spot_img
spot_imgspot_img

කාලි අම්මාට බය වූ, බණ්ඩාරවෙල පොලිසිය නීති නොතකා ඉබාගාතේ යයි

පුවත්

විදෙස්

බණ්ඩාරවෙළ නගරය ආසන්නයේ කොවිලක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් තමන්ට දැඩි පීඩාවක් ඇති බව ප්‍රදේශවාසීණ් විසින් පොලිසියට පැමිණිළි කිහිපයක් ම කර ඇතත් පොලිසිය ද නීතිය ක්‍රියාත්මක නොකර මඟහරමින් සිටියි.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සේනානායක මාවතේය. ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල නමින් පවත්වාගෙන යන එම ස්ථානය තනි පුද්ගලයකුගේ දේපළක් වන අතර පාලක මණ්ඩලයකින් පාලනය වන්නක් ද නොවේ.

මෙම ස්ථානයේ බිලි පූජා පවා පවත්වන අතර නිරුවත් කාන්තා රූප සහ කුඩා දරුවන් දුටුවිට බිය උපදවන රූප පවා ප්‍රදර්ශනය කරමින් ඝෝෂාකාරීව කටයුතු කිරීම ප්‍රදේශයටම මහත් කරදරයක් බව ඒ අවට පදිංචිකරුවෝ කියති.

මේ සම්බන්ධයෙන් එම ස්ථානය ආසන්නයේ ම පදිංචි සරෝජනී එල්ලාවල නමැති කාන්තාවක් විසින් වසර ගණනාවක සිට පොලිසියට පැමිණිළි කිහිපයක් ම කළ ද බණ්ඩාරවෙළ පොලිසිය ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

කන්දසාමි අයියර් සුභාගර් සර්මා නමැති පුද්ගලයකු විසින් මෙය පවත්වාගෙන යන අතර සරෝජනී එල්ලාවලගේ පැමිණිල්ලකට අනුව පොලිසියට කැඳවූ අවස්ථාවක දී ඔහු එම කාන්තාවට මරණීය තර්ජන පවා කර ඇත. ඇය පවසන්නේ ඔහු තමන්ට මරණීය තර්ජන කළේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපිට දී බවයි.

ඒ පිළිබඳ අපි මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ජේ.ඩබ්ලිව්.එස්.සී.ජයතිලක ගෙන් මේ පිළිබඳ විමසූ විට හෙතෙම කියා සිටියේ එම කාන්තාවට මරණ තර්ජන කළායැයි ඇය කීව ද තමන්ට එවැනි දෙයක් ඇසුණේ නැති බවයි.

කෙසේ වෙතත් 2020.10.28 දිනැතිව බණ්ඩාරවෙළ සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.එම්.දසනායක විසින් කෝවිලේ හිමිකරුට යවා ඇති ලිපියකින් දන්වා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුවක් අනුව මහජන පිඩා සිදුවන පරිදි ශබ්ද වාහිනී භාවිතා කිරීම තහනම් කර ඇති බැවයි. එමෙන්ම ඔහුගේ කොවිලේ එලෙස අධික ශබ්ද තරංගමාලා පිටකරමින් කටයුතු කරන බවට ද අනාවරණය වී ඇතැයි සහකාර පොලිස් අධිකාරී වරයා දැනුම් දී ඇත. එබැවින් අධිකරණයට කරුණු වාර්තාකර නියෝගයක් ලබාගෙන කටයුතු කරන බව ද දන්වා ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර ගලවන්න යැයි එම ලිපියේ සඳහන් කර නැත.

අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් ලිපිය යවා තවත් දින කිහිපයකින් වසරක් ගත වී යයි. එතෙක් පොලිසිය ගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ද නැත.

මෙතෙක් එම ශබ්ද විකාශන යන්ත්‍ර ගැලවීමට කෝවිල පවත්වාගෙන යන පුද්ගලයා කටයුතු කර නැත. කිසිදු භාරකාර මණ්ඩලයකින් පාලනය නොවන එක් පුද්ගලකුගේ පුද්ගලික වුවමනාවට පවත්වාගෙන යන මෙම කෝවිල සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීමත් පොලිසිය ඒ ගැන උනන්දුවක් නොදැක්වීමත් බපරතල ගැටලුවකි.

බණ්ඩාරවෙළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ජේ.ඩබ්ලිව්.එස්.පී.ජයතිලක පවසන්නේ මෙවැනි කතාවකි.

“ඔය ප්‍රශ්නය දිගටම තියෙනවා. ඒක ආගමික ස්ථානයක්. ඉතින් ලවුඩ්ස් පීකර් හතර පැත්තට දාලා ආගමික වැඩසටහන් ප්‍රචාරය කරනවා. කාන්තාවක් පැමිණිලි කළා. එයා විතරයි පැමිණිළි කළේ. කෝවිලේ හිමිකරු ගෙන්නුවාම එයා කියනවා පන්සල්වල සහ පල්ලිවල ඒවා ගලවලා කියන්නලු එතකොට එයා ගලවන්නම්ලු. ඉතින් අපි මොනවා කරන්නද ? නමුත් දැන් අපි තීරණය කර තිබෙනවා ඉක්මණටම අධිකරණයට කරුණු වාර්තා කරන්න. මේ දිනවල අධිකරණ කටයුතු සීමා වෙලා නිසා ඒ ගැටලු අවසන්වූ වහාම හැකි ඉක්මණින්ම අධිකරණයට කරුණු වාර්තා කරනවා.”

බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.එම්.දසනායකගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මේ කෝවිල‍ේ ශබ්ද විකාශන යන්ත්‍ර ගැන පැමිණිලි තිබෙනවා. අපි ඉක්මණින් ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණය විසින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරනවා.”

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් 09 වැනි දා තීන්දුවක් දී ඇත. එම තීන්දුවේ දැක්වෙන්නේ මෙම ආකාරයෙනි.

“කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විටදී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙන යාමට බාධාවක් විය නොහැක. අසල් වැසි ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විදීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනව සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ සජ්ජායනවකාට සම්බන්ධ නොවන පුද්ගයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”  

ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීරණය අනුව එම කාලි අම්මා කෝවිල මගින් කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමකි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007-11-28 දිනැතිව සියලුම දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උපදෙස් මාලාවාක් නිකුත් කර එම එම නඩු තීන්දුව ප්‍රකාරව 2007-11-22 දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.

නමුත්, බණ්ඩාරවෙල පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගණනකට නොගනී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (4) වගන්තියේ:

(i) ඇම්ප්ලිෆයර් භාවිතා කිරීමෙන් ශබ්දය විමෝචනය කිරීම,

ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උපකරණ හෝ උපකරණ මහජනයාට හෝ එහි සිටින ජනතාවට කරදරයක් ඇති කරයි

අවට වාසය කරන හෝ දේපළ හිමි සාමාන්‍ය අයට එවැනි දේ දණ්ඩනීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව පොදු කරදරයක් ලෙස සැලකේ

මෙම කෝවිලේ හිමිකරුවා දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් කරයි. පොලිසියට ඒ ගැන පැමිණිලි කළ ද නීතිය ක්‍රියාත්මක නොකර යළි අධිකරණයේ පිහිට පැතීමට උත්සාහ ගැනීම බරපතල ගැටලුවකි.

විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා භාවිතා කළ හැකිවන්නේ අවට සිටින පුද්ගලයින්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි.

බණ්ඩාරවෙල මූළස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම කෝවිල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධව කිසිදු අවසරයක් ගෙන නැති බවයි.

පොලිසිය ඒ බව හොඳින්ම දන්නේ නම් පොලිසිය කළ යුත්තේ  පොලිසියට පැවරී ඇති බලතල ප්‍රකාරව පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ වහාම කෝවිලට ගොස් නීති විරෝධී පිරිත් විකාශනය සිදුකරන ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් උපකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80(4) වගන්තිය අනුව ඒ ගැන අධිකරණයට වාර්තා කිරීමයි.

මීට අමතරව, 2013 සැප්තැම්බර් මාසයේ දී පොලිස් මූලස්ථානය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ කරුණු 13කින් සමන්විත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ශබ්ද සෑම විකාශනයක් සඳහාම ශබ්ද විකාශන බලත්‍රයක් වෙන වෙනම ලබා ගත යුතුය.

එම උපදෙස් මාලාව පහත පරිදි වෙයි.

1. ශබ්ද විකාශන බලපත්‍රය නිකුත් කරනු ලබන පරිශ්‍රයේ සීමාවෙන් ඔබ්ට එම ශබ්දය විස්තාරණය නොවන ලෙසට වගබලා ගත යුතුය.

2. ශබ්ද විකාශන යන්ත්‍රයේ ශබ්දය අදාල පරිශ්‍රයට පමණක් සීමා විය යුතුය.

3. ආදළ ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන ශබ්ද පරිමාව මහජනතාවට හිරිහැරයක් ඇති නොවන පරිදි අවම මට්ටමට පහත් ස්වරයෙන් යුතුව විකාශය කළ යුතුවේ.

4. බලපත්‍රයේ සඳහන් කර ඇති වේලාව ඉක්මවා යන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම සපුරා තහනම් වේ

5. අදාල ස්ථානයේ පරිමාවට වැඩිදුරකට ශබ්ද විකාශය වන අයුරින් ආම්පන්න (බෆල්, හෝනන් ආදිය) නෙයෙදවිය යුතුය.

6. ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රයේ දන්වා ඇති ස්ථානය / පරිශ්‍රයෙන් පිටතට කිසිම ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර බෆල්, හෝන් යනාදිය සවිකර එමගින් මහා මාර්ගයේ රථවාහන ගමනාගමනයට එමෙන් ම මහජනතාවට අවහිරයක්, අපහසුතාවක් කරදරයක් වන අයුරින් කටයුතු නොකළ යුතු වේ.

7. මෙම ස්ථානයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට එන පොලිස් නිලධාරීන් විසින් අවස්ථානුකූලව දෙනු ලබන නීත්‍යානුකූල විධානයන්ට බලපත්‍රලාභියා යටත් විය යුතුය.

8. සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර (හෝන්) අදාල පරිශ්‍රය තුළට හරවා සවිකළ යුතුය.

9. ඒවා පොළොවට සමාන්තරව අංශක 45ක් පහළට සිටින සේ පොළොවේ සිට සාමාන්‍ය උසකින් සවිකළ යුතුය

10. ශබ්ද විකාශන යන්ත්‍රයේ ශබ්දය අදාල පරිශ්‍රයෙන් බැහර අවට මහජනතාවට බාධාවක් සිදුනොවන සේ ප්‍රචාරය කළ යුතුය.

11. පරිශ්‍රයේ පිටතට රැහැන් ඇද පරිශ්‍රයෙන් පිටත ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර සවි නොකළ යුතුය.

12. අදාල බලපත්‍ර ලබාදෙනු ලබන පරිශ්‍රයෙන් පිටත පදිංචිකරුවන්ට හෝ වෙනත් කාර්යයන්හි යෙදි සිටින මහජනතාවට බාධාවක් නොවන සේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුතුය.

13. අදාල කොන්දේසි කඩ කරන අවස්ථාවක දී නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කිරීමට පොලිසිය ක්‍රියා කරනු ඇත.

මෙයට අමතරව තවත් වැදගත් කරුණු කිහිපයක් තිබේ.

2017 ජනවාරි 25 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී උඩුවේ ධම්මාලෝක හිමි වැඩ සිටින ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මහජනතාවට පිඩාවක් බවට තීන්දුවක් දී ඇත.

එමෙන් ම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් 2018-01-17 වැනි දින 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරනු ලබන පැමිණිල්ලකට අනුව නඩු අංක 85293 – 2018 නඩුවේ තීන්දුව ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇත.

මෙවැනි අධිකරණ නියෝග තිබිය දී පවා බණ්ඩාරවෙල පොලිසිය මහජනතාවට පීඩාකාරී මේ කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ ගලවාගෙන ගොස් එම සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ බිලි පූජා කරමින් පවත්වාගෙන යන කාලි අම්මාන් කෝවිලට ඇති මර බිය නිසාදැයි දැන් ප්‍රශ්න කිරීමට සිදුව තිබේ.

මේ ප්‍රදේශයේ සියලු ජනතාවට මේ කෝවිල විශාල පීඩාකාරී ස්ථානයක් බවට පත්ව ඇතත් අසල්වාසීන් ඊට එරෙහිවන සෑම අවස්ථාවක දී ම එහි හිමිකරුවා කාලි අම්මාගේ ශාපයට ලක් නොවන ලෙසත් එසේ ලක්වුවහොත් දරු පවුල් පිටින් විනාශ වී යනු ඇති බවත් ඔවුන්ට පවසමින් ඔවුන් බිය වද්දයි.

එක්තරා රූපවාහිනී නාලිකාවකට ද පැමිණ ගුප්ත විද්‍යාව සම්බන්ධ කරුණු දක්වන මෙම කෝවිලේ හිමිකරු කන්දසාමී අයියර් සුභාගර් ෂර්මා අපි දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ පිළිබඳ විමසා සිටියෙමු. ඔහු මෙසේ කීවේය.

“මේක ආගමික මධ්‍යස්ථානයක්. මට ඔය නීතියෙන් වැඩක් නෑ. මම ආගම කරනවා. වටේ ඉන්න අය ඒකට විරුද්ධ වුණාට මට අදාල නෑ. පොලිසිය මට ගලවන්න කියනවා. මම ලව්ඩස්පීකර් ගලවන්නේ නෑ. ඉස්සෙල්ලා පන්සල්වල පල්ලිවල ගලවලා එන්න. එතකොට බලමු. තමුන් මේවා ලියනවානම් තමුන්ටත් කාලි අම්මාගේ ශාපය එල්ල වේවි.”

අපි මෙවැනි මිත්‍යා දෘෂ්ඨිකයන්ට කිසිදු බියක් නැත. ඒ නිසා අපට ශාපය එල්ල වන්නේ නැත.

තමන්ට කෝවිල පීඩාකාරී බව සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කළ සරෝජනී එල්ලාවලට සුභාගර් ෂර්මා විසින් නීතිඥවරියක මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඔහුගේ කෝවිලට ඇය බාධා කරන බවත් එබැවින් වන්දි මුදලක් ලබා නොදෙන්නේ නම් නඩු පවරන බවත් පවසා තිබේ.

අපි එම එන්තරවාසිය එවූ නීතිඥ නයෝමි නිරෝෂිකා අබේවික්‍රම ඇමතූ විට ඇය කියා සිටියේ සිය සේවාදායකයාගේ උපදෙස් නැතිව කිසිවක් තුන්වැනි පාර්ශවයකට පැවසිය නොහැකි බවයි. එමෙන්ම එම ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබෙන්නේ ද නැද්ද යන්න තමන් නොදන්නා බව ද නීතිඥවරිය පැවසුවාය.

පොලිස් ‍කොමිෂන් සභාවත් නිතිය අනුව කටයුතු කිරීම මඟ හැර බෝලෙ පාස් කරලා

තමන්ට සිදුවන පීඩාවත් ඒ සම්බන්ධයෙන් පොලිිසය නිසි ක්‍රියාමාර්ග නොගැනීමත් සම්බන්ධයෙන් සරෝජනී එල්ලාවල ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පැමිණිළි කර තිබේ. ඒ අනුව එහි සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු විසින් ඇය වෙත දැනුම් දී ඇත්තේ මෙම ශබ්ද දූෂණය සම්බන්ධයෙන් පරිසර අධිකාරිය දැනුම්වත් කරන්න යැයි සහකාර පොලිස් අධිකාරී බණ්ඩාරවෙල වෙත දන්වා යැවූ බවයි.

එබැවින් මේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් පරිසර අධිකාරියට දැනුම් දී එ් පිළිබද පරීක්ෂණයක් කිරීමට ඉල්ලා සිටින ලෙස ද අනුමත ශබ්ද තත්වයට වඩා වැඩිනම් පරිසර අධිකාිරය විසින් පොලිසිය සමඟ එක්ව අධිකරණ ක්‍රියාවලියකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් සලකා බැලීම වැදගත් බවත් සභාපපති චන්ද්‍රා ප්‍රනාන්දු දන්වා ඇත.

එම ලිපියෙන් ඇයට මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල ලිපිනය හා දුරකථන අංකය ද සපයා ඇත.

පොලිස් කොමිසම කරන්නේ ප්‍රශ්නය මඟ හැරීම බව ඉන් පැහැදිලිය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, මහේස්ත්‍රාත් අධිකරණ නියෝග පවා තිබිය දී පොලිස් ආඥා පනත අනුව කෝවිලේ හිමිකරු අදාල උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් කොමිසම, බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරී සහ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය මෙම ප්‍රශ්නය මග හරිමින් නීතියට පටහැනි ලෙස කටයුතු කරන්නේ කාලි අම්මාගේ ශාපයට බියවී විය හැකිය.

පොලිසිය මෙසේ කටයතු කරන්නේ නම් මහජනතාවට මෙරට නීතිමය සහනයක් ගැනීමට හැකිවන්නේ කෙසේ ද යන්න අප ප්‍රශ්න කළ යුතුය.‍

පොලිසිය භාර අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

(සජීව විජේවීර)

සහකාර පොලිස් අධිකාරීවරයා විසින් යවා ඇති ලිපිය.
ජාතික පොලිස් කොමිෂන් සභාව එවා ඇති පිළිතුරු ලිපිය
ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇති ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!