spot_img
spot_imgspot_img

විදේශ විනිමය ගෙන ආ හැකි, ගුවන් හමුදාවේ පැරෂුට් පුහුණු පාසල

පුවත්

විදෙස්

ගොඩබිම ඇවිදයන දෙපාවකු වූ මිනිස් සත්වයාට ආරම්භයේ සිටම සිහිනයක් තිබිණී. ඒ කුරුල්ලකු මෙන් ගුවනේ පියඹා යාමයි. ඒ සඳහා මිනිස් වර්ගයා නොගත් උත්සාහයක් නැත.

රයිට් සහෝදරයන් ගුවන් යානය නිපදවන තුරුම ගුවන තරණය කිරීම මිනිසාට සිහිනයක් වුව ද නිර්භය පුද්ගලයෝ ඊට පෙර ද උස් කඳු මුදුනක සිට පියාපත් වැනි උපකරණ සකසා පහළට පැන පියෑඹීමේ උත්සාහයන් හි නිරත වූ බවට ලේඛනගත සාක්ෂි ඕනෑ තරම් තිබේ.

අදටත් ගුවනේ පියෑඹීමට ප්‍රියකරන්නෝ බොහොමයක් සිටිති. එය වර්තමානයේ හඳුන්වන්නේ ගුවනේ කිමිදීම හෙවත් Sky Diving යනුවෙනි. මෙය ලෝකය පුරාම බොහෝ රටවල ඉතාමත් සුප්‍රසිද්ධ ක්‍රීඩාවකි.

ක්‍රීඩාවක් ලෙස දැන් ජනප්‍රිය වුව ද රට ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන විට ගුවනේ පියඹායාමට හැකි පුද්ගලයන් සිටීමේ රටේ ආරක්ෂාවට දැවැන්ත ශක්තියකි.

එහි සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරන්නේ ගුවන් හමුදාව විසිනි.

ගුවනේ සිට බිමට පතිතවන හමුදා භටයන් ඒ සඳහා විශේෂ උපකරණයක් භාවිතා කරයි. ඔවුන් පතිතවන වේගය අඩු කිරීමට, නිරුපද්‍රිතව පොළොව මත පතිතවීමට හැකිවන පරිදි සහ ඔවුන් පතිතවන ස්ථානය සහ දිශාව තීරණය කිරීමට උපකාරීවන මේ උපකරණය හඳුන්වන්නේ පැරෂුට් නමිනි. පැරෂුට් භාවිතා කරමින් බිමට පතිතවන යුද භටයෝ පැරෂුට් භටයන් ලෙස හැඳින්වේ.

පැරෂුට් භටයන් ලෝකයේ යුද කටයුතු සඳහා කොතරම් ප්‍රයෝජනවත් සහ තිරණාත්මක වන්නේ ද යන්න පෙනී ගියේ දෙවැනි ලෝක යුද්ධයේ දී ය.  1944 දී මිත්‍ර හමුදා තම සොල්දාදුවන් 20,000ක් පමණ පැරෂුට් ආධාරයෙන් විවිධ ප්‍රදේශවලට පතිත කරවූ බව පැවසේ.

මීට අමතරව පැරෂුට් ආධාරයෙන් යුද බිමට අවශ්‍ය අවි ආයුධ, ආහාර සහ බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ද සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ ද පැරෂුට් භටයෝ සිටිති. ඔවුන් ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියේ ලෙස විවිධ ඒකකයන් හි සේවය කරති.

මේ සියල්ල අතරින් ප්‍රමුඛතම සේවාවක් ඉටුකරන්නේ ගුවන් හමුදාවේ පැරෂුට් භටයෝය. මුල් අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පැරෂුට් භටයෝ ඇමෙරිකාව, ඉන්දියාව, පකිස්තානය වැනි රටවල පුහුණුව ලැබූ අතර ඔවුන් වැඩි දෙනකු ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයෝ වූහ.

ශ්‍රී ලංකාවේ හමුදාවල පැරෂුට් භටයන්ගේ අවශ්‍යතාව සපුරාලිමට මෙලෙස විදේශ පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම දුෂ්කරතාව මඟහරවාගැනීම සඳහා ගුවන් හමුදාවෙන් පුහුණු පාසලක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇතිවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැරෂුට් පුහුණු පාසලක් මෙරට දී ආරම්භ කරන්නේ 2002 ජුනි 15 වැනි දා ය.  එය 2004 ජනවාරි 12 වැනි දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ ස්ථාපිත කරන ලදී.

ශ්‍රී ලංකා ගුවනේ පළමු පැරෂුට් සංදර්ශනය පවත්වන ලද්දේ 2004 ජනවාරි 12 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වැනි සංවත්සරය වෙනුවෙනි. මෙම සංදර්ශනයත් සමඟ මෙරට පැරෂුට් පුහුණුව පිළිබඳ සියලු අංශයන්හි අවධානය විශේෂයෙන් හිමිවූ අතර 2006 මැයි මාසයේ දී ගුවන් හමුදාවේ පැරෂුට් පාසලෙන් පැරෂුට් පුහුණුව ලබාැනීම සඳහා අනෙක් හමුදා සාමාජිකයන් ද යොමු කෙරිණි. එලෙස පුහුණු වූ පළමු කණ්ඩායම වූයේ 2006 මැයි මාසයේ දී පුහුණුව ලැබූ දස දෙනෙකුගෙන් යුතු පොලිස් විශේෂ කාර්ය බලකායේ පැරෂුට් කණ්ායමයි.

DCIM\100GOPRO\GOPR7258.JPG

2008 වර්ෂයේ පැරෂුට් පුහුණු පාඨමාලා සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් ද එක්වීම විශේෂත්වයකි. ගුවන් හමුදා කාන්තා සෙබළියන් 07 දෙනකු එහි පළමු කණ්ඩායම විය.

සුදුසුකම් ලැබූ උපදේශකයන් යටතේ පවත්වාගෙන ගිය මේ පුහුණු පාසල ගුවන් භටයන්ට සහ නිලධාරීන්ට මූලික සහ උසස් පුහුණුව ලබාදීම සඳහා පවත්වාගෙන ගිය ද කටුනායක අවට ගුවනේ ඇති කාර්ය බහුලත්වය හේතුවෙන් ම පුහුණුවීම් කටයුතු වඩාත් අසීරු වී තිබිණි.

මේ නිසාම 2013 මැයි 10 වැනි දින සිට පැරෂුට් පුහුණු පාසල අම්පාර ගුවන් හමුදා කඳවුර තුළ ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරන ලදී.

මෙම පුහුණු පාසල ආරම්භ කිරීමේ මූලික අරමුණ වූයේ පැරෂුට් භටයකු නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පුහුණු මූලික පාඨාමාලව පැවැත්වීම, ඉන් සමත් වන්නන් සඳහා පැරෂුට් උසස් පාඨමාලාව පැවැත්වීම, පැරෂුට් නඩත්තුව පිළිබඳ පාඨමාලා පැවැත්වීමයි. එමෙන් ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් බළකාය සඳහා අවශ්‍ය සියලුම භටයන් සහ නිලධාරීන් පුහුණු කිරීම මෙම පැරෂුට් පුහුණු පාසලෙන් සිදුවෙයි.

DCIM\100GOPRO\G0075895.

පැරෂුට් පුහුණු පාසල ගුවන් හමුදාවේ විශේෂ ඒකකයක් ලෙස ස්ථාපිත කර තිබේ. ඕනෑම ගුවන් මෙහෙයුමක දී සහය වීමට අවශ්‍ය පැරෂුට් භටයන් මේ ඒකකයේ පුහුණුව ලබති. ඔවුන් ගුවන් හමුදාවේ සියලු මෙහෙයුම් කටයුතුවලට සෘජු හා සියුම් දායකත්වයක් සපයන කණ්ඩායමක් බවට පත්ව ඇත.

මෙලෙස පුහුණුව ලබන පැරෂුට් භටයෝ විවිිධ අවස්ථාව ලදී ගුවනේ කරන ශිල්ප දැක්වීම් මෙරට ජනතාව ඉතාමත් ආශාවෙන් නරඹති. ජාතික නිදහස් දින උත්සවයේ දී ඔවුන්ගේ දස්කම් විස්කම් දැක බලා ගැනීමට බොහෝ දෙනකු සැදී පැහැදී සිටිති. එය ඉතාමත් ආකර්ශනීය සංදර්ශනයක් බව නොරහසකි. එමෙන්ම හමුදාමය සැරුම් අවස්ථාවලදීත්, විශේෂයෙන් ම ගුවන් හමුදා සංවත්සරවල දීත් ශ්‍රී ලංකාවේ පැරෂුට් ඒකකය තම හැකියාවන් ප්‍රදර්ශනය කරති.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ විශේෂ අවධානය ද පැරෂුට් පුහුණු පාසල වෙනුවෙන් යොමුව තිබේ. ඒ සඳහා අවශ්‍ය නවීන පුහුණු උපකරණ සපයා දීම, උපදේශකවරුන්ට අවශ්‍ය විදෙස් පුහුණු අවස්ථා සැළසීම පමණක් නොව පැරෂුට් පුහුණුව සඳහා ගුවන් හමුදාවේ සාමාජික සාමාජිකාවන් උනන්දු කරවීම සඳහා ද ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ අවධානනයක් යොමුකර තිබේ.

පැරෂුට් පුහුණ පාසලේ අණදෙන නිලධාරීවරයා ලෙස වින්ග් කමාන්ඩර් සුමේධ රිටිගල මහතා කටයුතු කරයි. හෙතෙම පුහුණු පාසල පිළිබඳ මෙසේ පවසයි.

පැරෂුට් පුහුණ පාසලේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් සුමේධ රිටිගල

“ගවුන් හමුදාවේ පැරෂුට් පුහුණ පාසල දේශීය හා විදේශීය හමුදා නිලධාරීන් සඳහා ඕනෑම ආකාරයේ පුහුණුවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතයි. දැනට දකුණු ආසියාවේ තිබෙන හොඳම උපකරණ සහ දක්ෂතම පුහුණුකරුවන්ගෙන් සමන්විත පාසලක් ලෙස අපි පිළිගැනීමට ලක්ව සිටිනවා. මේ වනවිට අපි පාඨමාලා 43ක් සම්පූර්ණ කරලා තිබෙනවා. දැන් මූලික පාඨමාලවකට බඳවා ගන්නේ පැරෂුට් පුහුණුව ලැබීමට කැමැත්ත ඇති ඒ ව‍ගේම හොඳ සෞඛ්‍යයකින් සිටින ශක්තිවන්ත පිරිසක්. ඔවුන් ගුවනේ සිට පැනීමට තරම් නිර්භීතවීම අත්‍යාවශ්‍යයි. මේ පාඨමාලවට දැන් අපි එක් වරකට 50ක පිරිසක් බඳවා ගන්නවා. වසරකට පාඨමාලා 06ක් පවත්වන්න අපිට පහසුකම් තිබෙනවා.”

අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන එයාර් කොමදෝරු වරුණ ගුණවර්ධන මහතාගේ සහයෝගය සහ මගපෙන්වීම මෙම පුහුණු පාසලේ කටයුතු සඳහා වඩාත් මහෝපකාරී වෙයි.

අම්පාර කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු වරුණ ගුණවර්ධන

මෙම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙස ස්කොන්ඩ්‍රන් ලීඩර් දිනේෂ් කිරිවන්දෙණිය මහතා කටයුතු කරයි. පුහුණූ කරුවකු ලෙස විදේශ රවටල පුහුණනුව ලබා ඇති ඔහු ඇතුළු උපදේශකයන් 25 දෙනෙක් මේ පුහුණු පාසලේ සිටිති.

මේ වනවිට පැරෂුට් පුහුණු පාසලෙන් මූලික පුහුණුව හැදෑරු සංඛ්‍යාව 1369 දෙනෙකි. ඉන් 121ක ගුවන් හමුදා නිලධාරීහුය. එම පිරිස අතරින් වෙනත් උසස් පාඨමාලා හැදෑරූ පිරිස 332කි. ඒ අතර නිලධාරීන් 65 දෙනකු සිටිති. ගුවන් හමුදාව විසින් මේ වනවිට යුද හමුදාවේ 74 දෙනකු, නාවික හමුදාවේ 80 දෙනකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 54 දෙනකු පැරෂුට් භටයන් ලෙස පුහුණු කර තිබේ.

ප්‍රධාන උපදේශක ස්කොන්ඩ්‍රන් ලීඩර් දිනේෂ් කිරිවන්දෙණිය මහතා මෙසේ පවසයි.

“පැරෂුට් භටයන් පුහුණුව ලැබුවාට පස්සේ ඔවුන්ගේ නිල ඇඳුමට විශේෂ පදක්කමක් එකතු වෙනවා. ඔවුන්ට මූලික පාඨමාලාවේ දී ලැබෙන්නේ ගුවනේ සිට බිමට පැනීමේ අවස්ථා 05ක් සම්පූර්ණ කළ යුතුයි. ඉන් එක් පැනීමක් කරන්න ඕනෑ රාත්‍රී කාලයේ දී. නමුත් මේ පුහුණුව ලබන අය දිගින් දිගටම ගුවනේ සිට පැනීම් කළ යුතුයි. ඒ නිසා නිතර නිතර පැනීම් වාර මේ පුහුණු පාසලේ සිදුවනවා. මූලික පාඨමාලාවේ දී පැනීම් කරන්නේ අඩි 800 – 1300ත් අතර උසකින් නමුත් උසස් පාඨමාලාවේ දී අපි අඩි 10,000ත් 13,000ත් අතර උසකට ගිහින් තමයි පැනීම කරන්නේ. ඉතින් මෙය හොඳින් ප්‍රගුණ කළ යුතු දෙයක්.”

ශ්‍රී ලංකාවේ දැනට ගුවනේ සිට පිනුම් 1,000 ඉක්මවූ තිදෙනෙක් සිටිති.

වින් කමාන්ඩර් සම්පත් පියසුන්දර පිනුම් 1,500ට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබේ. වින්කමාන්ඩර් විජිත ගෝමස් පිනුම් 1,200ක් පමණ සිදුකර ඇති අතර පැරෂුට් පුහුණු පාසලේ අණ දෙන ‍නිලධාරී වින්ග් කමාන්ඩර් සුමේධ රිටිගල පිනුම් 1,100කට වඩා සිදුකර ඇත.

අඩි 10,000කට වැඩි ඉහළ අහසේ සිට පනින අවස්ථාවේ දී පවා පොළාව මත ඇති එක් ඉලක්කයක් දී එම ඉලක්කය මත කකුලක් ස්පර්ශවන ආකාරයෙන් පැනීමට උසස් පාඨමාලාවල දී පුරුදු පුහුණු කරනු ලැබේ.  මේ ඉලක්කය සෙන්ටිමීටර 16ක විශ්කම්භයකින් යුතු තැටියක් තමන් බිමට පතිතවන අවස්ථාවේ දී පා‍දයෙන් ස්පර්ශ කිරීමයි.

මෙය ඉතාමත් අසීරු කාර්යයකි. සුළගේ වේගය හා දිශාව අනුව තමන්ගේ පැරෂුටය පාලනය කරගනිමින් නිශ්චිත ඉලක්කයකට පැමිණීම අතිශය අසීරු වුව ද ඒ හැකියාව ඇති පිරිසක් මේ වනවිට ගුවන් හමුදා පුහුණු පාසලෙන් බිහිවී සිටිති. මේ අතර කාන්තාවන් ද සිටම විශේෂත්වයකි.

එම හැකියාව ප්‍රගුණ කර ඇති නායක ගුවන් කාන්තාවක් වන අමාලි ඉන්දීවරී මෙම පුහුණු පාසලේ උපදේශකවරියක් ලෙස ද කටයුතු කරයි. ඇය මෙසේ කීවාය.

“මෙය බොහෝ දෙනෙක් ලොකු අභියෝගයක් ලෙස දකිනවා. කාන්තාවක් අඩි 10,000ක් විතර ඉහළ අහසේ සිට බිමට පනිනවා කියන්නේ පුදුම දෙයක් වුණත්  දැඩි අධිෂ්ඨානය, කැපවීම සහ පුහුණුව සමග ඒක පුදුම දෙයක් නොවෙයි. මා මේ පාඨමාලාව හැදෑරුවේ ඒ ගැන තිබුණු ආශාවට. මුල දී ටිකක් චකිතයක් තිබුණත් එය පසුව නැති වුණා. දැනට පැරෂුට් පාඨමාලාව සම්පූර්ණ කරපු කාන්තාවන් 53ක් ඉන්නවා. හැම කණ්ඩායමකම වගේ මේ සඳහා ඉදිරිපත්වන කාන්තාවන් ඉන්නවා. මෙය ඇත්තමට බිය වෙන්න කාරණයක් නෙවෙයි. කාන්තාවන්ට තියෙන හොඳ අවස්ථාවක්.”

DCIM\100GOPRO\G0015343.

ගුවන් හමුදාවේ භාවිතා වන පැරෂුට් වර්ග දෙකක් තිබේ. එකක් හඳුන්වන්නේ පැරබොලික් පැරෂුට් යනුවෙනි මූලික පාඨමාලාවේ දී පැරෂුට් පැනීම සිදුකරන උස අඩු බැවින් එය භාවිතා කරයි. රවුම් හැඩැති මේ පැරෂුට් ගුවනේ සිට පනින විටම දිගහැරෙන ආකාරයනේ සකසා තිබෙබ්.

අනෙක් පැරෂුට් වර්ගය හතරස් හැඩැති වේ. පැරෂුටයක් සහිතව පනින සෙබළකු ගුවනේ යම් දුරක් පැරෂුටය භාවිතයකින් තොරව පාවී පැමිණ තමන්ට අවශ්‍ය අවස්ථාවක දී එය දිගහැර ගැනීමට හැකියාව තිබේ. මේ සඳහා උදව්වන ඔහු සිටින උස ප්‍රමාණය පෙන්වන උපකරණයක් පැරෂුට් භටයාගේ අතෙහි බැඳ තිබේ. නමුත් ඔහුට නියමිත වේලාවේ දී පැරෂුටය දිගහැර ගැනීමට නොහැකි වුවහොත් ඔහුගේ බිම පතිතවන වේගය සහ පොළොවේ සිට සිටින උස ගණනය කර ස්වයංක්‍රීයව පැරෂුටය විවෘතවන උපකරණයක් ද එම හතරැස් හැඩැති පැරෂුට්වලට සවිකර තිබේ.

එබැවින් පැරෂුට් භටයෝ ජීවිත අවදානමකට මුහුණ දෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

පැරෂුට් නඩත්තු කිරීම සහ ඇසුරුම් කාර්යය ඉතාමත් සැළකිල්ලෙන් කළ යුතු මෙන්ම නිවැරදිව කළ යුතු දෙයකි. ඒ නිසාම පැරෂුට් නඩත්තුව හා ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් ද පුහුණු පාඨමාලා මෙම පාසලේ පැවැත්වේ.

එක් පැනීමකින් පසු පැරෂුටය ගෙනවිත් වියලා එහි සෑම ස්ථානයක්ම සියුම්ව පරීක්ෂා කරනු ලැබේ. කිසිදු පළුදු වීමක් හෝ තිබිය නොහැක. ඉන් පසු ඒ සඳහා පුහුණුව ලැබූ විශේෂ නිලධාරීන් විසින් පැරෂුටය ඇසුරුම් කරයි. මේ ඇසුරුම් කිරීම කිසිදු වරදකින් තොරව 100%ක් ම නිවැරදි විය යුතුය. පැරෂුට් ඇසුරුම් කිරීම සුළුවෙන් හෝ වැරදී තිබුණහොත් අහිමිවන්නේ එය භාවිතා කරන්නා‍ගේ ජීවිතයයි.

රටවල් අතර ඇතිවන යුද කටයුතුවල දී පැරෂුට් භටයෝ යුද බිමට ගුවනේ සිට පතිත වනවිට ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගත් යුද නීතියක් තිබේ. සතුරු පරිශ්‍රයකට ඔවුන් පතිත වන්නේ වුව ද ගුවනේ දී ඔවුන්ට වෙඩි තැබීමට නොහැකිය. එවැනිි භටයකු බිමට පතිත වී විනාඩි 02ක් යන තුරු ද වෙඩි තැබීම යුද රීතීන් උල්ලංඝනයක් ලෙස සැළකේ.

නමුත් වර්තමානයේ ලෝකයේ ත්‍රස්තවාදීන් විසින් කරගෙන යන යුද සටන් වල දී  ඔවුන් එවැනි ජාත්‍යන්තර යුද රීතීන් ගැන සැළකිල්ලක් නැත. ඒ නිසාම පැරෂුට් භටයන් යුද බිමට පිවිසෙන්නේ කලා තුරකිනි.

ශ්‍රී ලංකාවේ දශක තුනක් පැවැති යුද්ධය ද කොටි ත්‍රස්තවාදීන් විසින් එැවනි රීතීන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය බැවින් පැරෂුට් භටයන් යුද පිටියට පතිත ක‍ර නැත.

නමුත් පැරෂුට් භටයන් විසින් යුද්ධ අවස්ථාවල දී සහ වෙනත් ඕනෑම අවස්ථාවක දී කළ හැකි සුවිශේෂී කාර්ය භාරයක් තිබේ.

ළඟා වීමට අපහසු ස්ථානයකට ආරක්ෂාව සැපයීම, විශේෂ පිරික්සුම් කටයුතු සහ මෙහෙයුම් සඳහා පැරෂුට් භටයන් පතිත කිරීම එවැනි මූලික කාර්යයක් ලෙස සැළකිය හැකිය.

මීට අමරතව පැරෂුට් පුහුණුව නොමැති අයකු වුව ද, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, සහන සේවකයන්, රාජ්‍ය නිලධාරීන් වැනි ඕනෑම අයකු පුහුණු පැරෂුට් භටයකු සමඟ ඕනෑම අසීරු ස්ථානයකට පතිත කරවීමේ හැකියාව තිබේ.

මෙය විශේෂයෙන් ම ආපදා අවස්ථාවල දී ප්‍රයෝජනයට ගත හැකි දෙයකි.

ආපදා අවස්ථාවල දී අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර, ජලය ඇතුළු උපකරණ විපතට පත්වූවන් වෙත කඩිනමින් සහ පහසුවෙන් සැපයීමට ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් ඒකකයට හැකියාව ඇත.

මෙය මෙරට ආපදා කළමනාකරණයේ දී ඉතාමත් වැදගත් කාර්යයකි. නමුත් තවමත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසී ඇත්ද යන්න ගැටලුවකි. ආපදා අවස්ථාවල දී ගුවන් හමුදාවේ සහය ලබාගන්නේ විපතට පත්වූ ඇතැම් පිරිස් බේරාගැනීම සඳහා සහ ගුවනේ සිට ආපදා නිරීක්ෂණය කිරීමට පමණක් බවත් මාධ්‍යවේදීන් ලෙස අප දන්නා කරුණකි.

පැරෂුට් පුහුණ පාසලට සහ ගුවන් හමුදාවේ පැරෂුට් ඒකකයට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල වශයෙන් විදේශ විනිමය උපයාගත හැකි ආකාරයක් ද තිබෙන බව ගුවන් හමුදා නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේ දී අනාවරණය විය.

නමුත් ඒ සඳහා තවමත් නිසි ක්‍රමවේදයක් මෙරට සැකසී නැත.

පැරෂුට් භාවිතයෙන් ගුවනේ කිමිදීම හෙවත් Sky Diving ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. පැරෂුට් පුහුණුව ලැබූ හමුදා ඒකක අතර අන්තර්ජාතික වශයෙන් ද එම තරඟ සංවිධානය කිරීම් සිදුවෙයි. ඒ සඳහා වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ පැරෂුට් කණ්ඩායම් ද සහභාගී වීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි.

තවමත් ශ්‍රී ලංකා පැරෂුට් කණ්ඩායමට එවැනි තරඟවලියක ජයග්‍රහණ ලැබී නැතත් ඔවුන් එවැනි අවස්ථාවල දී සුවිශේෂී දක්ෂතා දක්වා තිබීම සතුටට කරුණකි. පැරෂුට් පුහුණු පාසල ආරම්භ කළ මුල් කාලයට වඩා ශ්‍රී ලංකා පැරෂුට් කණ්ඩායම් මේ වනවිට තම අත්දැකීම් සහ පළපුරුද්ද සමග ජාත්‍යන්තරව සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

පැරෂුට් ක්‍රීඩාවේ නිරත වන්නේ හමුදාමය සාමාජික සාමාජිකාවන් පමණක් නොවේ. විනෝදය සහා පැරෂුට් ක්‍රීඩාවේ නිරතවන අතිවිශාල පිරිසක් ලෝකය පුරා සිටිති. ඔවුන්ට ශ්‍රී ලංකාව වැනි සුන්දර දිවයිනක ගුවනේ සිට පැරෂුට් මගින් පතිත වීමට පහසුකම් සපයන්නේ නම් එමගින් අප රටට විදේශ විනිමය විශාල වශයෙන් උපයාගත හැකි වනු ඇත.

මේ වනවිට මෙය විදේශිකයන් කණ්ඩායමක් විසින් සිදුකරමින් තිබේ. ඔවුන් විවිධ රටවල විසිරී සිටින පැරෂුට් ක්‍රීඩාවේ නිරතවීමට කැමති අයට ශ්‍රී ලංකාවට ආරාධනා කරයි. එලෙස පැමිණෙන කණ්ඩායම් සඳහා සියලු පහසුගම් ලබා දෙන්නේ ගුවන් හමුදාවේ පැරෂුට් එකකය විසිනි.

ගුවන් හමුදාව සතු පැරෂුට් ඔවුහු භාවිතා කරති. ඔවුන් ගුවනට රැගෙන යන ගුවන් යානය ද ගුවන් හමුදාවේය. පැරුෂුට්වලින් පනින අවස්ථාවේ සිට බිමට පතිත වී නැවත ඔවුන් නිරුපද්‍රිතව ආපසු යැවීම දක්වා සියලු වගකීම ගුවන් හමුදාව සතුවෙයි.

නමුත් මෙමගින් වැඩි ලාභයක් ලබන්නේ එවැනි වැඩසහටන් සංවිධානය කරන අතරමැදි විදේශිකයෝය. මෙය සැබැවින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත් එක්ව සංවිධානය කළ හැකි සංචාරක ආකර්ශනීය වැඩසටහනකි. එමගින් විශාල විදේශ විනිමයක් මෙරටට ලබාගැනීම සඳහා ගුවන් හමුදාවත් එහි පුහුණුව ලැබූ නිලධාරීන් ද උපයෝගී කරගත හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් වශීකෘතව සිටින විදේශිකයන් මේ සඳහා විශාල වශයෙන් සහභාගී වනු ඇත.

පාලකයන්ගේ අවධානය මෙවැනි කාර්යයන් සඳහා යොමුවිය යුතුව තිබේ.

(සටහන – සජීව විජේවීර)

විශේෂ ස්තූතිය – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් වික්‍රමසිංහ ඇතුළු මාධ්‍ය ඒකකයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!