spot_img
spot_imgspot_img

“නිලධාරීන්ගේ ඩීල් නිසා ගිනිගත් නැවේ වන්දිය රටට අහිමිවෙයි ?” – කෝප් කමිටුවෙන් චෝදනා

පුවත්

විදෙස්

නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් අයකරගෙන නැති අතර එයට හේතුව නැව් සමාගම සහ නිලධාරීන් අතර අයථා ගනුදෙනුවක් විය හැකි ද යන්න පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධ වන්දි ලබාගැනීමේ දී සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නීති නිලධාරින් නොතකා ක්‍රියාකිරීම බරපතල ගැටලුවක් බව කෝප් කමිටුවේ සභාපති චරිත රත්වත්තේ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම නැවේ වන්දි ලබාගැනීමේ කටයුතු සම්බන්ධයෙන් කොප් කමිටුවේ දී කරන ලද සොයා බැලීමක දී සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරමිනි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර කෝප් කමිටුවේ දී කියා සිටියේ දඩ මුදල් තීරණය කරන්නේ අධිකරණය බවයි. ඒ අනුව අධිකරණය 26 වැනි වගන්තිය යටතේ මිලියන 10ක් සහ 38 වැනි වගන්තිය යටතේ මිලියන 02ක් ලෙස දඩ මුදල් නියම කර තිබෙන බව ද ඔහු කියා සිටියේය.

නමුත්, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය 34 වැනි වගන්තිය යටතේ රුපියල් මිලියන 3,480ක තක්සේරුවක් සිදුකර ඇතත් එම මුදලින් ලැබී ඇත්තේ රුපියල් මිලියන 51ක් පමණි. මේ සම්බන්ධයෙන් විමසූ විට එම අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මෙසේ කියා සිටියේය.

“නිව් ඩයමන්ඩ් නෞකාවේ සිද්ධියෙන් පස්සේ තෙල් පැල්ලමක් තිබුණා. නමුත් කිසිම සත්වයෙක් මැරිලාවත්, කොරල් පරයකට හෝ කඩොලාන පද්ධතියකට හානියක්  වෙලාවත් නැහැ. මිලියන 51ක් කියන්නේ ගින්න නිවන්න, තෙල් විසිරීමට ප්‍රතිචාර දක්වන්න සහ වියදම් තක්සේරුවට ගිය වියදම් පමණයි. සිවිල් වගකීම යටතේ පරිසරයට වුණු හානිය යථා තත්වයට පත්කරන්න විශේෂඥ කමිටුවක් පත්කරලා තයි මේ මිලියන තුන්දහස් ගණනක් විදියට සඳහන් කරලා තියෙන්නේ. අපි මේවා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙනවා.”

කෝප් කමිටුව මෙහි දී ප්‍රශ්න කළේ එම තක්සේරුවෙන් ශතයක් හෝ නොලැබීම ගැටලුවක් බවයි. මේ හේතුවෙන් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ පරිපාලනය නැව් සමාගම සමඟ අයථා ගනුදෙනු සිදුකර ඇතැයි චෝදනා කළොත් ඒ සඳහා පිළිතුරු නැති බව ද කෝප් කමිටුවේ සභාපති චරිත රත්වත්තේ මේ අවස්ථාවේ දී චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ ‍කෝප් කමිටුව විමසා සිටියේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නීති නිලධාරී මේ සම්බන්ධයෙන් කවර පියවරක් ගෙන ඇත්ද යන්නයි.

එහි දී අදහස් දැක්වූ නීති නිලධාරිනිය කියා සිටියේ මෙවැන්නකි.

“නිව් ඩයමන්ඩ් සිද්ධියට අදාළව ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පැවැත්වූ කිසිදු සාකච්ඡාවකට සිවිල් හෝ අපරාධ වගකීම් යටතේ මට කටයුතු කරන්න අවස්ථාවව ලැබුණේ නැහැ. අවස්ථාව ලැබුණේ නැහැ.”

කෝප් සභාපති විමසා සිටියේ “ඒ කියන්නේ ඔබව ගත්තේ නැහැ”

එහි දී සමුද්‍ර පරිරසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙසේ කීවා ය.

“ආයතනයේ වැඩ වළ දී මෙතුමියගේ මැදිහත්වීම ඉතාමත් මදියි. ඒ වගේම අවශ්‍ය දේ සිදුවන්නේ නැහැ කියන කාරණය මත අපි දෙවැනි නිලධාරියා ඉදිරියට ගන්න සිදුවුණා.”

එය පරිපාලනමය වශයෙන් වරදක් බව මේ අවස්ථාවේ දී කෝප් කමිටු සභාපතිවරයා ප්‍රකා‍ශ කළේය.

නීති නිලධාරිනිය පවසන්නේ තමන් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට සම්බන්ධ වූයේ 2003 වර්ෂයේ බවයි. එතැන් සිට වසර 18ක් සියලු ම නීතිමය කටයුතු තමන් කළ බවත් මෙම කාරණයේ දී තමන්ට ඊට අවස්ථාව නොලැබුණු බවත් ඇය වැඩිදුරටත් කියා සිටි‍යාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!