spot_img
spot_imgspot_img

චීනයෙන් ගෙන්වන කාබනික පොහොරවලින් වගා විනාශ කරන දරුණු බැක්ටීරියාවක් හමුවෙයි

පුවත්

විදෙස්

චීනයෙන් මෙරටට ගෙන්වීමට සූදානම් වූ කාබනික පොහොරවල වගා විනාශයට හේතුවන දරුණු බැක්ටීරියාවක් අඩංගු බව පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.

රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර භාවිතා කිරීම ප්‍රචලිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව මෙරටට කාබනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් ක්විංඩාවෝ සීවින් බයෝටෙක් නමැති සමාගමකට ටෙන්ඩර් පිරිනමා තිබේ.

එම පොහොර මෙරටට ගෙන්වීමට පෙර එහි සාම්පලයක් ගෙන්වාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාක ආරක්ෂණ අංශය විසින් පරීක්ෂණ පවත්වා තිබේ.

එහි දී අනාවරණය වී ඇත්තේ මෙම පොහො‍ර සාම්පලයේ අර්වීනියා නමැති ඉතා හානිකර බැක්ටීරියාව ඇති බවයි. එම බැක්ටීරියාව හේතුවෙන් මෙරට අල වගාව සහ එළවළු වගාව සම්පූර්ණයෙන් ම විනාශ වී යා හැකි බව ද පර්යේෂකයෝ කියති.

එම චීන සමාගම කාබනික පොහො‍ර නිෂ්පාදනය කරන්නේ මුහුදු පැලෑටිවලිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ හාක ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා මෙසේ පවසයි.

“මෙම සාම්පලය අපි පරීක්ෂා කළා. එහි අර්වීනියා බැක්ටීරියාව හමුවුණා. අර්වීනියා බැක්ටීරියාව කෘෂිකර්මයේ දී දරුණු ව්‍යාධිජනයයෙක් හැටියට සළකනවා. එවැනි බැක්ටීරියාවක් අලුතෙන් අපේ පරිසරයට එක්වීමෙන් ස්වභාවික පරිසරයේ සමතුලිතතාව නැතිවෙලා යනවා. මේ අර්වීනියා ‍බැක්ටීරියාවට අල, එළවළු වැනි විශාල පරාසයක භෝග රැසකට රෝග බෝකිරීමට හැකියාවක්තිබෙනවා. ඒ වගේම මල් හා විසිතුරු බෝග වගාවටත් රෝග ඇතිවිය හැකියි. එමෙන්ම ශාකවලට රෝග බෝකරනවාට අමතරව මෙම අර්වීනියා බැක්ටීරියාවට පසු අස්වනු හානි සිදුකිරීමේ හැකියාවත් තිබෙනවා.”

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසන්නේ පොහොර ගෙන්වීමට පෙර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කරන බවයි. එම සාම්පලයේ ඇති අහිතකර බැක්ටීරියාව මෙරට ස්වභාවික පරිසරයට මුසු වීමට කිසිදු ඉඩක් නොමැති බවද හෙතෙම පෙන්වාදෙයි. එම සාම්පලය ගෙන්වාගෙන ඇත්‍තේ ශාක නිරෝධායන ආතනයේ අවසර පත්‍රයකින් බවත් එලෙස ගෙන්වන විට නිෂ්පාදන සමාගමෙන් හා චීනයෙන් සහතිකයක් ලබාදෙන බවත් ඔහු කියයි. එමෙන් ම ආචාර්ය අජන්ත ද සිල්වා පවසන්නේ මේම මේ සාම්පලය ඒ ආකාරයෙන් ආරක්ෂිතව ගෙන්වාගත් දෙයක් බවයි.

නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

“අපි මේ පොහොර සාම්පල කීපයක් නීත්‍යානුකූළ ක්‍රමයෙන් බැහැරව ඒ සමාගම්වලින් ගෙන්වාගත්තා. මේවා පරීක්ෂා කරන්න මේ ගෙනාපු ක්‍රමවේදය, ඒවා ආපු ආකාරය, ගත්තු විදිය, බෙදපු විදිය සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයට යම් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. මේ පොහොර ගෙනවිත් තියේනනේ ප්ලාස්ටික් මල්ලක. ඉතින් මේ පොහොරවලට පොඩි එන්නත් කටුවකින් ඕනම කෙනෙකුට මොනවා හරි මේකට ඇතුළු කරලා සම්පූර්ණයෙන්න ම ඒ සාම්පලය විනාශ කරන්න පුළුවන්.”

අමාත්‍යවරයා එසේ කීව ද කාබනික පොහොර වැනි ද්‍රව්‍යයක් මෙරටට ගෙන්වීමේ දී නීත්‍යානුකූළ ක්‍රමවේදයක් තිබේ. කෘෂිකර්ම සේවා අධ්‍යක්ෂ ජනරාල් නිශ්චිත ක්‍රමවේදයට ගෙන්වූ බව කියද්දී ඇමතිවරයා පවසන්නේ හොරෙන් ගෙන්වා ඇති බවයි. විධිමත් ආකාරට එම සාම්පලය මෙරටට ගෙන්වා නැත්නම් එය බරපතල ප්‍රශ්නයකි. එසේනම් ඇමතිවරයා ඒ ගැන මාධ්‍ය හමුවේ කරුණු කියමින් කාලය ගත කරන්නේ නැතිව හොරෙන් කාබනික පොහොර සාම්පල ගෙන්වූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. කාබනික පොහො‍ර ගෙන්වීමේ ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් 63ක වටිනාකමක් සහිතය.

ගැටලුව ඇත්තේ ටෙන්ඩරය පිරිනැමීමට පෙර මේ පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් සොයාබැලීමක් කර තිබේ ද යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!