spot_img
spot_imgspot_img

රටේ ඉරණම තීරණය වෙන පැය 72ක්. අගමැති පොරයක් නිර්මාණය වෙයි ?

පුවත්

විදෙස්

ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය හමුවේ ඉදිරි පැය 72ක කාලය ශ්‍රී ලංකා රාජ්‍යයටත්, ආණ්ඩුවට සහ සමස්ත ජනතාවට ම ඉතාමත් තීරණාත්මක කාලයක් බවට පත්ව තිබේ.

තවදුරටත් තමන්ට ලැබුණු ජන වරම තුළ කෙසේ හෝ රට පාලනය කරන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු වත්මන් ආණ්ඩුව ජනතා විරෝධතා හමුවේ තමන්ට රටේ පාලනය කරගෙන යා නොහැකි බව තේරුම් ගෙන තිබේ.

පසුගිය සිකුරාදා (06) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැතිධූරය භාරගන්නා ලෙසත් පැවසූ බවට ආරංචි පැතිරගියේය.

ඊයේ (07) සවස සමගි ජන බලවේගය නිවේදනය කළේ නීතිඥ සංගමය රජයට, විපක්ෂයට සහ මහානායක හිමිවරුන්ට ඉදිරිපත් කරන ලද යෝජනා 13 ක්‍රියාත්මක කිරීමට තම පක්ෂය එකඟ බවයි. ඒ අනුව යම් සීමිත කාලයකට ස්ථිර වැඩපිලිවෙළක් යටතේ නව අගමැතිවරයකු පත්කර සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එකඟ වී ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ දැවැන්ත අර්බුදයෙන් ගොඩඒම සඳහා ඉදිරි පැය 72ක අතිශය තීරණාත්මක වනු ඇතැයි විදේශ තානාපති සේවාවන් පවා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට, විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට දැනුම් දී තිබේ.

ඒ සඳහා වහාම කාටත් පිළිගත හැකි ඒකාබද්ධ වැඩපිළිවෙලකට යා යුතු බව යුරොපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට දැඩිව පවසා ඇත. හදිසි නීතිය පැනවීම සහ උද්ඝෝෂකයන්ට පහර දී මර්ධනය කිරීම අර්බුදයට විසඳුමක් නොවන බවත් රටවල් රැසක් ආධාර ලබාදීමට කැමැත්තෙන් සිටිය ද රටේ දේශපාලන අස්ථාවරත්වය සහ ඇති ව්‍යාකූළත්වය හේතුවෙන් එය අපහසු වී ඇතැයි ද පවසා තිබේ. එමෙන්ම ජාතික රජයක අවශ්‍යතාව ද එමගින් රටේ ප්‍රශ්න සඳහා ස්ථිර විසඳුමක් ලබාගැනී කඩිනමින් කළ යුතු යැයි ද ජාත්‍යන්තරය ආණ්ඩුව ඇතුළු සියළු පාර්ශවයන්ට දැඩිව අවධාරණය කර තිබේ.

විදෙස් රටවල නියෝජිතයන් පවා පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයකු පත්කර, සීමිත ඇමතිවරුන් සංඛ්‍යාවක් සියළු පක්ෂ නි‍යෝජනය වන පරිදි කඩිනමින් පත්කර මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවයි. එමෙන් ම මේ අර්බුදයෙන් මිදීම සඳහා ව්‍යවස්ථාම ප්‍රතිසංස්කරණයක් සිදුකර රටේ ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුව වඩාත් බලාත්මක කිරීමේ අවශ්‍යතාවය ද දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් මේ සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය තුළ තීරණයක් ගත යුතු බව ද නොඑසේනම් ශ්‍රී ලංකාව අනපේක්ෂිත විනාශයක් කරා යාම වළක්වාගත නොහැකි බව ද ජාත්‍යන්තර නියෝජිතයෝ දැඩිව අනතුරු අඟවා ඇත.

මේ වනවි නීතිඥ සංගමය විසින් අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා 13 කෙරෙහි සියලු පාර්ශවයන්ගේ සාධනීය අවධානයක් යොමුව තිබේ. නීතිඥ සංගමය අද සමගි ජන බලවේගයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් සමඟ මෙන් ම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ද හමු වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හමුවී සාකච්ඡා කිරීමට ද ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී නව ජාතික රජයක් පිහිටුවීමේ බල හුවමාරුව සිදුවන තුරු ඒ සඳහා විශේෂ මැදිහත් වීමක් සහ නිශ්චිත වැඩපිළිවෙලක් සඳහා නීතිඥ සංගමය දායක කරගැනීමට ද සියලු දේශපාලන පාර්ශව එකඟතාව ප්‍රකාශ කර ඇත.

මේ වාතාවරණය තුළ අගමැතිධූරය සඳහා නම් කිහිපයක් ම යෝජනා වී තිබේ. ඒ අතර හර්ෂ ද සිල්වා, ඩලස් අලහප්පෙරුම සහ අනුර ප්‍රියදර්ශන යාපා යන දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇති අතර තවත් පාර්ශවයක් විසින් හිටපු කතානායක කරු ජයසූරියගේ නම ද යෝජනා කර තිබේ.

කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඉල්ලා අස්වී කරු ජයසූරිය පාර්ලිමේන්තුවට පත්කර අගමැතිධූරයට නම් කිරීමේ සූදානමක් ගැන ද මේ වනවිට දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්වෙමින් තිබේ.

කෙසේ වෙතත් කරු ජයසූරිය මේ වනවිට 81 වැනි විය ද ඉක්මවා සිටින අතර දේශපාලනයෙන් විශ්‍රාම ලැබූවෙකි.

ආණ්ඩුවට එරෙහි අරගලයේ නිරතවන විශාල පිරිසකගේ අපේකෂාව වී ඇත්තේ වයෝවෘද නොවූ අග්‍රාමාත්‍යවරයෙකි.

එසේ වුවද හිටපු බුද්ධශාසන ඇමතිවරයකු, අධිකරණ ඇමතිවරයකු වූ වත්මන් රජය යටතේ කල් වේලා ඇතිවම ස්වාධීන වූ පුද්ගලයකු ‍තමන්ට අගමැතිධූරය ලබාගැනීම සඳහා ප්‍රචාරක කාර්යයක් ද ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔහු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් තමන් අගමැති ධූරයට සුදුසුයැයි ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා ඇතත් අස්ගිරි පාර්ශවය එය දැඩිව ප්‍රතික්ෂේප කර ඇත. ඇවන්ගාර්ඩ් ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මෙම හිටපු අමාත්‍යවරයාගේ නම අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට සුදුසු අය අතර කිසිම අවස්ථාවක දී රැඳී නොතිබුණු අතර ඔහුගේ ප්‍රචාරක කාර්යය මේ වනවිට ඉදිරි වැඩපිලිවෙළ සඳහා බාධකයක් විය හැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.

1 COMMENT

  1. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිධූරය දැරූ කාලයේ රාජපක්ෂලාගේ දූශන වලට ඔවුන්ට නීති මගින් කටයුතු නොකර සිටීමේ කාලකන්නි පාපය අද වනවිට මුළු රටම ගෙවමින් සිටී, එහෙව් එකෙක්ව අගමැති කමට තබා මංත්‍රීදූරයකට වත් නුසුදුසුය,,
    ඊළඟ මැතිවරණයේදී මොහුව ගෙදර යැවීම දේශමාමක ජනතාවගෙ අනිවාර්ය යුතුකමකි,කොළඹ දිස්ත්‍රික් ජනතාවනි මොහුව ගෙදර යැවීම ඔබගේ යුතු කමකි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!