spot_img
spot_imgspot_img

ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු පකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා ඉතිරි වේ ද ?

පුවත්

විදෙස්

පකිස්තාන ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් විසිනි

පසුගිය දා නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් සපයන්නා වූ, සියල්කොට්හි රාජ්කෝ ඇඟළුම් හළේ කළමනාකරුවකු වූ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය ශ්‍රී ලංකවේ සහ පකිස්තානයේ කම්පනයක් ඇති කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති ඉම්රාන් ඛාන් එම ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම පිළිබඳ කැපවී සිටිනවා. මෙවන් පසුබිමක දී ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ඇති සර්වකාලීන මිත්‍රත්වය නොනැසී පවතී ද?

ජනාධිපති රාජපක්ෂ සහ අගමැති රාජපක්ෂ දෙදෙනාම තමන් මේ සිද්ධියෙන් දැඩි කම්පනයට පත්වූ බවපවසමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණේ ප්‍රියන්ත කුමාරට යුක්තිය ඉල්ලමින්. එම ඝාතනය සිදුවන අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරමින් සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පකිස්තාන අගමැති ඉම්රාන් කාන් ලබාදුන් දුරකථන ඇමතුමෙන් ඒ පිළිබඳ විශ්වාසය පළකර තිබුණා. එහි දී ඔහු, නීතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කර චූදිතයන්ට නඩු පවරන බවට සහතික වුණා. එම ඝාතනය සිදුවූ දිනය “පකිස්තානයට ලැජ්ජා සහගත දිනයක්” ලෙස ද ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා. ඒ බව පකිස්තාන හමුදා ප්‍රධානී ජනරාල් කමාර් ජාවෙඩ් බජ්වා ද ප්‍රකාශ කළ සිටියේ ප්‍රසිද්ධියේමයි.

නීතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ආයතනික සහයෝගය ප්‍රසිද්ධියේ සහතික කර තිබෙනවා. අපහාස කිරීම් සම්බන්ධයෙන් බොහෝ විට පුරෝකථනය කළ හැකි සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී එය අපහසු කළ නොහැකි බවට ඔහු ඉඟි කළා.

පන්ජාබ් පොලිසිය සැකකරුවන් 130 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තා විනිසුරු නටාෂා නසීම් විසින් ප්‍රධාන විත්තිකරු ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඇය ප්‍රධාන සැකකරුවන් 26 දෙනා නැවත අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර දින 15 ක් පොලිස් අත්අඩංගුවේ තැබුවා.

සෑම තරාතිරමකම සිටින බොහෝ පාකිස්තානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර වරදකරුවන්ට නිසි දඬුවම් දෙන ලෙස වීදි බැස උද්ඝෝෂණයේ නිරතවුණා.

වඩදිය බාදියට එරෙහිව

කාලයාගේ ඇවෑමෙන් පරීක්ෂණයට ලක් වූ ද්විපාර්ශ්වික සබඳතාවයක් මරණයකින් පසු නොනැසී පවතිනු ඇති.

ශ්‍රී ලංකා නායකත්වයේ සහ ජනතාවගේ ඇදහිය නොහැකි ඉවසීම නිසා පාකිස්තානුවන් පුදුමයට පත්ව ඇති අතර යුක්තිය ඉටු කරන බවට අගමැති ඉම්රාන් ඛාන්ගේ සහතිකය කෙරෙහි ශ්‍රී ලංකාව පමණක් නොව මේ ඝාතනය හෙළා දකින පකිස්තානුවන් ද විශ්වාසය තබා සිටිනවා.

දෙසැම්බර් 6 වන දින, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, පකිස්ථානයේ ප්‍රතිචාරය පිළිබඳව තෘප්තිමත් බව ප්‍රකාශ කළේ “මෙම සිදුවීම දෙරට අතර මිත්‍රශීලී සබඳතාවලට බලපාන්නේ නැහැ.” යැයි කියමින්. ඝාතනය හෙළා දකින අතරම එය නොඉවසන බව ද ඔහු අවධාරණය කිරීමට අමතක කළේ නැහැ.

“සිද්ධිය අපේ රට, අපේ ආගම හෝ අපේ ජාතිය ඉලක්ක කරගත් එකක් නොවන බව අපට හොඳටම විශ්වාසයි. එය හුදකලා සිදුවීමක්.” ඔහු කීවා.

“මේ වනවිටත්, සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබීමත් ඔවුන්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටීම පිළිබඳ සෑහීමකට පත්වන බව ද ඔහු ප්‍රකාශ කළා.

විඳදරාගැනීමේ කොන්දේසි

පහසුවෙන් නැවෙන සුළු කුළුණු දෙකක් ලෙස පකිස්ථාන-ශ්‍රී ලංකා සබඳතාව නිර්වචනය කළ හැකියි.

එනම්, ත්‍රස්තවාදය සහ ක්‍රිකට් සමඟ ගනුදෙනු කිරීමේ දිගුකාලීන අත්දැකීම් එකක්. දෙවැන්න ලිහිල් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් නොවිය හැකි නමුත් ක්ෂේත්‍ර දෙකේදීම, රටවල් දෙක සැලකිය යුතු ලෙස අවාසි වලට එරෙහිව කටයුතු කර තිබීම. සැප්තැම්බර්  11 වැනි දා ඇමරිකාවේ නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු වඩාත් වේගයෙන් ගලා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ පෙරටුගාමී රාජ්‍යයක් ලෙස ත්‍රස්තවාදය සහ අන්තවාදය සමඟ කටයුතු කිරීමට පාකිස්තානයට සිදුව තිබුණා.

බෙදුම්වාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කුරිරු සිවිල් යුද්ධයේ පැවැති දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව ද මෙවැනි තත්වයන් විඳදරා ගත්තා. එල්ටීටීටීඊ ගරිල්ලා සංග්‍රාමය – මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ හමුදාවක් විසින් මෙහෙයවනු ලැබූ අතර, තරුණ පිරිමි ළමුන් සහ කාන්තාවන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ සාමය සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි කරන ලද බලපෑම අති විශාලයි.

1983 දී දෙමළ සුළුතරයේ සංහාරයක් සමඟ අගනුවර ඇති වූ කෝලාහලයෙන් අවස්ථාවේ දී, රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ පුතෙකු ලෙස එවකට 10 හැවිරිදි වියේ පසුවෙමින් ඇඳිරි නීතිය වටහා ගැනීමට උත්සාහ කළ අතර දෙපැත්තෙන් ම එල්ල වූ ප්‍රහාර පවා දුටුවා.  එවැනි කලබලකාරී වාතාවරණයක දී ඇතිව අවුල් සහගතභාවය පිළිබඳ මගේ පළමු අත්දැකීම කොළඹදී විඳීමට සිදුවුණනා. එය බොහෝ වාර්ගික යුද්ධ මෙන් රටේ උතුරු කෙළවරේ සහ යුධ පිටියේ සිංහල සොල්දාදුවන් මරා දැමීමෙන් පසුව සිදු වූ දෙයක්. කොළඹ – 8 බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අපගේ නිවසට යාබද බොරැල්ල පොදු සුසාන භූමියේ අවමංගල්‍ය කටයුතු සඳහා දේහයන් රැගෙන එන විට මගේ හැඟීම් වඩාත් තීව්‍ර වුණා.

එල්ටීටීඊ නිර්මාතෘ වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසානයේ අල්ලා මරා දැමූ බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ප්‍රකාශ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ වත්මන් අගමැති සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 දී යුද්ධය අවසන් කරන බව නිවේදනය කළා.

මේ යුද්ධය සම්බන්ධයෙන් පකිස්තානයේ සිත්ගන්නාසුලු කියවීමට හේතු වෙනවා. නමුත් සමහර විට, ප්‍රතික්ෂේප කිරීම ඊටත් වඩා බලවත් විය හැකියි.

එල්ටීටීඊයට ආධාර කළ බවට චෝදනා කරමින් තම විශාල අසල්වැසියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉතා දැඩි පිඩනයකින් යුතුව 1987 දී ජේ.ආර්.ජයවර්ධන සහ රජිව් ගාන්ධිගේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට ඉන්දියානු සාම සාධක හමුදාවන්ගේ (IPKF) මතභේදාත්මක මැදිහත්වීම අභ්‍යන්තර යුද්ධයක් කරා දික් ගැසී ගියා.

මෙම මැදිහත්වීම ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරයක් විසින් කිසිවිටෙකත් යහපත් ලෙස නොදුටු අතර කාලයත් සමඟම IPKF ඉවත් කිරීම සඳහා වූ ඉල්ලීම් දේශය පුරා මුල් බැස ගත්තා.

මෙම මැදිහත්වීම බොහෝ හේතු නිසා සංකීර්ණ දෙයක්. මුලදී ආරම්භ වූයේ, කැරලිකරුවන් පරාජය කිරීමට ආසන්න බව කොලඹ ප්‍රකාශ කරන විට, එල්ටීටීඊයට ආධාර කළ බවට ඉන්දීය හමුදාවට චෝදනා එල්ල වුණා. කැරලිකරුවන් නිරායුධ කිරීමේ සාම සාධක ව්‍යාපාරයක් ලෙසිනි ඉන්දිය මැදිහත්වීම අර්ථ දැක්වූවා. IPKF හමුදා මෙහෙයුම් සඳහා සක්‍රීය සහභාගීත්වය දක්වා සංවර්ධනය වූ අතර එය කොළඹ දේශපාලනය අවුල් සහගත තත්වයකට පත්කිරීමට හේතු වුණා. එල්ටීටීඊයට ඉන්දියාව තුළ දෙමළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල සහාය ලැබීම නොරහසක්.

එල්.ටී.ටී.ඊ.ය ද ඇතුළුව දෙපාර්ශ්වය ම ඉන්දිය මැදිහත් වීමට විරෝධතාව දක්වන බවක් පෙන්වුව ද හමුදා භටයින් ආපසු කැඳවීම ගාන්ධි ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත්, ගාන්ධි ඉන්දියාවේ මැතිවරණයෙන් පරාජය වූ පසු, ඔහුගේ අනුප්‍රාප්තික වී.පී. සිං 1990 දී ඉන්දීය හමුදාව නැවත කැඳවූවා තෙවසරක IPKF ‘සාමසාධක’ මෙහෙයුමෙන් ශ්‍රී ලාංකිකයන් 5,000 ක් සහ ඉන්දීය හමුදාවේ 1,100 ක ජීවිත අහිමි වූ බව ගණන් බලා තිබෙනවා.

ඉදිරියට

පසු වසරවලදී, සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී, කැරැල්ල මැඬලීම සඳහා අති නවීන ආයුධ ලබාගැනීමට ලංකා රජය කළ ඉල්ලීම නව දිල්ලිය නොතකා හැරියා. පකිස්තානය මෙම ඇමතුමට නොසැලකිලිමත් ලෙස පිළිතුරු දුන්නා. එය 1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට සමාජවාදී පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණෙන් සන්නද්ධ කැරැල්ලක් ජය ගැනීමට උපකාර කළ අවස්ථාවට සමානයි. එම වසරේම ඉන්දියාව සමඟ යුද්ධයට ගිය නිසා ශ්‍රී ලංකාව එහි නාවික හමුදාවට සැපයුම් ආධාර ලබාදීම මෙයට හේතුවයි.

2006 දී ඉස්ලාමාබාද් සිට කොළඹ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර එවා තිබුණේ ස්වදේශික කැරැල්ලකට එරෙහිව සටන් කිරීමේ පෙර පළපුරුද්දක් ඇති එයාර් වයිස් මාර්ෂල් ෂෙසාද් චෞද්‍රි.  කැරැල්ලට එරෙහි ගුවන් සටන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති පකිස්තාන ගුවන් හමුදා නිලධාරීන් දුසිම් භාගයකට අධික සංඛ්‍යාවක් ඔහු සමඟ සේවයට එක්ව සිටියා. ගුවන් බලයට අමතරව පකිස්ථානය අති නවීන භූමි අවි සහ කාලතුවක්කු ද ලබා දුන්නා. වසර තුනකට අඩු කාලයකදී කැරැල්ල අවසන් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්ට හැකි වූයේ පකිස්තානයෙන් ලැබුණු මේ අනභිබවනීය සහයෝගය හේතුවෙන්.

අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී දෙපාර්ශවය විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම්වලට අත්සන් තැබුවා. එමෙන් ම පසුගිය පෙබරවාරි මස තරම් මෑතක දී පකිස්තානය ශ්‍රී ලංකාවට ආරක්ෂක මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 50 ක ණයක් ලබා දුන්නා.

ඇත්ත වශයෙන්ම, ඉම්රාන් ඛාන් පිළිබඳ ගැන සඳහන් කිරීම ඔහුගේ පළමු වෘත්තිය වන ක්‍රිකට් ක්‍රීඩාවේ සිට (ඔහු ලෝකයේ ප්‍රමුඛත ම ක්‍රිකට් නායකයෙකු බවට පත් වූ ඔහු තමන් ක්‍රීඩා කළ කාලයේ දී විශිෂ්ඨත ම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට ද පත්වුණා) අවධානයට ලක් නොවී සිටිය නොහැකි පුද්ලකු බව පැහැදිළියි.

ඉම්රාන් ඛාන් සහ පකිස්ථානයේ ප්‍රථම මහජන ඡන්දයෙන් තේරී පත් වූ අග්‍රාමාත්‍යවරයා වූ සුල්ෆිකාර් අලි භූතෝ ද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. 1978-84 කාලයේ කොළඹ ඉගෙනුම ලැබූ සිසුවකු ලෙස සිටි කාලයේ දී එ් ගැන මට අත්දැකීම් ලැබුණා.

භූතෝ-බණ්ඩාරනායක සම්බන්ධතාව

අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක භූතෝ ගේ සමීප මිතුරියක් ඇය “තුන්වැනි ලෝකයේ හඬ” ලෙස ගෞරවයට පාත්‍රව සිටියා. 1979 දී හමුදා නායකයකු වූ ඒකාධිපති ජෙනරාල් සියා-උල්-හක්ගේ බලපෑම යටතේ අධිකරණයක් විසින් මිනීමැරීමට අනුබල දුන් බවට මතභේදාත්මක චෝදනා මත භූතෝව මරාදැමීමෙන් පසු මගේ පියා ගත කළේ ඉතා බිහිසුණු කාලයක්. භූතෝගේ ඉරණම ගැන ඔහුගේ සිත තුළ තිබුණේ කෝපයක්. මහ කොමසාරිස් කාර්යාලයේදී, භූතෝගේ ඉරණම ගැන ‍දුකට, වේදනාවට පත් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔහුට ඇමතුම් විශාල ප්‍රමාණක් ලැබුණා.

1979 අප්‍රේල් 04 මගේ මතකයේ තදින්ම බැඳී තිබෙනවා. ඉම්රාන් ඛාන් ඇතුළු පකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සුහද තරගයක් ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩාංගණයකට මම සහ මගේ සහෝදරයන් යනවා. එදා දහවල් හදිසියේම, දැඩි නිහඬතාවයක් සමග විශේෂ පුවත්පත් අතිරේකයක් ලැබෙනවා. එහි දැවැන්ත සිරස්තලයේ දැක්නවන්නේ අලි භූතෝ එල්ලා මැරූ බව.

මාස කීපයකට පසු ජෙනරාල් සියා, තානාපතිවරයාට තෑගි ලෙස හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට ලබාදෙන ලෙස පවසා ත්‍යාගයක් එවා තිබුණා. මගේ තාත්තා මෙය රැටටීමක් ලෙස දුටු බැවින් එය ලබාදීම සම්බන්ධයෙන් විදේශ කටයුතු කාර්යාලයෙන් උපදෙස් විමසන ලෙස ද තානාපතිවරයාට දැනුම් දුන්නා. කෙසේ වෙතත්, ඔහුගේ උපදෙස් නොතැකූ තානාපතිවරයා තම ස්වාමිවරුන් සතුටු කිරීමට සඳහා බණඩාරනායක සමඟ “සන්නිවේදන මාර්ගයක් විවෘත කිරීමට” මෙම ත්‍යාග පිරිනැමීම සුදුසුයැයි තීරණය කළා. ඒ අනුව එම ත්‍යාග හිටපු අගමැතිනියගේ නිවසට යැවූ විගස ඒවා ආපසු එවා තිබුණේ භූතෝගේ ජීවිතය බේරා දෙන ලෙස සියා උල් හක්ට කරන ලද ආයාචනා නොසළකා හැර ඇති හමුදා නායකයා ඉලක්ක කරගත් ඉතාමත් දරුනු සටහක්ද සමගිනුයි.

ක්‍රිකට් ක්‍රීඩාවේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජික ටෙස්ට් තත්ත්වය ලබා දීමේ ප්‍රමුඛයා වූයේ පාකිස්තානයයි. එවක පකිස්ථානයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එයාර් මාර්ෂල් නූර් ඛාන් ආසියාතික සාමාජිකයින්ගේ අවධානය සාක්ෂාත් කර ගැනීම සඳහා සාර්ථක ලෙස යොදා ගත්තා. මෙම අනුග්‍රහය සඳහා ශ්‍රී ලාංකිකයන් එදා සිටම පකිස්තාන ක්‍රිකට් සඳහා සහයෝගය නිරන්තරව ලබාදී තිබෙනවා.

මුම්බායි ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් පකිස්තානය හුදකලා කිරීමට පටන් ගත්තා. ත්‍රස්තවාදීන් පාකිස්තානයේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන බවට  දොස් පැවරුවා – ඉස්ලාමාබාද් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා – එදා පකිස්තානයේ ක්‍රිකට් විනාශ කිරීමට ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් නොතකා 2009 දී පාකිස්ථානයේ සංචාරය කිරීමට ශ්‍රී ලංකාව යොමු වුණේ දෙරට අතර ක්‍රීඩාවේ ඇති අපූරු මිත්‍රත්වය සනාථ කරමින්.

අවාසනාවකට මෙන්, එකල පැවති අදූරදර්ශී දේශපාලන නායකත්වයට ස්තූතිවන්ත වන්නට – භූතෝගේ පකිස්ථාන මහජන පක්ෂය සහ දැන් ස්වයංව පිටුවහල් වී සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය, යන දෙකම පන්ජාබ් සඳහා බල අරගලයක සිරවී සිටියා. මෙම කලාපය පකිස්තාන දේශපාලන අනුකෘතියේ බලයේ බලකොටුව වුණා – එම දෛවෝපගත මාර්තු 09 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රහාරයක් එල්ල වීම අතිශය ඛේදජනක සිදුවීමක්. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගමන්ගත් බස් රථයේ පාකිස්තානු රියදුරු වූ මෙහර් මුහම්මද් ඛලීල් තම ජීවිතය පරදුවට තබා කණ්ඩායම වෙඩි වරුසාවකින් බේරා ගැනීමට කටයුතු නොකළේ නම්, සමහර විට පකිස්තානයට පෙරදීට වඩා දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට ඉඩ තිබුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් ආරක්ෂා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිය නිවෙස් බලා පිටත්ව යද්දී, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට තුවාල සිදුවීම එදා පකිස්තාන හදවත් කම්පනයට පත්කළ කරුණක්. පසුව ශ්‍රී ලංකා රජය තම ක්‍රිකට් වීරයන් බේරාගත් පකිස්තාන රියදුරා කොළඹ දී පිළිගත්තේ තවත් වීරයෙක් ලෙසයි.

නිහඬ සහාය

2012 දී, පකිස්තාන රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහ්මාන් මලික් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, මම ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය ගැන විමසුවා. මුලදී, ඔහු එය ‘සංවේදී’ විෂයක් යන්න පවසමින් ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කළා. නමුත් නැවතත් මම එය අවධාරණයෙන් විමසූ විට ඔහු හෙළි කළේ ඔවුන් ප්‍රහාරයට වගකිව යුත්තන් හඳුනාගෙන ඇති නමුත් අවාසනාවකට, ඔවුන්ට එය ප්‍රසිද්ධියට පත් කිරීමට නොහැකි වූ බවයි. ඉන්දියාව සම්බන්ධ මාතෘකා ශ්‍රී ලංකාව විසින්ම ලබා දී ඇති බවට එයින් පෙනී යනවා. ඉන්දියාව පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධියේ රිදවද්දී මේවා ප්‍රසිද්ධ නොකරන්නේ මන්දැයි මා ඔහුගෙන් ඇසූ විට, ඔහු පැවසුවේ, ඉස්ලාමාබාද්ට එසේ නොකරන ලෙසට කොළඹින් ලැබුණු ඉල්ලීමට ඉඩ දීමට සිදුවූයේ ක්‍රීඩාවේ ඉන්දියාවේ ආධිපත්‍ය හමුවේ තම ක්‍රිකට්වලට ද හානි වේය යන සැබෑ බියෙන් බවයි.

1996 දී පකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දැක්වූ ලෝක කුසලාන තරඟාවලිය අතරතුර, බටහිර ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ආරක්ෂක ගැටළු මතුකරමින් ශ්‍රී ලංකාවේ පැවති තරඟවලින් කුප්‍රකට ලෙස ඉවත් වුණනා. පාකිස්තානය, ඉන්දියාව සමඟ එක්ව ලෝක කුසලානයට පෙර ප්‍රදර්ශන තරගයක් ක්‍රීඩා කිරීම සඳහා සහයෝගීතාවයේ හැඟීමෙන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඒ අවස්ථාවේ දී ක්‍රිකට් ලෝකයේ ශ්‍රී ලංකාව තනි නොකරමින්.

එදා සියලු කණ්ඩායම් අභිබවමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පිවිසි අතර එහිදී ඔවුන් තම ප්‍රියතම දකුණු ආසියාතික ජාතියෙන් නොනවත්වා ලැබෙන සහයෝගය හමුවේ ලාහෝරයේ අතිවිශාල පකිස්තාන ප්‍රේක්ෂකයන් පිරිසක් හමුවේ ඕස්ට්‍රේලියාව පරාජයට පත්කළා; මෙම කුසලානය හිටපු අගමැති සුල්ෆිකාර් අලි භූතෝගේ දියණිය වන අගමැතිනි බෙනාසීර් භූතෝ විසින් නායක අර්ජුන රණතුංගට පිරිනැමුවා.

අගමැති ඉම්රාන් ඛාන් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විට, ඔහු වීරයෙකු මෙන් ගෞරවයට පාත්‍ර වූවා, අවම වශයෙන් එක් උත්සවයක් සමඟින්, ඔහුගේ ජීවිතය සහ සිදුවීම් පිළිබඳ විශේෂ වාර්තා චිත්‍රපටයක් සමඟින් හිටපු සහ වත්මන් ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ඨයන්ගෙන් සැදුම් ලත් දැවැන්ත පිරිසක් ඔහු පිළිගැනීමට එක්ව සිටීම විශේෂත්වයක්.

දෑස් විවර කරන්නා

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් 1967 සිට පකිස්ථානුවන් හට ත්‍යාගශීලී ලෙස අක්ෂි පටල 35,000ක් පරිත්‍යාග කර ඇති ආකාරය තුළ මෙම සම්බන්ධතාවයේ සංකේතාත්මක ප්‍රකාශනයට වඩා කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. පකිස්තානයේ ප්‍රධානතම අක්ෂි වෛද්‍යවරයෙක්වූ නියාස් බ්‍රෝහි පවසන පරිදි මුළු ලෝකයෙන් ම ලැබී ඇති පරිත්‍යාග ප්‍රමාණය 82,300යි. එසේනම් ශ්‍රී ලංකාවෙන් පමණක් ලැබුණු ප්‍රමාණය 40%ක්.

සියල්කොට්හි ඛේදවාචකයෙන් පසුව එය නැවතත් අවධානයට ලක් විය යුතුයි. ප්‍රියන්ත කුමාරට කළගුණ නොදත් සත්කාරකයකු ලෙස සැලකීමට “අපට මෙය නොපෙනුණේ කෙසේද” යන අභ්‍යන්තර විමර්ශන ස්වරයෙන් ශ්‍රී ලංකාවට විවෘත සමාව අයැදීමේ දී පකිස්තානුවන් අතර ඇති ශෝකය සමාජ මාධ්‍යතුලින් දිස්වූවා.

ප්‍රියන්ත කුමාරගේ වියෝවීම පිරිමැසිය නොහැකි වුවද, යුක්තියේ අවසානය නිසි ලෙස ඉටු කර අන්තවාදය සම්බන්ධයෙන් භූ මට්ටමේ පවතින වැරදි මතවාද සම්පූර්ණයෙන්ම විසඳන්නේ නම් ඔහුගේ ජීවිත අහිමිවීම පිළිබඳ මතකය වඩාත් හොඳ සේවයක් කරන බව විශ්වාසයි.

මේ සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පෙර නොවූ විරූ අනුස්මරණ වැඩසටහනක් පැවැත්වීම සතුටට කරුණක්.  එහිදී ඔහු ඔහුගේ සහ ජාතියේ හද කම්පාව ගැන දැඩි ලෙස සනාථ කළා. සියල්කොට්හි ව්‍යාපාරික ප්‍රජාව වන්දි ලෙස අඛණ්ඩව ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ඔහුගේ පවුලට දිගටම ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අපරාධකරුවන් “සතුන්” ලෙස හැඳින්වූ අගමැති ඉම්රාන් ඛාන්, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට සහ මෙම අපරාධ සිදු කිරීමට ආගම භාවිතා කළ සියලුම වැරදිකරුවන් හඹා යාමට තම රජයේ අධිෂ්ඨානය නැවත නැවතත් පුනරුච්ඡාරණ්‍ය කළා. “මම ජීවත්වන තුරු එවැනි සිදුවීමක් නැවත සිදුවීමට මා කිසි විටෙකත් ඉඩ දෙන්නේ නෑ” ඔහු එසේ කීවා.

(ලේඛකයා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පසුබිමක් ඇති පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි, ඔහු රටේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් සංස්කරණය කර ඇත. ඔහු ක්‍රිකට් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන දේශපාලන විශ්ලේෂකයෙකි. ඔහු [email protected] වෙත සම්බන්ධ විය හැකිය. සිය පියා තානාපති සේවයේ යෙදී සිටි බැවින් රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස පියා මෙරට පකිස්තානු තානාපති කාර්යාලයේ ‍සේවය කළ බැවින් කුඩා කළ ශ්‍රී ලංකාවේ ජීවත් වූ මෙම ලේඛකයා මෙරට දී අධ්‍යාපනය ලබා ඇත.)

factum ආයතනය මගින් සපයනු ලැබූ ලිපියකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!