spot_img
spot_imgspot_img

ඉන්දියාවේ හාල් ගබඩා කළ ගාල්ලේ “කිත්තං ගේ” සිංහල දෙමළ සහජීවනයේ අපූර්වත්වය ලොවට කියා පායි

පුවත්

විදෙස්

ගාල්ල යනු මෙරටට පැමිණෙන විවිධ ජන කොටස්වලට වෙළෙඳාමටත් වාසයටත් තෝ තැන්නක් වූ අපූරු නැව් තොටකි. පෘතුගීසීන් පැමිණීමට සියවස් ගණනාවකට පෙර පටන් සිංහල රජුගේ අණසක යටතේ තිබූ ගාලු වරායට විවිධ දේශ දේශාන්තරයන්ගෙන් පැමිණි ජන කොටස් වෙළෙඳාමේ නිරතවූ අතර ඇතැම් පිරිස් එහි පදිංචි වී දැන් සැබෑ ශ්‍රී ලාංකිකයන් වී සිටිති.

ඔවුන් අතරින් චෙට්ටියාර්වරු එක් ජන කොට්ඨාසයකි.

ඉන්දියාවේ දකුණු වෙරළ තීරයේ ජීවත් වූ දෙමළ සම්භවයක් සහිත වෛශ්‍ය හෙවත් වෙළෙඳ කුලයකට අයත් පිරිසක් ගාල්ල සහ දොඩන්දූව වරායන්වලට වෙළෙඳාම් පිණිස පැමිණියහ. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ වෙළෙඳාමෙන් හැකිතාක් මුදල් ඉපයීමයි. ඒ සඳහා ඔවුහු බුරුමයෙන් මෙරටට හාල් ගෙන්වූ අතර ගාල්ලේ පත්මන් වොඩ් වීදියේ තාවකාලිකව තම ගබඩා සාදාාගෙන පදිංචිවූහ. මේ ඉතිහාස සාක්ෂි ගාල්ලෙන් හමුවන්නේ වර්ෂ 1656ත 1790 ත් අතර කාලයේ දී ය.

ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා සිය ආචාර්ය උපාධිය නිබන්ධය සඳහා ‍නාට්ටුකෝ‍ට්ටෙයි චෙට්ටියාර් හා ලංකාවේ වණික් බැංකු කෙරෙහි ඔවුන්ගේ කාර්යභාර (The Nattukotai Chetiar, Merchant Bankers in Ceylon) නමැති ග්‍රන්ථයක් ලියමින් ඔවුන් ගැන ඉතාමත් වැදගත් කරුණු රැසක් අනාවරණය කළේය.

ඔහුගේ පර්යේෂණයෙන් තහවුරු වන්නේ නාට්ටුකොට්ටෙයි චෙට්ටියාර්වරු මෙරටට යුරෝපීයයන් පැමිණීමට පෙර පටන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවලට පැමිණ විවිධ වෙළෙඳාම්වල නිරතවූ ජන කොටසක් බවයි.

ඔවුන් වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව සිටි සහල් වෙළෙඳාමට අමතරව මුතු මැණික් මිලයට ගන්නා ඔවුන් රෙදි පිළි වෙළෙඳාමේ ද නිරත විය. මුදල් පොළියට දීම, උකස් ගැනීම වැනි ව්‍යාපාරයන් හි යෙදෙන්නට ද මේ චෙට්ටියාර්වරු පසුබට වූයේ නැත. මෙරට වාණිජ බැංකු ආරම්භ වීමට පෙර බැංකුවකින් සිදුවිය යුතු සියළු කටයුතු සිදුකළේ මේ චෙට්ටියාර්වරු විසිනි. මේ නිසාම ඔවුන් එකම බැංකුකරුවෝ සහ බැංකු වෙළෙන්දෝ ලෙස ද හැඳින්වීම සිදුකෙරිණි.

ගාල්ල වරායට, දොඩන්දූව වරායට පැමිණි චෙට්ටියාර්වරු ගාල්ල අවට පදිංචි ‍වීමට ද අමතක කළේ නැත. ගාල්ලේ සිටි ඇතැම් චෙට්ටියාර්වරු වතු හිමිකරුවෝ ද වූහ.

වලහන්දූවේ ලෙච්චමී වත්ත, පිලානේ සින්තාමනී වත්ත සහ රත්ගම මොන්රෝවියා වත්ත අතීතයේ චෙට්ටියාර්වරුන්ට හිමිව තිබූ වතු කිහිපයකි.

වර්තමාන ගාල්ල නගරයේ කළුවැල්ල ප්‍රදේශයේ කිත්තංගේ යනුවෙන් අමුතු ගොඩනැගිල්ලක් තිබේ. ඉතා පැරණි ස්වරූපයක් ගන්නා මේ ගොඩනැගිල්ලේ ඇතුළත රන් භාණ්ඩ අළෙවිකරුවන් සිටින ව්‍යාපාරික ස්ථාන රාශියක් පිහිටා තිබේ. රන්කරුවන් නිසාම ප්‍රදේශය පුරාම ප්‍රසිද්ධියක් උසුලණ කිත්තංගේ දෙමළ කතාකරන තවත් ජන සමූහයකගේ නිවාස ද පිහිටි ස්ථානයකි.

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පිහිටි මේ කිත්තංගේ යනු දෙමළ භාෂාවෙන් කිත්තං ගී යන්නෙන් සෑදුණු පදයකි. මෙහි සිිටින්නෝ අතීත නාට්ටුකෝටටේ චෙට්ටියාර්වරුන්ගේ නූතන පරම්පරාවෝය. කිත්තංගේ යනු අතීතයේ මෙරටට පැමිණ සහල් වෙළෙඳාමේ යෙදුණු චෙට්ටියාර්වරුන්ගේ සහල් ගබඩාවයි.

මේ සහල් ගබඩාවට යාබදව ශ්‍රී කදිර් වේලායුධ ස්වාමි කෝවිල තනා තිබේ. එය චෙට්ටියාර්වරුන් විසින් ශ්‍රී ලංකාවේ තනන ලද ප්‍රථම කෝවිල ලෙස ද සැළකේ. පරිපාලක සභාවක් මගින් පාලනය වන එය 1790 වර්ෂයේ ඉදිකරන ලද්දක් බව තහවුරු කර තිබේ.

බුරුමයෙන් ගෙන්වන ලද රැංගුන් තේක්ක යොදා ඉතාමත් සියුම් අලංකාර කැටයමෙන් නිර්මිත මෙහි ප්‍රධාන දොරටුවත් එවැනිම රැංගුන් තේක්කවලින් සකසා ඇති ඇතුළත කණු සමූහයත් ඒ අතීතයට මනා සාක්ෂිියකි. කෝවිලේ ඇතුළත බිත්තිවල වසර 100කටත් වඩා පැරණි බිතුසිතුවම් රැසක් දක්නට ලැබෙන අතර ඒවා පුපරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද සංරක්ෂණය කර තිබේ.

රැංගුන් තේක්කවලින් නිර්මිත දැවැන්ත උළුඅස්ස

මෙහි සිවිලිමේ රැංගුන් තේක්ක කැටයමිින් අලංකාර ලෙස නිර්මාණය කර ඇති රාශි චක්‍රයද වෙනත් ස්ථානයක දැකිය නොහැකි තරමේ සුවිශේෂී නිර්මාණයකි.

කෝවිලේ භාරකාර මණ්ඩලයේ ලේකම් කදිරවේල් මාණික්කම් මෙසේ පවසයි.

“ගාල්ලට ආපු අපේ මුල්ම පිරිස 1760 දී විතර මේ කෝවිල කිත්තංගේ අසළ ඉදිකරද්දි ලංකාවේ පැලපදියම් වෙන්න හිතන්න නැතිව ඇති කියලා කෝවිලෙන්ම සාක්ෂියක් ලැබෙනවා. මෙහි තිබෙන දේව රූප ඉදිකරලා තියෙන්නේ ඕනෑම මොහාතක ගලවන්න පුළුවන් ඔන්චිල්ලාවක් මත. නමුත් අපේ අය ව්‍යාපාර දියුණු කරගෙන සල්ලි උපයා ගත්තාට පස්සේ මේ ස්ථානයේ දඹ රනින් පිළිම තුනක් හැදුවා. ඒවා කතරගම දේව පිළිමය, වල්ලි අම්මා පිළිමය හා තෙයිවානි අම්මා පිළිමය. නමුත් විවිධ කෝලාහල නිසා අපි මේ පිළිම තුනම මේ කෝවිලෙන් ඉවත් කළා. දැන් ඒවා බැංකුවක තැන්පත් කර තිබෙනවා. “

කදිරවේල් මාණික්කම්

අතීතයේ සහල් වෙළෙඳාමේ යෙදුණු නාට්ටුකෝට්ටේ චෙට්ටියාර්වරු අද ද බැංකු කටයුතුවල පවා නිරතව සිටිති. ඔවුහු ස්වර්ණාභරණ වෙළෙඳාමේ ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

එකළ සහල් ගබඩාවේ කොටසක් දැන් ස්වර්ණාභරණ වෙළෙඳ සැල් බවට පත්ව ඇත. මේ සහල් ගබඩාවේ ම එක් පසෙක පවුල් ගණනාවක් පදිංචිව සිටිති.

“අපේ අතීත මුතුන් මිත්තන් කොටසක් ඉන්දියාවෙන් ආවා වුණාට දැන් අපි හැමෝම ශ්‍රී ලාංකිකයි. අපි ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙන්. සිංහල මුස්ලිම් සහෝදර සහෝදරියන් සමඟ අපිට කිසිම වෙ‍නසක් දැනෙන්නේ නෑ.” ඔවුන්ගේ නූතන පරපුර එසේ කියන්නේ මහත් සතුටකිනි.

ස්වර්ණාභරණ අළෙවි සැල්

1983 කළු ජූලිය කිත්තංගේ අඳුරු කළ අවස්ථාවක් විය. ජාතිවාදයේ අනිටු පළ විපාකවලට ඔවුහු බොහෝ දෙනකු ගොදුරු වූහ. ගාල්ලේ තිබූ චෙට්ටියාර්වරු සතු දේපළ රැසක් විනාශ කෙරිණි. කිත්තංගෙට ද ප්‍රහාර එල්ලවිය. කදිර්වේලායුධ කෝවිලේ තිබූ වේල් කරත්තය පවා ගිනි තැබිණි. ඒ අඳුරුමතකයන් සිහිපත් කිරීමට පවා ඔවුන් කිසිවෙකුත් කැමති නැත.

“අපිට කිසිම වෙනසක් නැහැ. එදා සුළු පිරිසකගේ වැරදි නිසා ලොකු විනාශයක් වුණා. අපි හැමෝම දැන් සතුටින් එකම ජාතියක් වගේ ජීවත් වෙනවා. අපිට ජාතිය, භාෂාව, ආගම ප්‍රශ්නක් නෑ. පන්සලටත් යනවා කෝවිලටත් යනවා. සිංහල බෞද්ධ අයත් අපේ කෝවිලට එනවා. ඒ විතරයක් නෙවෙයි අපි වැඩිපුරම ගනුදෙනු කරන්නේ ව්‍යාපාර කරන්නේ සිංහල අය සමඟ කවදාවත් වෙනසක් නෑ, අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මේ සමගිය අපිට නොවෙනස්ව තියාගන්න හැකිවේවා කියලා.” මාණික්කම් මහතා පවසයි.

අදින් සියවස් ගණනාවකට පෙර සහල් වෙළෙඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ගාල්ලේ පැළ පදියම් වී ශ්‍රී ලාංකිකයන් වී සිටින නාට්ටුකෝට්ටේ චෙට්ටියාර්වරුන්ගේ සැබෑ සංස්කෘතික ලක්ෂණ සහ ජන ජීවිතය ගැන දැනගැනීමට නම් ඔවුන්ගේ පැරණි සහල් ගබඩාවට රිංගා යා යුතුමය. ඔවුහු දැන් සිංහල ජාතිය, බුදු දහම සහ සංස්කෘතිය සමඟ මිශ්‍ර වූ අපේම ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

ඔවුන් දෙමළ යැයි ද කිත්තං ගේ යනු වෙනම අමුතුම ස්ථානයක් යැයි වපර ඇසින් බලන කිසිවෙකුත් එහි සැබෑ තත්වය දන්නේ නැත. එහි ඇතුළට ගොස් මේ මිනිසුන් ජීවත්වන ආකාරය දැක නැත.

කෝවිල භාර සාමිවරයා වන ශරවන් ශර්මා කොවිලේ පැවැත්වෙන පූජා ගැන මෙසේ කීවේය.

“මේ කෝවිල දෙමළ අයගේ විතරක් නෙවෙයි. පූජාවලට දෙමළ අයටත් වඩා එන්නේ සිංහල බෞද්ධ අය. ඔවුන්ටත් මේ කෝවිල ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. උදේට වැඩිපුර දෙමළ අය එනවා. රැකියාවට ව්‍යාපාරවලට යන කමන් ඔවුන් කෝවිලට ගොඩවෙලා ආශිර්වාද අරගෙන තමයි යන්නේ. ඒත් හවසට වැඩිපුර එන්නේ සිංහල බෞද්ධ අය. අපි ඉතාමත් සමගියෙන් ඉන්නවා. මේ බව තේරුම් නොගන්නා ඇතැමි අය වැරදි විදියට අපි ගැන බලනවා. ජාති ආගම් බේද වැඩක් නැහැ. ‍මේ වගේ සමගියෙන් සිටීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ.”

කෝවිලේ ඇතුළත දර්ශනයක්

කෝවිලේ පූජාවකට සහභාගී වූ ශාන්තිනී බැලූ බැල්මටම සිංහල කාන්තාවක් වැනිය. පූජාව අතරතුර නළලේ තැබූ සටහනක්‍ හේතුවෙන් ඇය හින්දු ලබ්දික කාන්තාවක් බව හඳුනාගත හැකිය. ඇය සමඟම තවත් කාන්තාවක් එහි සිටියාය. ඇය ද එවැනිම සටහනක් තම නළල මත තබා සිටියි. අප ඇය සමඟ කතා කරන විට ඇය මෙසේ කීවාය.

“මම කිත්තං ගේ ගැනනම් මොනවත්ම දන්නේ නෑ. කෝවිල ගැනත් වැඩි දෙයක් දන්නේ නෑ. මම සිංහල බෞද්ධ එක්කෙනෙක්. මාසයකට වතාවක් දෙකක් කෝවිලට ඇවිත් පූජාව තියනවා. “

අප සිතුවේ ඇය ද හින්දු ලබ්ධික කාන්තාවක් ලෙසිනි.

ශාන්තිනී නම් උපන් දා සිට කිත්තංගේ සිය වාසස්ථානය කරගත් තැනැත්තියකි. ඇය විවාහකය. ඇය මෙසේ කියන්නීය.

“මගේ තාත්තා දෙමළ අම්මා සිංහල කෙනෙක්. අපි ඉපදුණේ හැදුනේ වැඩුනේ මේ කිත්තංගේ ඇතුලෙමයි. අපි කෝවිලට යනවා පන්සල් යනවා. ඒකේ කිසිම වෙනසක් නෑ. මම පවුලේ බාලයා අයියලා හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනාම බැන්දේ සිංහල කාන්තාවන්. අක්කා විවාහ වුණේ දෙමළ ජාතිකයෙක් එක්ක. මම විවාහ වුණේ සිංහල කෙනෙක් එක්ක. අපිට මේ ආගම් බේදයක් ජාති බේදයක් නෑ.”

කිත්තංගේ ඇතුළත කොටසක්

අපට ශාන්තිනී හමුවන විට කිත්තංගේ ජීවත්වන දෙමළ පියකුට දාව ඉපදුණු ඇය කළුවැල්ලේ ජාත්‍යන්ත බෞද්ධ මධ්‍යස්ථානයේ ධර්ම දූත දහම් පාසලේ ගුරුවරියකි. ඇයගෙන් සිංහල බෞද්ධ ළමෝ බුදු දහම ඉගෙන ගනිති.

“මට ආගමේ වෙනසක් නෑ, හින්දු කෝවිලත්, පන්සලත් දෙකම මට හොඳට හුරුපුරුදුයි. අපි ඔක්කොම එකම රටක මිනිස්සු බේදබින්න වෙලා වැඩක් නෑ.” ඇය පවසයි.

කදිරවේල් සෝම සුන්දරම් මහතා පී.ජී.කරුණාවතී නමැති සිංහල කාන්තාවක්  සමඟ විවාහ වී පුතුන් හතර දෙනකු සහ දියණියන් දෙදෙනකු බිහිකළේය.

ඔවුන්ට කිසිදා ජාති ආගම් ‍බේද හෝ සංස්කෘතික ගැටුමක් තිබුණේ නැ. මේ යුවළට වගේම ඔවන‍්ගේ දරුවන්ටත් සිංහල, දෙමළ භාෂා ද්විත්වයම හොඳින් හැසිරවිය හැකි අතරම කෝවිලත්, පන්සලත් ඔවුන්ට ආගන්තුක වූයේ නැත. කෝවිලේ පූජාවලට සහභාගීවන ඔවුන් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගමික දරුවන් සමඟ අධ්‍යාපනය ලැබූහ.

“මම හින්දු, නෝනා බුද්ධාගමේ අපි ඉතා ආශාවෙන් කෝවිලටත්, පන්සලටත් යනවා. දරුවනුත් එහෙමයි. අපේප සංස්කෘතික වෙනසක් නෑ. ඒ වගේම දරුවන් කිසිම කෙනෙකුට අපි බලපෑමක් කළේ නෑ එයාලා කසාද බඳින්න ඕනෑ කාව ද ? මොන ආගමේ ද ? මොන ජාතියේ ද ? කියලා. අපිට ආගම්, ජාති ඔක්කොම එකයි. අපි මනුස්සයෝ. අපේ පුතාලා සිංහල දුවලා බැන්දා. එක දුවෙක් බැන්දේ දෙමළ හින්දු පුතෙක්. අනෙක් දුව සිංහල බෞද්ධ පුතෙක් එක්ක විවාහ වුණා. අපි හැමෝම එකතුවෙලා වෙසක්, පොසොන්, තෛපොංගල්, නත්තල් යන මේ සියලු උත්සව අපි ඉතා ඉහළින් සැමරනවා. අපේ පවුලේ අය හැමෝම එකතු වුණාම කතා කරන භාෂා ශෛලිය එකිනෙකාට වෙනස් වුණාට කතා කරන්නේ සිංහලෙන්. කෑම බීම පවා හැමෝගෙම එක සමානයි. උත්සව අවස්ථාවල දී තමයි තමන්ගේ ආගමික සංස්කෘතිය අනුව විශේෂ කෑම ජාති හැදෙන්නේ. අපි හැමෝම හරිම සංතෝෂයෙන් ඉන්නවා. සිංහල දෙමළ කියලා වෙනසක් නෑ. අපි හැමෝගෙම ශරීරයේ තියෙන්නේ එකම ලේ. අපේ දරු මුණුපුරන්ගෙන් කවුරුහරි ඇහුවොත් ජාතිය මොකක්ද කියලා කටපුරාම ශ්‍රී ලාංකික කියනවා හැර බෙදා වෙන් කරන්න බෑ.”

ආනන්දන් පවිත්‍රා සහ ආනන්දන් වින්ධ්‍යා එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. ඔවුන් ඉගෙනුම ලැබුවේ කිත්තංගේ අසළම ඇති ශ්‍රී හෘදය කන්‍යාරාමයේය.

“අපිට ඉස්කෝලෙදිවත්, ගෙදරදීවත් කිසිම ජාති ආගම් බේදයක් නෑ. සිංහල, දෙමළ මුස්ලිම් හැමෝම හොඳ යාලුවෝ. වැඩිපුර ඉන්නේ සිංහල යාලුවෝ. එයාලා අපේ ගෙවල්වල පවා එනවා. නිතරම හොයලා බලනවා. ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් විභාගයට බුද්ධාගම විෂයයටත් පෙනී සිටියා. ඉරිදා උදේට කළුවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලට ගිහින් ඉගෙන ගත්තා.”

කෝවිල භාරකාර මණ්ඩලයේ ලේකම් කදිරවේල් මාණික්කම් මෙසේ පවසයි.

“මේ කිත්තංගේ ඇතුළේ ඉන්න වගේම කළුවැල්ලේ පදිංචි චෙට්ටියාර්වරුන්ගෙන් පැවත එන අය බොහෝ දෙනෙක් සහ සිංහල අය අතර ආවාහ විවාහ සිදුවෙලා තියෙනවා. දැනටත් ඒ විවාහ සිදුවෙනවා. ඉතින් අපි හැමෝම එකම ජාතියක් ලෙස හිතන්න පුරුදු වෙනවනම් අපේ රට කොයිතරම් සුන්දර ද ? මේ එක ස්ථානයක් පමණයි. අපිට කිසිම ජාති ආගම් බේදයක් නෑ. නමුත් ඇතැම් පුද්ගලයන් ඉතිහාසයේ වරින් වර අපිට කෙණෙහිළිකම් කරලා තියෙනවා. අපි ඒ සියල්ල අමතක කරලා ඉන්නේ. ඒත් ඇතැම් අය අපි දිහා වපර ඇසින් බලනවා. අපි කියන්නේ මේ රටේ ජාතික සමගිය ඇතිකරන්න පුළුවන් බවට හොඳම උදාහරණයක් තමයි ගාල්ලේ කළුවැල්ල. විශේෂයෙන්ම කිත්තංගේ. එතැන බින්න බැහැපු සිංහල අය කොතරම් ඉන්නවද කියා බැලුවම තේරේවි අපි එකම ශ්‍රී ලාංකීය ජාතියක් බව.”

කෝවිල ඇතුළත ඇඳ ඇති බිතුසිතුවම්

කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ම්‍රම්ම වංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායක රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ට කථිකාචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමියෝ මෙසේ කියති.

“කිත්තංගේ ප්‍රධානව කළුවැල්ලේ ජීවත්වන සියලුම දෙමළ ජාතිකයන් පන්සල හා සම්බන්ධයි. කිත්තං ගේ ඇතුළේ මරණයක් වුණත් පාන්සකූළය පවා දෙනවා. ඔවුන් පන්සලට දාන මානා දී පිංකම් කරනවා. ඔවුන් අපේ දායකයෝ. ඒ වගේ ම ළමයි දහම් පාසලට එනවා. ආගමික අවස්ථා සියල්ලටම පාහේ සම්බන්ධ වෙනවා. හින්දු ආගමිකයන් කියලා කිසිම වෙනසක් නෑ. පන්සිල් සමාදන් වෙනවා. පෝයට සිල් සමාදන් වෙනවා. ඉතාමත් සමගි සම්පන්නව ජීවත් වෙනවා. ඒත් අපේ සමහරු මේ අය ගැන වපර ඇසින් බැලීම තයි අපිට ගැටලුවක් වෙලා තියෙන්නේ. ඉතාමත් සමගියෙන් ජීවත් වෙමින් සමස්ත රටටම ආදර්ශයක් වූ ජන කොට්ඨාසයක්. ඔවුන් සැබෑ ශ්‍රී ලාංකිකයන් කවුරුන්ද කියා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සනාථ කර තිබෙනවා.”

කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමියෝ

පන්සලේ ඝණ්ඨාරයත්, කෝවිලේ සීනුවත් හොඳින් හුරුපුරුදු ගාල්ලේ සිටින මේ නාට්ටුකෝට්ටේ චෙට්ටියාර්වරු සිය මුතුන් මිත්තන් ඉන්දියාවෙන් පැමිණ බව කියා සිටිය ද තම පරපුරේ ඥාතීන් ඉන්දායාවේ සිටිනවා ද කියා හෝ දන්නේ නැත. එහෙත් ලංකාවේ සතර දික් භාගයේ සිටින ඥාතීහු වරින් වර ගාල්ලට නෑ ගම් පැමිණෙති. ඔවුහු සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝය.

සිංහලයන්, ‍ද්‍රවිඪයන් හෝ නාට්ටුකෝට්ටේ චෙට්ටියාර් ලෙස ඔවුන් බෙදා වෙන්කළ හැකි කිසිදු ලක්ෂණයක් ඔවුන්ගේ නැත. මේ සියල්ලෝම එකම මිනිස් ජාතියකි.

(මෙම ලිපියට අදාල කරුණු සොයාගැනීමේ දී සහය වූ ශ්‍රී ලංකා රාජකීය ආසියාතිකයන්‍ගේ සංගමයේ හිටපු භාණ්ඩාගාරික නීතිඥ හේමන්ත සිටුගේ මහතාට අපේ ස්තූතිය.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!