spot_img
spot_imgspot_img

ඔරු මත ඉදිකර පසුව “කල්‍යාණී රන් පිවිසුම” වූ කැලණි පාලමේ ඉතිහාස කතාව

පුවත්

විදෙස්

“කැලණි පාලම” යනු මෙරට සමස්ත ජන ජීවිතයත්, සමාජ සංස්කෘතික පැවැත්මත් කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකළ තැනකි.

ආර්.ආර්.සමරකෝන් විසින් නිර්මාණය කරන ලද “කැලණි පාලම” වේදිකා නාට්‍යයෙන් ද කැලණි පාලම අවට ජීවත්වන මිනිසුන් පිරිසක් කේන්ද්‍ර කර ගනිමින් මෙරට ජන සමාජය පිළිබඳ අපූරු විග්‍රහයක් සිදුකරයි.

අද “කැලණි පාලම” සම්පූර්ණයෙන් ම වෙනස් වි තිබේ.

අධි තාක්ෂනික කේබල් මත ඉදිකරන ලද නව කැලණි පාලම බාදාදා (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

එය දැන් “කල්‍යාණී රන් පිවිසුම” ලෙස නම්කර තිබේ.

අධිවේගී මාර්ග විවෘතවීමත් සමඟ මෙතෙක් තිබූ කැලණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් මේ නව පාලම ඉදිකෙරිණි.

කැලණි ගඟ කොළම නගරය ස්වභාවිකවම ආරක්ෂා කරන ස්ථානයක් වූයේය. යුරෝපීයයන් කොළඹ නගරය පාලනය කළ කාලයේ දී සිංහල රජ දරුවන්ගේ ආක්‍රමණවලින් ගැලවීමට කැලණි ගඟ ඔවුන්ට විශාල රුකුලක් වී තිබිණි. එමෙන් ම උඩරට රාජධානිය වෙත යන යුරෝපීය හමුදාවලට ද කැලණි ගඟ ස්වභාවික බාධාවක් වූයේය.

අනුරාධපුර යුගයේ දී පවා ගංඟා ඇළදොළ හරහා ගලින් නිමවූ සුවිසල් පාලම් ඉදිකළ මෙරට වැසියෝ කොළඹ නගරය ආසන්නයේ කැලණි ගඟ හරහා පාලමක් ඉදිකර තිබූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමුවී නැත.

බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත් කරගැනීමෙන් පසු මෙරට කෝපි ඇතුළු ආර්ථික බෝග මහා පරිමානයෙන් වගා කිරීමේ සැළැස්ම හේතුවෙන් ඔවුහු මාර්ග පද්ධතිය වැඩි දියුණු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස කැලණි ගඟ හරහා කොළඹ ආසන්නයෙන් පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් දැඩිව දැනෙන්නට විය.

ඔවුන් බොහෝ විට පළලින් අඩු, නොගැඹුරු ගංඟා ඇළ දොළ හරහා ගල් හා ගඩොල් භාවිතයෙන් ආරුක්කු පාලම් ඉදිකර තිබේ. නමුත් කැලණි ගඟ හරහා එවැනි පාලමක් ඉදිකිරීම අතිශය දුෂ්කර කරුණකි. රත්නපුරය, සීතාවක, අවිස්සාවෙල්ල ප්‍රදේශයේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගය වූයේ පාරු මගින් කැලණි ගඟ දිගේ භාණ්ඩ රැගෙන ඒමයි. ඒ නිසා ගඟ දිගේ යන ඔරු සහ පාරුවලට බාධාවක් නොවන ආකාරයෙන් පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව ද තිබිණි.

මේ සඳහා විකල්පයක් සෙවූ බ්‍රිතාන්‍යයන්ට තිබූ විසඳුම වූයේ කැලණි ගඟ එගොඩ මෙගොඩ යා කරමින් බෝට්ටු රැසක් එක පෙළට තබා ඒ මත ලැලී අතුරා පාලමක් ඉදිකිරීමයි.  එය ඔවුහු 1822 වර්ෂයේ දී ඉදිකළහ.

පැරණි ඉංග්‍රීසි ලේඛනවල දැක්වෙන්නේ මෙම බෝට්ටු පාලම ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් බවයි. එම දෙපාර්ත‍මේන්තුවේ ලුතිනන් ජනරාල් ජෝන්‍ ෆ්‍රෙසර් විසින් පාලම සැළසුම් කර තිබේ.

එකල එම පාලම සඳහා ඔරු 21ක් යොදාගෙන තිබූ අතර පාලමේ දිග අඩි 500 ක් බව ද සඳහන් වේ.

මේ පාලම මතින් ගිය ගමන් ගැන ද විස්තර කිහියක් අදටත් පැරණි ඉංග්‍රීසි පාලන වාර්තාවල සහ විවිධ නිලධාරීන් විසින් තැබූ අතීත සටහන්වල දක්නට ලැබෙයි.

මේ සටහන් අතර එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1825 සැප්තැම්බර් මස 14 වැනි දින අලුයම තවත් නිලධාරීන් රැසක් සමඟ කැලණි ගඟ හරහා ඉදිකර තිබූ ‍බෝට්ටු පාලමෙන් එගොඩ වී මහනුවර දක්වා ගමන් ආරම්භ කළ බව දැක්වෙයි. එදා ඒ ගමන වෙනුවෙන් පාලම දෙපස ගොක් කොළ සැරසිළි පවා කර තිබූ බව ද, තනි තනි අශ්වයන් හා අශ්වකෝච්චි ලෙස හැඳින් වූ කරත්ත භාවිතා කළ බවත් දැක්වේ.

පාරු පාලම හේතුවෙන් කැලණි ගඟ සම්පූර්ණයෙන් ම අවහිර වී තිබිණි. ඒ නිසා ඉංග්‍රීසි ආණ්ඩුව කළේ දිනයේ පැය 24න් පැයක කාලයක් ඔරු සහ පාරුවලට ගඟ දිගේ ගමන් කිරීමට හැකි ආකාරයෙන් බෝට්ටු පාලමේ ඔරු ඉවත්කර ඉඩ සළසා දීමයි. මේ සම්බන්ධයෙන් වරින් වර දැඩි විරෝධතා එල්ල වී තිබිණි. ගඟ මතින් මාර්ගයේ ගමන් ගන්නා ප්‍රභූවරු පැයක් හෝ ප්‍රමාදවීමට කැමති වූයේ නැත. ඒ නිසා ඔවුන් එය කරදරයක් ලෙස සැළකූ අතර ගඟ දිගේ ගමන් කරන දේශීය ජනතාව කියා සිටියේ තමන් පැය 23ක් ම තම කාර්යයන් ප්‍රමාද කරගන්නා බවයි.

කැලණියේ බෝට්ටු පාලම පාලනය කිරීම, නඩත්තු කිරීම හා එය භාවිතා කරන්නන්ගෙන් මුදල් අයකිරීමේ කාර්යය රේන්ද කරුවන්ට පවරා තිබිණි. එකල කැලණි පාලමේ රේන්දයෙන් රජයට ආදායම් ලැබුණු අතර ඒ ආසන්නයේ තිබූ තැබෑරුමේ රේන්දය ද ඉහළ ලංසුවකට විකිණිනි. මේ නිසාම කැලණි පාලම අවට ජන ජීවිතය වෙනස් වන්නට ඇත.

1850 දශකය යනු කෝපි ආදයාම ඉහළින්ම ලැබුණු කාලයකි. මේ හේතුවෙන් රටපුරා මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළ අතර 1880 දක්වාම මාර්ග හා පාලම් ඉදිකිරීම සඳහා විශාල වියදමක් දරා තිබිණි.

1867 දී දුම්රිය අඹේපුස්ස දක්වා ගිය මංගල ගමනේ දී ම කැලණි ගඟට ඉහළින් දුම්රිය ධාවනය කරවීම සඳහා පාලමක අවශ්‍යතාවක් මතුවිය. මේ නිසා දුම්රිය මාර්ගය ඉදිකළ ද එය දුම්රිය හැර කරත්ත සහ සතුන්ට යා හැකි මගක් වූයේ නැත.

දුම්රිය ධාවනය සඳහා ඉදිකරන ලද පාලම

නමුත් ඒ වනවිට ප්‍රවාහන අවශ්‍යතාව වඩාත් වර්ධනය වී තිබූ බැවින් 1892 දී කැලණි ගඟ හරහා යකඩ පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මේ පාලම එංගලන්තයේ E.C. & J Keay Limited ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද්දේ එංගලන්තයේ දී ය. පාලම එංගලන්තයේ දී සාදා නැව් මගින් කොටස් වශයෙන් මෙරටට ගෙන්වා සවිකර තිබේ. මෙම කාර්යේ දී ඉංජිනේරුවරු ලෙස ටී.ස්මිත් සහ සී.වී.බෙලම් යන දෙදෙනා කටයුතු කළහ. බ්‍රිතාන්‍ය පාලන වාර්තාවල දැක්වේනනේ 1895 මැයි 24 වැනි දිනට යෙදුණු බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ උපන්දිනය නිමිත්තෙන් මේ පාලම “වික්ටොරියා පාලම” ලෙස නම් කරමින් එදින මධ්‍යම රාත්‍රියේ දී විවෘත කළ බවයි. නමුත් විවෘත කිරීමේ උත්සවයක් පවත්වා නැත.

වික්ටෝරියා පාලම

දිගින් අඩි 700 ක් හෙවත් මීටර 225ක් වූ වික්ටෝරියා පාලමේ පළල අඩි 20කි. පාලම් කණු ලෙස වානේ සිලින්ඩර 12ක් යොදා තිබිණි. පාලම දෙපස මීටර දෙකක් පමණ උසැති කාප්ප දෙකක් සවිකර තිබිණි. අඩි 100 බැගින් වූ කොටස් 07ක් බැගින් එක් පැත්තකට සවිකර තිබූ අතර ඒවා කතිර ආකාරයේ ගරාදිවලින් සවිමත් කර තිබූ අතර ඉහළින් හරස් අතට සවිකරන ලද යකඩ බාල්ක 119කින් ද සමන්විත විය.

ඉංග්‍රීසි ලේඛනවල දැක්වෙන්නේ පාලම විවෘත කළ අවස්ථාවේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මැක්බ්‍රයිට් සහ ඉංජිනේරු මරේ යන දෙදෙනා පාලම මතින් ගමන් කළ බවයි. ඉන් පසු එස්.පී. ධර්ම ගුණවර්ධන නමැති මුහන්දිරම් වරයා සිය අශ්ව කරත්තයෙන් පාලම මතින් ගමන් කර ඇති බව ද සඳහන් වේ.

වික්ටොරියා පාලමේ දිග අඩි 700ක් පමණ වූයේ එය කැලණි ගඟේ පහත් ඉවුරු බිම් හරහා ද යන ආකාරයෙන් ඉදිකර තිබූ බැවිනි. නාගලගම් වීදිය තිබුණේ ද මේ පාලමට යටින් ගඟ ඉවුරේය.

නව පාලම විවෘත කිරීමත් සමඟ පැරණි පාරු පාලම ගලවා ඉවත් කෙරිණි. එය සිදුකර ඇත්තේ එවකට කොළඹ මහා නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා වූ ස්කැලිටන් විසිනි.

වික්ටෝරියා පාලම වසර 100කට වැඩි කාලයක් කැලණි ගඟ මතින් ‍එගොඩ මෙගොඩ යන පිරිස්වලට සේවය සළසා තිබිණි. ඒ අතරතුර හ්‍රී ලංකාවේ පාලම් සෑදීමේ තාක්ෂණයක ද යකඩවල සිට කොන්ක්‍රීට්වලට මාරු වී තැන තැන දැවැන්ත කොන්ක්‍රීට් පාලම් ඉදිකෙරිණි.

වික්ටෝරියා පාලම වෙනවුට ඉදිකළ නව කැලණි පාලම

යකඩ දිරාපත්වීමත්, පාලම වාහන ධාවනය ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් නව කැලනි පාලම ඉදිකරන ලද අතර පැරණි යකඩ පාලම වසර 103කට පසු ගලවා ඉවත් කෙරිණි.

නමුත් එය අදටත් මෙරට ජනතාවට සෙත සළසමින් තිබේ. ඒ කොළඹ සිට කිලෝ මීටර 100කට වැඩි දුරකින් පිහිටි වක්වැල්ල සහ තෙලිකඩ යා කරමිනි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ගඟ මතින් වක්වැල්ලේ පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව දශක ගණනක් පුරා තිබුණ ද එය දිනෙන් දින කල් ගියේය.

1994 දී බලයට පත්වූ රජයේ ප්‍රබල ඇමතිවරයකු වූ රිචඩ් පතිරණ වික්ටෝරියා පාලම ගලවා ඉවත් කරද්දී අපූරු යෝජනාවක් කර තිබිණි. ඒ ගලවන ලද පාලමේ යකඩ කොටස් ගෙනවිත් තම බල ප්‍රදේශයේ වක්වැල්ලට අත්‍යාවශ්‍යව ඇති පාලමක් ඉදිකර දෙන ලෙසයි.

වක්වැල්ල පාලම

එම ඉල්ලීම ඉටුවිය. “වික්ටෝරියා පාලම” ගලවා එහි තිබූ යකඩ භාවිතා කරමින් ගාල්ලේ ඉදිකළ වක්වැල්ල පාලම එවකට මෙරට සුප්‍රසිද්ධ පාලමක් බවට පත්වූයේ ඒ වනවිට ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දිගින් වැඩිම පාලම එය බැවිනි. අදටත් වික්ටෝරියා පාලමේ කොටස් ජනතාවට ගිං ගඟ තරණය කර එගොඩ මෙගෛාඩ යාම මහෝපාකාරී වෙයි.

කැලණිය අද වනවිට බොහෝ සේ වෙනස් වී ඇත. එදා ඔරු එකිනෙකට යා කර ලෑලි බැඳ සැකසූ පාලම වෙනුවට වසර 200කට පමණ පසු නව තාක්ෂණයෙන් යුතු පාලමක් ලැබී තිබේ. එදා රාත්‍රියේ අඳුරේ ගිලී තිබෙන්නට ඇතැයි ස්ථිරවම කිව හැකි කැලණිය බෝට්ටු පාලම වෙනුවට දැන් ඉදිකර ඇති “කල්‍යාණී රන් පිවිසුම” රාත්‍රියේ වෛවර්ණ ආලෝක කදම්භවලින් විචිත්‍රවත් වී තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!