spot_img
spot_imgspot_img

ගැහැනු ළමයින්ගෙන් විශ්වවිද්‍යාල පිරී යයි. පිරිමි අධ්‍යාපනයෙන් දුරස්වීම සමාජ ගැටලුවක් වෙයි

පුවත්

විදෙස්

සමාජයක පැවැත්මට එහි ඇති විවිධත්වය මෙන්ම සමබරතාවක ද වැදගත් වේ. ස්ත්‍රී පුරුෂ විවිධත්වය පමණක් නොව ජාතික, ආගමික ආදී සියලු විවිධත්වයන් අතිශය තීරණාත්මක වෙයි. මෙහි දී ආර්ථික හා සමාජයීය වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය තීරණාත්මක සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමතුලිත බව බිඳී ගොස් ඇති ආකාරය විිවිධ පාර්ශව පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී අපට දක්නට ලැබෙයි. මේ වනවිට මෙරට ළමා හා තරුණ පරපුර අතරින් ගැහැනු ළමයින්ට සාපේක්ෂව පිරිමි ළමයින් අධ්‍යාපනයෙන් විශේෂයෙන් ම උසස් අධ්‍යාපනයෙන් දුරස්වීම හේතුවේ සමාජ සමබරතාව බැඳී යාමේ ගැටලුවක් ඇතිව තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පසුගිය දශක තුනකට ආසන්න කාලයක දී විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් වූ සිසුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ දත්ත විශ්ලේෂණය කළ විට මේ විෂමතාව පෙනී යයි.

1987 වර්ෂයේ සිට 1997 දක්වා වූ දශකය

අප අධ්‍යයනයට ලක්කර ඇති ඉහත දශකයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දත්ත අනුව පෙනී යන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ ගැහැනු ළමයින් ප්‍රමාණය විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ පිරිමි ළමයින් ප්‍රමාණයට වඩා වැඩි බවයි. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ එනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමේ සංඛ්‍යාව බැලූ විට එය ගැහැනු ළමයින්ට වඩා පිරිමි ළමයින් ඉදිරියෙන් සිටි බව පෙනී යයි.

එම තත්වය අප‍ගේ අධ්‍යයන දශකයේ මුල් වසර තුනක කාලය තුළ වැඩි පරතරයකින් දක්නට ලැබුණ ද ඉන් පසු වසර කිහිපයේ දී මේ පරතරය කෙමෙන් කෙමෙන් අඩු වී විශ්වවිද්‍යාල අධ්‍යයනය සඳහා ප්‍රවේශවන පිරිමි ළමුන් සංඛ්‍යාවත් ගැහැනු ළමුන් සංඛ්‍යාවත් එකිනෙකට සමාන තත්වයකට පත්වන බව පෙනී යයි.

අනතුරුව 1996-1997 වර්ෂවල දී විශ්වවිද්‍යාලයට ඇතුළත්වන පිරිමි ළමුන් සංඛ්‍යාවට වඩා ගැහැනු ළමුන් සංඛ්‍යාව සුළු වශයෙන් වැඩිවන බවක්ද පෙන්නුම් කරයි.

මේ සඳහා දශකයේ මුල් වසර කිහිපය 1987, 1988 හා 1989 පැවැති භීෂණ කාලය යම් පමණකින් බලපෑමක් සිදුවූවේ ද යන්නද සළකා බැලිය යුතු කරුණනකි. ගැහැනු ළමුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩිපුර ලබාගැනීමට එය බලපෑමක් වූවා ද යන්න වෙනම අධ්‍යයනය කළ යුතු කරුණකි.

1998 – 2008 දක්වා වූ දශකය

අධ්‍යයනයට ලක් වූ 1998 සිට 2008 දක්වා ගත වූ වර්ෂ 10 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබීමේ කාන්තා ප්‍රතිශතය 62% තරම් ඉහළ අගයකට ගොස් ඇති අතර පිරිමි පාර්ශවයේ ප්‍රතිශතය 38% බවට පත්ව තිබේ. නමුත් විශ්වවිද්‍යලයට ඇතුළත්වීමේ දී පෙර දශකයේ මෙන්ම ගැහැනු ළමුන්ගේ අඩුවක් දක්නට ලැබෙන අතර පිරිමි ළමුන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ ප්‍රවණතාව වැඩි වී ඇත. නමුත් සංඛ්‍යාත්මකව මෙම දශකයේ දී ගැහැනු ළමුන් පිරිමි ළමුන්ට වඩා ඉදිරියෙන් සිටියි. ඒ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ගැහැනු ළමයින් සමස්ත ප්‍රතිශතයෙන් 54% ක් හා පිරිමි ළමයින් 46% වීමෙනි.

මීට ඉහත අධ්‍යයනයට ලක්වූ දශකයේ මැද භාගයේ සිට කාන්තාවන් උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමේ දී දැක්වූ වර්ධනීය රටාව තවදුරටත් ක්‍රමයෙන් වර්ධය වී ඇති අතර පිරිමි ළමුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ක්‍රමයෙන් අඩු අගයක් කරා ගමන් කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබේ.

මෙහි දී අප සාකච්ඡාවට ලක්කරනු ලබන පිරිමි ළමුන් අධ්‍යාපන කාර්යයෙන් විතැන්වීමේ පරතරය ඉතා වේගයෙන් වර්ධනය වීම ආරම්භ වන්නේ ද 1998 – 2008 දශකයේ දී බව පැහැදිලිව දක්නට ලැබෙයි.

2008 – 2015 දක්වා වසර 07ක කාලය

මෙම වසර 07ක කාලයේ දී ඊට ඉහත දශකයට වඩා වැඩි ප්‍රතිශතයකින් ගැහැනු ළමුන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීම තවත් වර්ධනය වී තිබේ. එම වසර 07දී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ ගැහැනු ළමුන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 65%කි. පිරිමි ළමුන්න ප්‍රතිශතය 35කි. එනම් පිරිමි ළමුන් මෙන් දෙගුණයකට ආසන්න ගැහැනු ළමුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙන බව පෙනී යයි.

එමෙන් ම පෙර දශකයට වඩා වේගයෙන් මේ පරතරය වර්ධනය වී ඇති ආකාරය ද දක්නට ලැබේ. එමෙන්ම මෙම වසර 07 අධ්‍යාපන දත්ත විශ්ලේෂණය කළ වීට මීට පෙර දශකයට සාපේක්ෂව පිරිමි ළමයින් ද්විතීක අධ්‍යාපනය සඳහා නැඹුරුවීමේ ද අඩුවක් දක්නට ඇත.

ගැහැනු ළමුන් පිරිමි ළමයින්ට සාපේක්ෂව උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ නැඹුරුතාව ද වර්ධනය වන බවත් පිරිමි ළමුන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමෙන් වැතින්වීම වේගයෙන් සිදුවන බවත් පෙනී යයි.

සමස්ත රටේ අනාගතය සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවක් පැවතීම පිළිබඳ අවධානය යොමුකළ යුතු නොවේ ද ?

පිරිමි තෘතීය අධ්‍යාපනය නොලැබුවා කියා ඇතිවන ප්‍රශ්න කවරේද යන්න කිසිවෙකු ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. නමුත් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ පුරවැසියන් බහුලව සිටින රටක සමාජයක සංවර්ධනය සඳහා එය ප්‍රධාන සාධකයක් වනු ඇත. මේ නිසා උසස් අධ්‍යානය ලැබූ පුරවැසියන් සිටින රටක සංවර්ධන කාර්යය ද වඩාත් හොඳින් සිදුවෙයි.

මෙම ලිපිය මගින් අප විමසීමට ලක්කිරීම උත්සාහ ගනු ලබන්නේ මේ අධ්‍යාපනික අසමතුලිතතාව ලාංකීය සමාජය තුළ වර්ධනය වීමෙන් අනාගතයේ ඇතිවිය හැකි සමාජ ගැටලු පිළිබඳවයි.

අධ්‍යාපනය සඳහා බලපාන ආර්ථික හා අනෙකුත් ගැටලු

පිරිමි ළමුන් උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමේ ප්‍රවණතාව වේගයෙන් අඩුවීම සඳහා උසස් අධ්‍යාපනය පිළිබඳ සමාජයේ ඇති සෘණාත්මක ආකල්ප සහ පවත්වනා ආර්ථික දුෂ්කරතාවයන් හේතු වී ඇතැයි දක්නට ලැබේ. විශේෂයෙන් ආර්ථික ගැටලු හේතුවෙන් නිර්මාණය වන ගැටලු නිරාකරණය කිරීමට රටක් වශයෙන් අප අපොහොසත් වීම මෙවැනි ප්‍රවණතාවක් ඇතිවීමට එක් හේතුවකි.

මේ වනවිට ගෝලීය ආර්ථික ක්‍රමයට හා අවශ්‍යතාවට ගැලපෙන දැනුමින් හා කුසලතාවෙන් යුතු වෘත්තිකයන් මෙරට අධ්‍යාපන ක්‍රමය තුළලින් බිහිවන්නේ ද යන්න පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය. ඇතැම් විද්වතුන් කියා සිටියේ මෙරට අධ්‍යාපනය වත්මන් ගෝලීය ප්‍රවණතාවට නොගැලපෙන බවයි. මේ තත්වය අද වනවිට රටේ තරුණ පිරිස් තුළ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ විශ්වසනීයත්වය බිඳී යාමට හේතුවක් වී ඇත. විශේෂයෙන් ම සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයන් තුළ කිසිදු උත්තේජනයකින් තොරව සිදුකරන ඉගැන්නුම් ක්‍රියාවලිය අධ්‍යාපනය දිගින් දිටගම නීරස කිරීමට හේතුවක් වී ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම තමන්ගේ වටිනා කාලය විනාශකර දැමීමක් යැයි යන මතය සමාජය තුළ කාවැදී තිබීම ද මීට අමතර හේතුවක් බවට පත්ව ඇත. මෙරට විශ්වවිද්‍යාලයකට ඇතුළු වී උපාධිය අවසන් කරගැනීමට අවම වශයෙන් වසර පහක පමණ කාලයක් ගත වෙයි. මෙම කාලය විශ්වවිද්‍යා‍ලයෙන් විශ්වවිද්‍යාලයට හා හදාරනු ලබන පාඨමාලාව අනුව වෙනස් වෙයි. නමුත් පොදුවේ මෙරට විශ්වවිද්‍යාලයක උපාධියක් ගැනීමට ගත විය යුතු කාලයට වඩා වැඩි කාලයක් ඒ සඳහා ගතවීම ද ගැටලු සහගතය.

එවැනි දීර්ඝ කාලක් ගතකරමින් අධ්‍යාපනය ලැබූ අයකුට පවා ඔවුන්ගේ ජීවිතයය සුරක්ෂිත වන ක්‍රමයක් මෙරට තිබේ ද ? ඔවුන්ට ඇත්තේ තම ජීවිතයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත හා අනාරක්ෂිත හැඟීමකි මේ නිසා බොහෝ තරුණයන් ඉතා ඉක්මණින් මුදල් සොයා ගැනීමට හැකි කාර්යයන් සඳහා පෙළඹේ.

ඔවුන් වැඩි දෙනකු හොඳම විකල්පය ලෙස සළකන්නේ විදේශ රැකියාවන් සඳහා යොමුවීමයි. මේ සඳහා දැනටමත් සමාජයේ විශාල අවකාශයක් නිර්මාණය වී තිබේ     විදේශ රැකියාවක් සඳහා යොමුවීම තම ජීවිතය ජයගැනීමට ඇති එකම මාර්ගය ලෙස සිතීමට පොළඹවනු ලැබීමත් අද සිදුවෙයි.

‍මේ නිසා ළමුන් කුඩා කාලයේ සිට මනස තුළට ඇතුළු වන්නේ හැකි ඉක්මණින් විදේශ රටක රැකියාවක් සොයා ගැනීම ජීවිතය ජය ගැනීමට ඇති හොඳම මාර්ගය බවයි. මෙවැනි තත්වයක් තුළ අධ්‍යාපනය යනු ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ නැත. මෙරට ඇති අධ්‍යාපන ක්‍රමවේදය තුළ නිර්මාණශීලී පුරවැසියකු නව නිපැයුම්කරුවකු නැතහොත් ව්‍යවසායකයකු බිහිවීම වැළකී අනුන් මත යැපෙන්නන් බිහිවීම සිදුවෙයි.

පරිගණක වහල්භාවය

වර්තමාන පරම්පරාව ජංගම දුරකථන සහ පරිගණක වැනි තාක්ෂනික උපාංග වුව ද අවශ්‍යතාවලට සරිලන ආකාරයෙන් යොදා ගන්නා බවක් පෙනෙන්නට නැත. කිසිම දෙයක් අනවශ්‍ය පරිදි ජීවිතයට යොදා නොගතයුතුය. විශේෂයෙන් ම සමාජයේ බහුල වශයෙන් ව්‍යාප්තවී ඇති පරිගණක තරුණයන්ගේ වටිනා කාලය මෙන් ම දරුවන් අධ්‍යාපනයෙන් දුරස්කරලීම සඳහා බෙහෙවින් හේතු වී ඇත. මේවා දෛනික ජීවිතයේ විවිධ අර්බුද නිර්මාන්‍ය කරන අතර ම දරුවන් ශරීරය වෙහෙසවන ක්‍රීඩාවලට යොමු නොවීම හේතුවෙන් රෝගී තත්වයන් ඇතිවීමත් සෞඛ්‍ය සම්පන්න ආනගතයක් සඳහා ඇති බලාප‍ොරොත්තුවට ද අද වනවිට විශාල තර්ජනයක් වී තිබේ.

සම්ප‍්‍රදායික පවුල් ආකෘතියේ වෙනස්වීම

රූපවාහිනී නාලිකා මගින් විකාශය කරනු ලබන විදේශීය මෙගා නාට්‍ය මගින් අද ලාංකීය සංස්කෘතියට පරිබාහිර වූ සංස්කෘතීන් රෝපණය වෙමින් තිබේ. ලාංකීය කාන්තාවන් ඊට බෙහෙවින් ග්‍රහණ්‍ය වී තිබේ. මේ හේතුවෙන් පවුල තුළ විශේෂයේන මව සහ දරුවන් අතර විශාල පරතරයක් ඇතිකර තිබෙන ආකාරය ද දැකිය හැකිය. සාමාන්‍යයෙන් පියා නිවසින් බැහැරව කිසියම් වෘත්තීය කාර්යයක නිරතව සිටින විට ගෙදර දොර වැඩකටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කාර්යයන් කරන්නේද මවයි. නමුත් මේ වනවිට මව්වරුන්ට ඒසඳා වේලාවක් නැති තත්වයක් උදා වී තිබේ. මේ හේතුව නිසා බොහෝ දරුවන්ගේ අධ්‍යාපන ජිවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය පවා අසාර්ථකත්වය පත්වන අවස්ථා අපට අසන්නට දකින්නට ඇත.

ත‍්‍රි රෝද රථයේ බලපෑම

1990 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ වසර 26 ක කාලය තුල මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙරට ලියාපදිංචි කළ ත‍්‍රි රෝද රථ සංඛ්‍යා පිළිබඳ දත්ත පහත දක්වා ඇත.

මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇති වසර 27ක කාලයේ දී එක් එක් වසරවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුදකම් ලැබුව ද විශ්වවිද්‍යාලයට නොගිය පිරිමි ළමුන්ගේ සංඛ්‍යාව සහ එම වසරේ දී මෙරට ලියාපදිංචි කරන ලද ත්‍රී රෝද රථත සංඛ්‍යාව සන්සන්දනය කරමින් සකස් කළ ප්‍රස්ථාර රූප සහනක් දක්වා ඇත. ඒ අනුනව 1989 – 90 කාලයේ දී විශ්වවිද්‍යාලයට නොයන සිසුන්ගේ වර්ධනය සමඟ ත්‍රී රෝද රථ ලියාපදිංචි වීමේ ද වර්ධනයක් දක්නට ලැබේ.

එමෙන් ම 2000 වර්ෂයේන පසු ත්‍රීරෝද රථ ලියාපදිංචිය ඉතා සීඝ්‍රයෙන් වර්ධනයක් අත්කරගනෙ ඇති අයුරුද දක්නට ලැබෙයි. එමගින් අපට උපකල්පනය කළ හැකි කරුණක් වන්නේ 2000 වර්ෂයේන සු උසස් පෙළ විභාග සුදුසුකමත් සම්පූර්ණ නොකළ තරුණයන් විශාල පිරිසක් ත්‍රී රෝද රථ රියදුරන් ලෙස ජීවන වෘත්තිය සිදුකරන බවයි.

රටේ සංවර්ධනය වැඩි දායකත්වයක් සහ මැදිහත්වීමක් ලැබිය යුත්තේ එම රටේ තරුණ පරපුරෙනි. නමුත් අද වනවිට සමාජයේ ව්‍යාප්තව ඇති මෙම ත්‍රීරෝද රථ සංස්කෘතිය ද තරුණයන් බොහෝ විට අධ්‍යාපන ක්‍රියාවලියෙන් බැහර කරලීම සඳහා බලපා ඇති කරුණක් බවට පත්ව ඇත. ශාරීරික වශයෙන් වෙහෙසකර නොවන අයුරින් සහ මනස වෙසෙවීමකින් තොරව ඉතා පහසුවෙන් මුද් ඉපයීමේ හැකියාව ඇති වෘත්තියක් ලෙස තරුණන පරපුර ත්‍රී රෝද රථ ධාවනය තෝරාගෙන තිබේ.

මෙම වෘත්තිය මගින් රටේ නිෂ්පාදන කාර්යය සඳහා දායක කරගත හැකි තරුණයන් විශාල පිරිසකගේ ශ්‍රම දායකත්වය අපතේ යන බව පැහැදිලිය. මෙයට අමතරව නිසි අධ්‍යාපනයක් නොලබන බොහෝ දෙනකු මෙම රැකියා සඳහා යොමුවීම තුළ අද වනවිට මාජ විරෝධී ක්‍රියාවන් සහා මෙම ක්ෂේත්‍රය විවෘත වී ඇති ආකාරයක් දක්නට ලැබේ. මෙවැනි තත්වයන් ඇතිවීම සඳහා මේ නව ත්‍රීවීල් සංස්කෘථිය හේතු වී ඇති බවත් එය අද වනවිට සමාජ පිළිලයක් බවට පත්ව ඇති බවත් විවිධ සමාජ නිරීක්ෂකයන් විසින් වාර්තා කර ඇත.

නිසි අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙන් ඇතිවන ගැටලු

පුද්ගල හා සමාජයීය වශයෙන් මෙම කරුණ කොටස් දෙකකින් විමසීමට ලක්කළ හැකිය. අධ්‍යාන ක්‍රියාවලිය තුළ ඉහත සඳහන් කළ ධනාත්ක හැකියාවන් වර්ධය වීම අවම අයුරින් සිදුවීම පොදු තත්වයකි. මෙය සමාජයමය අයුරින් බලපෑම සඳහා ඔහුගේ ආකල්ප බෙහෙවින් ඉවහල් වේ.

පුද්ගලයකුගේ ආකල්ප වර්ධනයට අධ්‍යාපනය ඉවහල් වෙයි. එහි දී ඔහු සමාජයේ කුඩාම ඒකකය වන පවුලේ සිට ක්‍රම ක්‍රමයෙන් විශාලවන සස්ත සමාජය සමඟ කටයුතු කරන්නේ එම ආකල්ප පෙරදැරි කරගනිමිනි. අධ්‍යාපනයක් නොමැති විට විමර්ශනශීලීව කටයුතු කිරීමේ හැකියාව ගිලිහී යයි. නොඉවසිලිවන්ත බව ඇතිවන අතරම අන්මත ඉවසන්නේ ද නැත. අධික මමත්වය ආදී සමාජානුයෝාජන ක්‍රියාවලියේ දී වැදගත් සාරාර්ථ රැසක් අහිමි වෙයි.

කාන්තාවන් උසස් අධ්‍යාපනයට වඩාත් හොඳින් පෙළඹීම සහ පිරිමි එම කාර්යයෙන් විතැන්වීම තුළ මේ දෙදෙනා අතර ඇතිවන අසමතුලිත බව පවුල් සංස්ථාවක් පවත්වාගෙන යාමේ දී ගැටුම් ඇතිකරලීම සඳහා හේතුවනු ඇත. විශේෂයෙන් අඩු අධ්‍යාපන තත්වයක් හේතුවෙන් පිපරිමි තුළ අාත්මාභිමානයේ ඇතිවන හීනවීම ගැටලුකාරී අවස්ථාවන් සඳහා මුහුණදීමේ දී දක්වන නොපැසුණු බව දරුව්නගේ අධ්‍යාපන කාර්යයන් වල දී ඇතැම්විට ඔවුන්ට ඉගැන්වීමට තරම් දැනුමක් නොමැතිවීම ආදී අවස්ථාවන් හේතුවෙන් පිරිමියාගේ අභිමානයට හානි සිදුවීම තුළ ගැටලු විවිධාකාරයෙන් ඇති වී අර්බුද කරා ගෙන යන අයුරු දක්නට ලැබේ.

එබැවින් මෙවැනි පුද්ගලයන් තුරළින් සමාජයට සිදුවන්නේ සෘණාත්මක බලපෑමකි. මෙවැනි පුද්ගලයන් නිසා සමාජජ සංස්ථාව පවත්වාගැනීමේම දුෂ්කරතා ද ඇතිවන අයුරු අපට දක්නට ලැබේ. මේ නිසා පවුල, ගම, රට වශයේන පඹනක් නොව ලෝකයක් ලෙස දවිශාල අර්බුදකාරී තත්වයක් උදාවේ.

අද වන විට සමාජය තුළ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති විවිධාකාර විෂමාචාර ක්‍රියාවන් සඳහා අඩු අධ්‍යාපනය ලැබීම වක්‍රාකාරයෙන් බලපෑම් එල්ලකර ඇති බව දක්නට ලැබෙන්නකි. මේ හෙයින් මෙම ගැටලුව හෙට දිනයේ දී තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී මේ සඳහා සාර්ථක විසඳුම් සවෙීම අද වනවිට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

එරන්ද අමල් ගොඩගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!