙර පැවැති තරඟ 98න් ඕස්ට්‍රේලියාව තරඟ 61ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගත් තරඟ සංඛ්‍යාව 33කි. තරඟ 04ක් විසඳුමක් නැතිව අවසන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇති වාර්තා එතරම් සුබදායී නැත. 2016 කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති එක්දින තරඟයක් ජයගැනීමෙන් පසු ශ්‍රී ලංකාව එකම එක්දින තරඟයක් හෝ ජයගෙන නැත.

එදා තුන්වැනි විස්සයි 20 තරඟයේ දී ලබාගත් ජයග්‍රහණයත් සමඟ දසුන් ශානක ඇතුළු පිරිවර ඉතාමත් හොඳ මානසිකත්වයකින් අද තරඟයට ක්‍රීඩාකරයි. විස්සයි 20 කණ්ඩායමේ සංයුතියෙන් ම ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියට පිවිසෙන බවක් පෙනෙන්නට තිබේ. එහි දී වනිඳු හසරංග සහ මහීස් තීක්ෂණ දෙදෙනාට අමතරව තවත් දඟ පන්දු යවන්නකුට අවස්ථාවක් හිමිවනු ඇත. තුන්වැන්නා ප්‍රවීන් ජයවික්‍රම හෝ 19 පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ වීමට ඉඩ තිබේ.

දුනිත් වෙල්ලාලගේ අද තරඟයේ ශ්‍රී ලංකා හිස්වැස්ම පැළඳීමට ඉඩ ඇති බව ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී දසුන් ශානක කීවේය. තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් වේගයෙන් ලකුණු රැස්කළ හැකි වෙල්ලාලගේ ට අද තරඟයට සහභාගී වීමේ වැඩි අවස්ථාවක් ඇත.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණයේ ප්‍රශ්නයක් තිබේ. ඉතාමත් දක්ෂ සහ වේගයෙන් ලකුණු රැස්කරගත හැකි පිතිකරුවන් ශ්‍රී ලංකාව සතුව සිටිය ද ඔවුන් එක් අයකු හෝ දෙදෙනකු අර්ධ ශතක ලබා ගැනීමෙන් තරඟයක් ජයගත නොහැකි බව තේරුම් ගැනීම අවශ්‍යම කරුණකි. එක් පිතිකරුවකු ශතකයක් කරා යමින් තවත් පිතිකරුවකු හෝ දෙදෙනකු ඒ වටා දිගු සම්බන්ධතා ගොඩනැගීම අත්‍යාවශ්‍යම කරුණකි. අදින් වසර ගණනාවකට පෙර ලකුණු 280ක් වැනි ප්‍රමාණයක් එක්දින තරඟයක් ජයගැනීමට ප්‍රමාණවත් වුව ද වර්තමාන ක්‍රිකට් රටාව අනුව ලකුණු 300 ඉක්මවා යාම ද ප්‍රමාණවත් නැත. විශේෂයෙන් ම ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායමක් හමුවේ ලකුණු 300ක් යනු සාමාන්‍ය ලකුණු ප්‍රමාණයකි. එබැවින් තරඟයේ ජයග්‍රහණය සඳහා පිතිකරුවන් විශාල කාර්යභාරයක් කළ යුතුය.

විස්සයි 20 තරඟ සහ එක්දින තරඟවලට ශ්‍රේණිගත කිරීම්වල අන්තයටම වැටී සිටින ශ්‍රී ලංකාව තවමත් ටෙස්ට් තරඟවල දී හොඳින් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාවට පවා තර්ජනයක් එල්ල කිරීමට සමත්කම් දක්වයි. මේ නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද සිය සැළසුම් වෙනස්කර ඇත.

ඒ අනුව ලොව හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන පැට් කමින්ස් එක්දින තරඟාවලියේ දී පිටියට බැසීමට සූදානමින් පසුවෙයි. ඒ වෙනත් කිසිවක් නිසා නොව ටෙස්ට් තරඟ දෙක ඇරඹීමට පෙර ඔහුට මෙරට තණතිලි සහ ශ්‍රී ලංකා පිතිකරුවන් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට විය යුතුය.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් සහ ජායි රිචඩ්සන් තිදෙනාම වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටීමෙන් පෙනී යන්නේ ඕස්ට්‍රේලියාව වේග පන්දු යවන්නන් ගැන වැඩි විශ්වාසයක් තබන බවයි. අවශ්‍ය මොහොතක මාකස් ‍ස්ටොයිනිස්ටනත් මද වේග පන්දු යැවීමේ හැකියාව පවතී. මීට අමතරව ග්ලෙන් මැක්ස්වෙල් සහ ඇෂ්ටන් ආගර් දෙදෙනා දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති.

මිචෙල් ස්ටාක් තුවාල ලබා සිටින අතර කලවයේ ඇති වූ මස්පිඩු ආබාධයක් හේතුවෙන් කේන් රිචඩ්සන් නැවත ඕස්ට්‍රේලියාවට ගොස් සිටියි. කේන් රිචඩ්සන් වෙනුවට ස්කොට් බෝලන්ඩ් කණ්ඩායමට එක්වූයේය. මිචෙල් ස්ටාක් වෙනුවට ජායි රිචඩ්සන් එක්දින සංචිතයට කැඳවා තිබේ.

මෙයින් පෙනී යන්නේ එදා පල්ලෙකැලේ දී පහසු ජයග්‍රහණය ගිලිහී යාමත් සමඟම ඕස්ට්‍රේලියානු කඳවුර සිය සැළසුම් වෙනස්කර ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ‍එරෙහිව අච (14) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය සඳහා සහභාගීවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය ආරොන් ෆින්ච් විසින් දරනු ලබන අතර සමස්ත කණ්ඩායම මෙසේය.

ඩේවිඩ් වෝනර්

ආරොන් ෆින්ච් (නායක)

ස්ටීවන් ස්මිත්

මානස් ලබුශේන්

ඇල්ක්ස් කේරි (කඩුළු රකින්නා)

මාකස් ස්ටොයිනිස්

ග්ලෙන් මැක්සවෙල්

ඇෂ්ටන් ඒගාර්

පැට් කමින්ස්

ජායි රිචඩ්සන්

ජොෂ් හෙස්ල්වුඩ්

ජාත්‍යන්තර ක්‍රීඩා විස්තර විචාරකයන් සඳහන් කරන්නේ එම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය බොහෝ විට පහත සඳහන් පරිදි විය හැකි බවයි.

ධනුෂ්ක ගුණතිලක

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

භානුක රාජපක්ෂ

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

දසුන් ශානක (නායක)

වනිඳු හසරංග

චාමික කරුණාරත්න

මහීෂ් තීක්ෂණ ප්‍රවීන් ජයවික්‍රම හෝ දුනිත් වෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!