spot_img
spot_imgspot_img

රෝහණ විජේවීරගේ කිට්ටුම සේවකයෙක්, එදා නොකා නොබී විප්ලව කළ හැටි කියයි

පුවත්

විදෙස්

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා යාමේ අරමු‍ණින් වේගයෙන් ධාවනය වන වෑන් රථයකි. රථය පදවන්නේ විදේශයක සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ බිරිඳ යාබද අසුණේ තම දරුවා අතැතිව සිටින අතර පිටුපස අසුන්වල තවත් දෙදෙනෙකි. රටම ගිනි ඇවිළී ඇත. ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කළ ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහි අරගල කරන අතර යුද හමුදාව සහ පොලිසිය කැරළි කරුවන් සොයා රට සෑම තැනම පිරික්සයි. සෑම දෙසින්ම අසන්නට ලැබෙන්නේ ඝාතන රැල්ලකි. තැන තැන ටයර් සෑ මත එකිනෙකා දැවීයයි. රටම සොහොන් පිටියකි.

මේ නිසාම මාර්ගයේ යන එන සෑම රථයක්ම තැන තැන පරීක්ෂා කිරීමත්, සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමත් සාමාන්‍ය දෙයක් වී තිබිණි.

මේ රථයට දෙදෙනකු අත දැමීය.

“අපි හමුදාවෙ. දියතලාව කෑම්ප් එකට යන්නේ. ඒ පැත්තට යනවනම් අපිව එක්කගෙන යන්න පුළුවන් ද ?” ඔවුහු ඇසූහ.

“නගින්න. නගින්න. අපි යන්නේ බණ්ඩාරවෙලට”

හමුදා නිලධාරීන් වාහනයට ගොඩවූහ.

දැන් රථය යළි වේගයෙන් ඉදිරියට ඇදෙයි. පොල්සි මාර්ග බාධකයකි. පොලිස් නිලධාරියෙක් රථය නැවැත්තුවේය. නිල ඇඳුමෙන් සිටින ඔහු බීමතිනි.

“වාහනයේ කවුද ඉන්නේ”

“අපි මේ බණ්ඩාරවෙල යන ගමන්, හමුදාවේ දෙන්නෙක් ඉන්නවා.” පිළිතුර විය.

“මමත් යන්නේ ඒ පැත්තට. මාවත් ගෙදර ළඟින් බස්සගෙන යන්නකෝ.” පොලිස් නිලධාරියා කීවේය.

එතැන් සිට ඔවුන්ට කිසිදු මාර්ග බාධකයක දී කිසිදු අවහිරයක් වූයේ නැත. හමුදාව සහ පොලිසිය රැගෙන මේ රථය ඉදිරියටම ගියේය. දියතලාවෙන් හමුදා නිලධාරීන් දෙදෙනාත්, නිවස ඉදිරියෙන් පොලිස් නිලධාරියාත් බැස්සවූ වාහනය මහ වතුයායක පිහිටි නිවසකට ගියේය.

වෑන් රථය බලාපොරොත්තුවෙන් එහි අයකු සිටියේය.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයි. වාහනය පැදවූයේ සෝමවංශ අමරසිංහය

හමුදාවේ සහ පොලිසියේ ම පිහිටෙන් කොළඹ සිට බණ්ඩාරවෙලට ආ මේ වාහනයේ තවත් දෙදෙනකු සිටියේය. එක් අයකු කිතුලගොඩගේ නන්දසේන හෙවත් කිරිමහත්තයා සහ තවත් පක්ෂ ක්‍රියාකාරිකයෙකි.

කිතුලගොඩගේ නන්දසේන යනු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයකු මෙන්ම 1987 – 1989 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේ රෝහණ වි‍ජේවීර සමීපයේ ම සිටි සේවකයෙකි.

සූරියවැව, වැලිගන්තොට ප්‍රදේශයේ පදිංචිවී සිටිමින් ගොවිතැනින් ජීවත්වන කිරිමහත්තයා දැන් 61 වැනි වියේ පසුවෙයි.

තලාවේ කිරිමහත්තයා

තලාවේ, කාරියමඩිත්තේ උපන් නන්දසේන ගේ පියා පින්තේනිස් කිතුලගොඩගේ සහ මව වන්නිගමගේ හින්නිහාමි දෙදෙනාට දරුවන් 12 දෙනෙකි. වැඩිහිටියන් 07 දෙනාම ගැහැනු දරුවෝය. ඉන් පසු පිරිමි දරුවන් ම 05 දෙනෙකි. නන්දසේන මේ පවුලෙ 10 වැන්නාය.

“මගේ තාත්තා 08 පන්තියට වෙනකම් ඉගෙන ගත්තා. නමුත් මම පාසල් ගියේ බාලාංශයට විතරයි. අදටත් මට අකුරු කියවන්න පුළුවන් වුණාට ලියන්න බැහැ. නමුත් මම දේශපාලනයේ හොඳට තෙම්පරාදු වුණා.” නන්දසේන කියයි.

1971 කැරැල්ලේ පන්ති දෙක තුනකට සහභාගී වූ ඔහුගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන බනධනාගාරගත කර තිබේ. එවකට නන්දසේන  11 වැනිි වියේ පසු වූ අතර කැරැල්ලට සම්බන්ධ වූවා යැයි අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා 14 වැනි වියේ සහ 13 වැනි වියෝ පසුවූහ.

“අයියලා දෙන්නා අත්අඩංගුවට ගත්තට පස්සේ අපි හොයාගෙන නිතර නිතර පොලිසිය එනවා. අපි රෑට නිදාගන්නේ මදුරුවෝ කන නිසා හිස් පිටි ගෝනිවලට බැහැලා බෙල්ල දක්වා ඔතාගෙන. දවසක් පොලිසියෙන් එනවිට අපි ඒ විදියට නිදි. එදා ඇවත් ඒ නිලධාරියෙක් කියලා තිබුණා මේ පොඩි එවුන්ට පොරවන්නවත් දෙයක් නැතිව ගෝනි පඩංගු දාගෙන නිදාගන්නේ කියලා. එදයින් පස්සේ කවදාවත් පොලිසියවත් හමුදාවවත් ආවේ නැහැ.”

නන්දසේනගේ පියා කාරියමඩිත්ත රෝහලේ කම්කරුවෙකි. ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු ඇතිවූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අල, බතල, මඤ්ඤොක්කා වගාවට යොමු වූ මේ පවුලට ආර්ථික සවියක් තිබුණේ නැත. ඔහු තම වැඩිමහල් සොහොයුරිය විවාහ වී පදිංචිව සිටි බැදිගම්තොටට යන්නේ ජීවත්වන්නට මඟක් නොවූ බැවිනි.

තම මස්සිනා සමඟ වගාකටයුතු සඳහා එක් වූ ඔහු වයස අවුරුදු 17 දී තනියම ගොවිතැන් ආරම්භ කළේය. උග්‍ර යූඑන්පී කාරයකු වූ ඔහුගේ මස්සිනාගේ නිවසට නිතර නිතර පැමිණෙන හීල්ලේ පොඩි මහත්තයා නම් වාමාංශක අදහස් ඇති පුද්ගලයකු සමඟ ඇතිවූ දේශපාලනික කතා බව නන්දසේන දේශපාලනය කෙරෙහි නැඹුරු කරන්නට සමත්ව තිබිණි.

1977 අවසන් භාගයේ දී එවකට තහනමට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ සමඟ යම් යම් සම්බන්ධතා පැවැත්වූ නන්දසේන පක්ෂයේ පන්ති පහටත්, අධ්‍යාපන කඳවුරු සහ න්‍යාය කඳවුරුවලටත් සහභාගී වූයේය. එහි ප්‍රතිඵලය වූයෙ 1982 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන ක්‍රියාකාරියකු වීමයි.

යටි බිම්ගත රහසිගත දේශපාලනයේ යෙදී සිටි ඔහුට පැවරුණු රාජකාරිය වුණේ පක්ෂය වෙනුවෙන් ගොවිතැන් කරමින් පක්ෂයට අවශ්‍ය අරමුදල් රැස්කිරීමයි.

“ඉස්සෙල්ලම තුංකම ප්‍රදේශයේ කුඹුරක් කළා. ඉන් පස්සේ මොරකැටියේ කුඹුරක් කළා. මේ කාලේ අපි කෑවේ බිව්වේ පක්ෂයේ ම සහෝදරයන්ගේ ගෙවල්වලින්. සමහර දවස්වලට ඒ ගෙදරකට ගියාම ගෙදර මිනිස්සුන්ටවත් කන්න කෑම නෑ. ඉතින් අපි තියෙන විදියකට කාලා සමහර දවස්වලට අල බතල කාලා බඩගින්න නිවා ගත්තා. අල බතලත් හැමදාම නැහැ. මුල් තබම්ගෙන කාපු දවස් අනන්තයි. ඇතැම් දවස්වලට ජෑම් ගෙඩි වගේ ගඩා ගෙඩිකාලා වතුර වැඩිපුර බීලා අපි ජීවත්වුණා.”

ඔවුන් කුඹුරු වගා කරන්නේ අඳ ගොවියන් ලෙසිනි. තම කුඹුරු වගා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සැළැස්මකට බව ඒ කුඹුරුවල හිමිකරුවන් දන්නේ නැත.

ටික කාලයක් ගතවෙද්දී ජනතා විමුක්ති පෙරමුණ වගා කටයුතු සඳහා වෙනත් සැළැස්මක් දියත් කළේය. ඒ ගොවිපොළ ක්‍රමයයි. කිරිඉබ්වන්ආර වැව අසළ වනාන්තරය කොටා එළි පෙහෙළි කර හේන් වගා ගොවිපොළක් ආරම්භ කෙරිණි. නන්දසේන එහි ගියේය.

“එහේ ඉන්න කාලෙනම් කෑම බීම එතරම් අඩුවක් තිබුණේ නෑ. වැවට බැහැලා පැයක් විතර යන විට මාළු ගෝනි භාගයක් විතර අල්ලන්න පුළුවන්. ඉතින් මාළු හදාගනෙ කනවා. කරවල වේලලා කනවා. අල බතල ඔක්කොම ජාති තියෙනවා. පක්ෂය වෙනුවෙන් වගාවලින් මුදල් හොයා දෙන්න අපි සෑහෙන්න මහන්සි වුණා. ඊට පස්සේ මාව තණමල්විල ගොවිපොළකට යැව්වා. අළුකෙසෙල්, මුං, මෙනෙරි වගා කළා. එහේ හිටියා පැටිස් අයියා කියලා කෙනෙක්. මේ පැටිස් අයියා කියන්නේ රෝහණ විජේවීර සහෝදරයා එක්ක පක්ෂය ආරම්භ කළ කාලේම පූර්ණකාලීනව කටයුතු කරපු පළමු සාමාජිකයා. ඔහු සමඟ වැඩ කිරිමෙන් පක්ෂයත් දේශපාලනයත් ගැන අවබෝධයක් ගන්න හැකියාව ලැබුණා.”

පසුව ඔහු බැදිගම්තොට ගොවිපොළකට යැවිණි. බැදිගම්තොටින් කුඩා ඔය ජැපර්ජීස් වත්තට යාබදව මහ වනයකට යැවිණි. ඒ වගා අරමුණක් නොව වෙනත් ඉලක්කයක් සපුරාගනු පිණිසය. ඒ ගැන නන්දසේන හෙවත් කිරි මහත්තයා මෙසේ කීවේය.

“ජැපර්ජීන් වත්තට මම ගියේ කොලොන්න පැත්තේ සහෝදරයෙක් එක්ක. අපි ගාව තිබුණේ මඤ්ඤොක්කා අල කිහිපයක්, හාල් කිලෝ තුනක්, පොල් ගෙඩි 05ක් ගොනි පඩංගු කිහිපයක්, එළවළු ටිකක්, ඉටි රෙද්දක් සහ ඇඳ ඇතිරිල්ලක් විතරයි. කැලේට ගිහින් කෝන් ගහක් ගාව ටිකක් සුද්ද කරලා එතැන උයන්න පටන්ගත්තා. උයන කොට මහා වැස්ස. හාල්, මෑකරල්, පොල් ඔක්කොම එකට දාලා යන්තම් උයාගෙන අමුතු කෑමක් කෑවා. මහ වැස්සෙම ඉටිරෙද්ද දාගෙන ගෝනි පඩංගු ඔතාගෙන නිදාගත්තා. ඒත් රෑ හැමතැනම සත්තු කනවා වගේ බලනවිට නයි කඩි අපිව කනවා. එළිවෙනකම් හිටගෙන හිටියා. ඔය විදියට තමයි අපි දුක් විදිමින් මේ දේශපාලනය කළේ.”

ඔවුන් දෙදෙනා පසුදින කැලයේ ඇවිදින විට අක්කරයක් විතර විශාල ගල් තලාවක් දක්නට ලැබිණි. එතැන යිල ගහක් අසළ වාඩියක් සෑදූ ඔවුන් වරින් වර කැලයට පොල් අතු ගෙනවිත් ඉදිකිරීමක් කළේය. එය ආරක්ෂිත ස්ථානයකි. වෙනත් විදියකින් කියන්නේ නම් වනගත කඳවුරකි.

ටික දිනකින් නන්දසේනට කොළඹට කැඳවීමක් ලැබිණි. සුමිත් අතුකෝරළ සමඟ ඔහු කොළඹ ගියේය.

“මට කොළඹ ගියාම හිතුනා මට පිස්සුද නැත්නම් පක්ෂේ අයට පිස්සුද කියලා”

ඔහු එසේ සිතුවේ රාජගිරියේ කොස්ගස් හන්දියේ තිබූ මුද්‍රණාලයේ සිටීමට ඔහුට සිදුවූ බැවිනි. මහ වනයත්, හේන්ගොවිතැනත් හොඳට හුරුපුරුදු නන්දසේනට කොළඹ ජීවිතය නුහුරු අත්දැකීමක් විය. මුද්‍රණාලයේ ‍සිටි සහෝදරවරුන්ට කෑම පිසීමෙන් ආරම්භ කළ ඔහු ටික කලකින් මුද්‍රණ යන්ත්‍රයේ කටයුතුවලට ද හුරුවූයේය. අකුරු ලිවිය නොහැකි වුව ද ඔහු “සීනුව”, “නියමුවා” පත්තරවලත්, රෝහණ විජේවීර රචනා කළ “දෙමළ ඊළමට විසඳුම කුමක් ද ?”යන ග්‍රන්ථයේත් අකුරු ඇමුණුවේ ය.

1987 ආරම්භය වනවිට මේ මුද්‍රණාලය ගැන ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබිණි. ඔවුහු වරින් වර විවිධ කාර්යයන් ඉටුකරගැනීමට යැයි කියමින් එහි එති. යති. මේ නිසා පක්ෂය කළේ මුද්‍රණාලය එසේම ක්‍රියාකාරීව තිබිය දී සහෝදර පිරිස එතැනින් ඉවත්කර වැල්ලම්පිටියේ නිවසක නතර කර එතැන සිට සේවා සැපයීමයි.

“දවසක් පොලිසියෙන් ප්‍රෙස් එකට පැන්නා. අපි වැල්ලම්පිටියෙන් පලා ගියා. බොරලැස්ගමුවේ ගෙදරක නතර වුණත් එතෙන්නටත් පොලිසිය ආවා. මම පැනගත්තේ බොහොම අමාරුවෙන්. මාත් එක්ක හිටි එක සහෝදරයෙක් අත්අඩංගුවට පත්වුණා. මම කෙලින්ම ගියේ බැදිගම්තොට අක්කාගේ ගෙදරට. දැන් පක්ෂයේ සම්බන්ධතා ඔක්කොම නැතිවෙලා. බැදිගම්තොට දී සම්බන්ධතා ඇතිකරගන්න පුළුවන් බව දැනගෙන හිටියා. සතියක් විතර සෙවනගල උක් කැපුවා. ටික දවසකින් මාව සොයාගෙන ආපු සහෝදරයෙක් කොළඹ යමු කිව්වා. නැවත කොළඹ ගියා.”

කොළඹ ගිය නන්දසේන පක්ෂයෙන් යොමුකළේ කඳානේ බෝම්බ හන්දියේ නිවසකටය. ඒ නිවස ඉදිරිපිට සිල්ලර කඩයක් තිබේ. පිටුපස කොටසේ මුද්‍රණාලයකි. මුද්‍රණාලයේ ශබ්දය පිටතට ඇසෙන බැවින් එය ගැටලුවක් නොවීමට එහි මිරිස් තුනපහ ඇඹරුම් හළක් ද තිබේ. පක්ෂයේ සියලු මුද්‍රණ කටයුතු එම ස්ථානයෙන් සිදුකෙරිණි.

“දවසක් කඩේ සාමාන්‍යයෙන් ඉන්න සහෝදරයා හිටියේ නැහැ. මම හිටියේ. වාහනයකින් ආපු පුද්ගලයෙක් කඩේට ගොවුණා. මගෙන් ටොෆි පහක් ඉල්ලුවා. මම ඒවා දෙනවිට කඩය දිහා හොඳට බලනවා මා දැක්කා. එයා ගියා. ඒ වෙලාවේ කඩේට ඇවිත් හිටපු ආච්චි කෙනෙක් මගෙන් ඇහුවා අර ආපු මහත්තයාව දන්නවා ද කියා. මා කිව්වා දන්නේ නෑ කියලා. එතකොට කිව්වාඒ තමයි ගාමිණී සිල්වා කියන පොලිස් ඉන්ස්පෙක්ටර් කියලා. මට හීන් දාඩිය දැම්මා. අපි අවදානමක.”

වහාම ක්‍රියාත්මක වූ නන්දසේන සිදුවූ දෙය පක්ෂයේ ඉහළට දැනුම් දුන්නේය. මුද්‍රණාලයේ සියලු යන්ත්‍ර සූත්‍ර ගලවා දැමිණි. එදා රාත්‍රියේම ඒ සියල්ල කෑල්ලෙන් කෑල්ල ඉවත්කර කෑගල්ලට ගෙනයන ලදී. කෑගල්ලේ රංවළ ප්‍රදේශයේ හාල් කඩයක් පවත්වාගෙන යාම ඔහුට පක්ෂයෙන් භාර කෙරිණි.

“මේ අතරතුර තමයි හදිසියේම සෝමවංශ අමරසිංහ සහෝදරයා මා හමුවෙන්න ආවේ. ඇවිත් කිව්වා බණ්ඩාරවෙල යමු කියලා. ඉතින් මාත් ගියා.”

එදා හමුදා නිලධාරීන් දෙදෙනකු සහ පොලිස් නිලධාරියකු ද නංවාගෙන සෝමවංශ අමරසිංහ විසින් පදවාගෙන ගිය වාහනයේ නන්දසේන ගෙන ගොස් ඇත්තේ රෝහණ විජේවීර හමුවටය. ඒ 1989 සැප්තැම්බර් මාසේය දී ය.

“මේ කුඩා ඔය හිටපු අපේ නන්දේ නේද ?” යැයි විජේවීර විමසුවේය.

නන්දසේනට රෝහණ විජේවීර සමඟ සිටීමේ අවස්ථාව හිමිවිය.

වත්තේ පිටියේ වැඩ කටයුතු කරමින් ඉඩම් හිමි වැවිළිකරුවකු ලෙස පෙනී සිටි රෝහණ විජේවීර සහෝදරයාගේ සේවකයකු ලෙස ඔහු එහි සිටියේය. හරකුන්ට තණකොල කැපීම, ඔවුන් රැක බලාගැනීම සහ ඉවුම් පිහුම් කටයුතු දෛනික රාජකාරී විය. නමුත් මේ වනවිට හමුදාව රටේ සෑම තැනම රෝහණ විජේවීර සොයන බව ද ඔවුහු දත්හ.

රෝහණ විජේවීර බිරිඳ සහ දරුවන්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ ද එම වත්තේ පිහිටි බංගලාවේය. ඒ සඳහා උපතිස්ස ගමනායක,  සෝමවංශ, අතුකෝරළ, රණසිංහ වැනි න‍ායකයෝ ද පැමිණෙති.

මේ අතර දිනක් හදිසියේම රෝහණ විජේවීරගේ දෙවැනි දියණිය අසනීප වූවාය. බදුල්ල රෝහලට ගොස් ඇයට අවශ්‍ය බෙහෙත් රැගෙන පැමිණ ගතවූයේ සුළු මොහොතකි. පොලිසිය වත්ත ඉදිරිපිටට පැමිණ තිබිණි.

“මම ඒ වෙලාවේ ගේට්ටුවේ යතුර අමතක කරලා ගේට්ටුව ගාවට ගියා.  අපේ සැලැස්ම වුණේ මම පොලිසිය ප්‍රමාද කරන අතර රෝහණ සහෝදරයා පලා යාම. යතුර නැතිව මම පොලිසිය සමඟ කතා කරන අතර තවත් සහෝදරයෙක් යතුර අරගෙන ඇවිත් මට විසි කළා. මම එය ඇල්ලුවේ නැතිව බිම වැටෙන්න ඇරලා තවත් කාලය ගත්තා. මේ අතර රෝහණ සහෝදරයා පලා ගිය බව අපිදන්නවා. නමුත් ලොකු කරදරයක් වුණා. පොලිසිය වත්තට ආපු වෙලාවේ බංගලාවේ හිටපු ලොකු බල්ලා කඩාගෙන රෝහණ සහෝදරයා ගියපු පැත්තටම දිව්වා. පලා යමින් හිටපු ලොකු දුව බයවෙලා පැනපු හැටියේ පාලු ළිඳකට වැටිලා. ඒ වෙලාවේ රෝහණ සහෝදරයා දුව බේරගන්න ළිඳට පනින්න හදනවිට වෙනත් සහෝදරයෙක් පැනලා දුව උස්සාගෙන වතුරෙම ඉදලා. පොලිසිය යන්න පැය භාගයක් විතර ගත කළා. එයාලා ඇවිත් තියෙන්නේ කෑම හොයන්න වගේ දේකට. අන්තිමේ දී අපි ගිහින් තමයි ඒ දෙන්නා ගොඩ ගත්තේ. නමුත් එදා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ.”

ටික දිනකටින් පක්ෂයේ සැළසුම වූයේ රෝහණ විජේවීර එම ස්ථානයෙන් වෙනත් තැනකට රැගෙන යාමයි. නමුත් කතරගම කැලයේ විජේවීර සමඟ සැඟවී සිටි ධනපාලගේ අදහස වූයේ යළි වනගත වීම සුදුසු යැයි යන්න වුව ද එවැන්නක් සිදුවූයේ නැත. ටික දිනකින් එම නිවසින් ඉවත්ව ගොස් තිබිණි. පක්ෂයේ නායකයා ගිය තැනක් නන්දසේන දන්නේ නැත.

“සෝමවංශ සහෝදරයා අවසන්වරට ආවේ නොවැම්බර් 01 වැනි දා වගාවලට අවශ්‍ය බීජ අල ගන්න සල්ලි ගෙනත් දුන්නා. අපේ පැටී කියලා සහෝදරයෙක් හිටියා එයත් මැනිං මාර්කට් එකෙන් එළවළුවල සල්ලි ගන්න කොළඹ ගියා. නමුත් 08 වැනි දා දක්වා ආවේ නෑ. මට ලොකු සැකයක් තිබුණා ඔහු හමුදාවට හෝ පොලිසියට කොටුවෙලා ඇති කියලා. අපි පනින්න සූදානම් වෙලා හිටියේ. එදා නොවැම්බර් 08 වැනිදා මම හිතපු විදියටම හමුදාවෙන් ආවා. මම තේ වත්තට පැනලා හැංගුණා. නමුත් අනිත් අය නෑ. ගේ පැත්තෙන් කතා කරනවා ඇහෙනවා. ඒ නිසා මම ආපහු එතැනට ගියා. මාත් කොටු වුණා. අපිට හොඳටම පහර දුන්නා. ප්‍රශ්න කළා. පස්‍ේස කොළඹට රැගෙන ගියා.”

ඔහු පවසන්නේ නෙවිල් සහෝදරයාට වැඩිපුරම පහර දුන් බවයි. සෝමවංශ ගෙනවිත් දී තිබූ රුපියල් 40,000.00ක මුදලද හමුදාවෙන් සොයා ගැණිනි.

“දැන් දිගට හරහට ගහනවා. මමයි වත්ත බාර සහෝදරයයි මුණින් අතට දාලා තිබුණේ. තව කෙනෙක් ඇස් බැඳලා වැඩිකරවලා හිටියා. මේ අතර හමුදාවේ අය සල්ලි අඩුවක් වෙලා රණ්ඩු වුණා. ඒ අතරේ වාඩිවෙලා හිටපු කෙනා පැන්නා. හමුදාවවට හොයාගන්න බැරිවුණා. ඊට පස්සේ මට හොඳටම ගැහුවා. මට සිහිය නැති වුණා.”

නොවැම්බර් 09 වැනි දා ඔවුන් මත්තේග‍ොඩ යුද හමුදා කඳවුරට ගෙනවිත් තිබිණි. දේශපාලන මණ්ඩල සාමාජිකයකු වූ ඩී.එම්.ආනන්ද එම කඳවුරේ අත්අඩංගුවේ සිටින අයුරුද නන්දසේන විසින් දැක තිබිණි. 11 වැනි දා නන්දසේනට ලැබුණු කෑම කමින් සිටිය දී ඔහු දැක ඇත්තේ පුදුමාකාර දර්ශනයකි. ඒ හමුදා නිලධාරීන් දෙදෙනකුට මැදිව හමුදා ඇඳුමක් ඇඳගෙන ඩී.එම්.ආනන්ද ගමන්කරන ආකාරයකි. නන්දසේන පවසන්නේ හමුදා ඇඳුම් අන්දවා ඔහුව බලෙන් රැගෙන ගිය බවයි.

ඊට පසුදින එනම් නොවැම්බර් 12 වැනි දා නන්දසේන ඇතුළු පිරිස යළි ට්‍රක් රථයකින් බණ්ඩාරවෙලට රැගන ගොස් තිබිණි. එහි නිවෙස් භාණ්ඩ කොළඹ රැගෙන යාමට හමුදාව විසින් සූදානම් කරන අතර හමුදා නිලධාරියකු ඔවුන් අසළට පැමිණ කියා තිබුණේ

“අපරාදේ අන්න ඔයාලගේ ලොක්කා ඊයේ අහුවෙලා”

නෙවිල් එවිට ඇසුවේ “කොහේදි ද ?” යන්නයි.

“උලපනේ දී” නිලධාරියාගේ පිළිතුර විය.

“මම දැනගෙන හිටියේ නෑ රෝහණ සහෝදරයා උලපනේ ඉන්නවා කියලා. නමුත් නෙවිල් දන්නවා. ඒ නිසා නෙවිල්ට රෝහණ සහෝදරයා අත්අඩංගුවට පත්වූවායැයි කියන කතාව ඇත්ත බව තේරුණා.”

කිරිමහත්තයා දැන් ජීවත්වන නිවස

එදා බණ්ඩාරවෙල වත්තේ දී අත්අඩංගුවට ගත් කිසිවෙකු ඝාතනය වූයේ නැත. ඔවුන්ට පුනරුත්ථාපනයට යොමු කෙරිණි. අනුරාධපුරය, ඇඹිලිපිටිය පුනරුත්ථාපන කඳවුරුවලත්, බූස්ස බන්ධනාගාරයේත් සිටි ඔවුන්ට 1991 දී නිදහස ලැබිණි.

ඒ වනවිට ඔහුගේ ලොකු අයියාත්, දෙවැනි අයියාත්, මල්ලීත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි කියමින් ඝාතනයට ලක්ව තිබිණි.

මියගිය දෙවැනි අයියාගේ බිරිඳත් දියණියන් තිදෙනාත් කිසිවක් කරකියා ගත නොහැකිව අසරණව සිටි බැවින් ඔවුන්ට සරණ වීමට සිතූ නන්දසේන ඇය සමඟ විවාහ වී දියණිවරුන්ට පියකු වූ අතරම තවත් දියණියන් දෙදෙනකු ද මෙළොවට බිහිකළේය. දැන් ඒ දියණිවරු පස් දෙනාම විවාහකය.

කිරිමහත්තයා සිය බිරිඳ සමඟ

“මම ඊට පස්සේ 1994 දී ආපහු පක්‍ෂයට සම්බන්ධ වෙලා දේශපාලනය කළා. තවමත් පක්ෂය එක්ක සම්බන්ධයි. ඉස්සරනම් අපිව දැක්කම අහකබලාගෙන යන මිනිස්සු අපිට කුලී වැඩක්වත් කරගන්න දුන්නේ නෑ. දැන්නම් එයාලා අපිව හොයාගෙන එනවා. ඕක තමයි දේශපාලනේ. දැන් ඉතින් වගා කරගෙන ජීවත් වෙනවා. තවමත් පක්ෂය සමඟ සම්බන්ධයි.”

ඔහු අවසන් වශයෙන් කීවේය.

කරිමහත්තයාගේ දියණියකගේ විවාහ මංගල්‍යය දිනයේ ගත් පවුලේ ඡායාරූපයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!