spot_img
spot_imgspot_img

ආණ්ඩුව යට ඇඳුමත් ගලවා ගත්තා ද ? ඇත්ත දැනගන්න.

පුවත්

විදෙස්

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමීමෙන් යට ඇඳුම් පවා ‍නොමැති තත්වයක් උදාවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් යමින් තිබේ. මේ දිනවල රටේ සියළු ප්‍රශ්න අමතක කර සැවොම යට ඇඳුමේ එල්ලී සිටිති.
නමුත් මෙය කරුණු නොදන මුලාවේ වැටීමකි.
සැබැවින්ම රජය අත්‍යාවශ්‍ය නොවන කිසිදු භාණ්ඩයක් ගෙන්වීම තහනම් කර නැත. නැතිනම් සීමා කර ද නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකර ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේ දී ආනයනයට වැයවන මුදල හා සමාන මුදලක් (100%) තැන්පතුවක් ලෙස තැබිය යුතු බවට තීරණය කිරීමයි.
ඒ අනුව ආනයනික වර්ගීකරණ 11ක් යටතේ මෙරට අත්‍යාවශ්‍ය හා හදිසි නොවන භාණ්ඩ 623ක් සඳහා එම තැන්පතුව තැබීමට ආනයන කරුවන්ට සිදුවෙයි. මෙය බැංකුවලට දුන් නියෝගයක් මිස ආනයන කරුවන්ට එම භාණඩ වර්ග 623 ආනයනය කිරීම වළක්වමින් දුන් නියෝගයක් ද නොවේ.
මේ වනවිට රටෙහි ඩොලර් හිගයක් පැවතීමත් ඩොලරය රුපියල් 200.00 ඉක්මවා ගොස් තිබීමත් ඔබ අප සැවොම දන්නා කරුණකි. බැංකුවලවිනිමය අනුපාතිකය අනුව කටයුතු නොකර බාහිර වෙළෙන්දන් අතින් ඩොලරයට රුපියල් 250.00 ක පමණ මුදලක් ලබාගැනීමට හැකියාව තිබේ. බැංකුකරුවන් පවසන්නේ මේ වනවිට ඩොලරය රුපියල් 200.00 මදක් වැඩි අගයක තබාගෙන සිටින්නේ රජය දැඩි පාලනයකින් කටයුතු කරමින් බවයි.
විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳ පොළේ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා මෙලෙස තැන්පතුවක් තැබීමට නියෝග කර තිබේ.
එමගින් සිදුවන්නේ මුදල් අත නැතිව හෝ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට ආනයන කරුවන්ට අවස්ථාවව නොලැබී යාමයි. භාණ්ඩ ආනයනය සඳහා 100%ක තැන්පතුවක් තැබීමට සිදුවන බැවින් මුදල් තැන්පත්කිරීමේ හැකියාව ඇති ආනයන කරුවන්ට පමණක් භාණ්ඩ ආනයනයට හැකියාව ලැබෙන අතර මෙය ආනයනය තහනක් නොවේ.
මෙම තැන්පතුව ආන්තික මුදල් තැන්පතුවක් (Cash margin deposit) ලෙස හඳුන්වයි.
විශාල වශයෙන් සිදුකෙරෙන ආනයන අධෛර්යමත් කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ වෙළෙඳ පොළ ද්‍රවශීලීතාව රැකගැනීම එම තැන්පතුව තැබීමට නියෝග කිරීමේ අරමුණයි.
එ අනුව බලපත්‍රලාභී වාණිජ බැංක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි (එල්.සී.) සහ ප්‍රතිග්‍රහණය මත ලියිවිලි (ඩී.ඒ) ලබාදීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය මෙය ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් මීට ඉහත දී මෙලසෙ ආන්තික මුදල් තැන්පතු කිරීම 110% දක්වා වැඩි කර තිබූ අවස්ථා ද මෙරට බැංකු ක්ෂේත්‍රයේ ඉතිහාසයේ වාර්තා වී තිබිණි. නමුත් එලෙස 110% බද්දක් පනවා තිබූ කාලයේ දී මේ තරම් සමාජ මාධ්‍ය ඔස්සේ යට ඇඳුම් හෝ වෙනත් භාණ්ඩ ගැන හෝ කිසිවකු කතා කළේ නැත.
එලෙස ආනයනය කරන භාණ්ඩවලට අදාල මුදල් තැන්පත් කිරීමට මහ බැංකුව මගින් නියෝග කළ ද වාණිජ බැංකු වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කරමින් තම ගනුදෙනු කරුවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම මීට ඉහත දී ද සිදුව ඇත.
යම් පුද්ගලයකුට යම් ද්‍රව්‍ය තොගයක් ආනයනය කිරීමේ දී එහි වටිනාකම හා සමාන මුදල් තැන්පතුවක් සිදුකිරීමට අවශ්‍ය අවස්ථාවල දී එවැනි මුදලක් ගනුදෙනුකරු සතුව නොමැතිනම් බැංකුව සිදුකරන්නේ එවැනි පුද්ගලයකු සතුව ඇති දේපල ඇපයට තබා ණයවර ලිපි හෝ ප්‍රතිග්‍රහණ මත ලිපි නිකුත් කිරීමයි.
නැතිනම් ගනු දෙනුකරුට බැංකුවෙන් ම ණයක් ලබා දී එම මුදල යළි ඇපයක් ලෙස රඳවාගෙන අදාල කාර්යය කර දීම ද සිදුවෙයි.
මහ බැංකුවේ මෙම තීරණය අනුව එවැනි දේපලක් ඇපයට තබා කටයුතු කිරීම කළ නොහැකි වුව ද බැංකුවට එවැනි දේපළක් ඇපයට ගෙන ණයක් ගනු දෙනුකරුට ලබා දී අවශ්‍යතාව ඉටුකරදීමට හැකියාව ඇත. එමනේම පෙර පරිදිම ණය මුදලක් ලබා දී එය රඳවාගෙන ණයවර ලිපි නිකුත්කිරීම හෝ ප්‍රතිග්‍රහණ මත ලිපි නිකුත් කිරීමට හැකිියාව ඇත.
කෙසේ වුවත් මෙලෙස 100%ක ආන්තික මුදල් තැන්පතුවක් අත්‍යාවශ්‍ය බවට පනවා ඇති කොන්දේසිය අනුව අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය යම් තරමකින් සීමා වනු ඇත. නමුත් ඒවා නැත්තටම නැතිවන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!