spot_img
spot_imgspot_img

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වුණේ ඇයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන කටයුතු සිදුවන්නේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව බව පවසමින් කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔහු ඉවත්වීමට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විදයා අධ්‍යයන අශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් ඉල්ලා අස්වූවාය.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය සම්බන්ධ තීන්දු තීරණ ගැනීම් පිළිබඳ ආරම්භයේ සිටම විටින් විට විවිධ විරෝධතා එල්ල වූ අතර පසුගිය දා කොරෝනා මර්ධන විෂය භාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ “ ලොක්ඩවුන් ගැන මගේ මතයට ඉඩක් නෑ. ඒ නිසා හැකිතරම් ආරක්ෂ වන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙනි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ සිටින වයිරසවේදය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් විද්වතකු මෙන්ම දේශපාලනඥයකු වූ තිස්ස විතාරණ කොරෝනා මර්ධන කාර්යයේ දී කිසිදු ආකාරයකින් දායක කර නොගත් බවට රජයට චෝදනා එල්ල වී තිබිණි.

කොරෝනා පළමු රැල්ල අවස්ථාව වනවිට මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ වනවිට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ඔහු දැන් කොරෝනා සම්බන්ධයෙන් තීරණ ගන්නා කමිටු නියෝජනය කරන්නේ නැත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා මර්ධනය පිළිබඳ තීන්දු තීරණ ගන්නා ප්‍රධාන කමිටුවලට කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව කටයුතු කරන වෛද්‍යවරු නොමැතිවීම විශාල ගැටලුවක් බවයි.

කෙසේ වෙතත් රට වසා දැමීමේ තීරණ ගැනීම් සහ එන්නත්කරණ ක්‍රියාවලිය පවා තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නොකළ බවත් දේශපාලන හෝ වෙනත් අවශ්‍යතා මත තීරණ වෙනස්වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. ‍සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙවැනි වැරදි තීරණ හේතුවෙන් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වග කීමට තමන්ට නොහැකි බව සඳහන් කරමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම ඉල්ලා අස්වී ඇති බවකි.

ඔහු මෙවැනි විරෝධයක් දැක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර නුවරඑළිය “වසන්ත උදානය” පැවැත්වූ අය කොරෝනා පැතිරීමට වගකිව යුතු බව ද හෙතෙම සෘජුව කියා සිටියේය.

කොරෝනා මර්ධනය සඳහා බාදෙන ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-30ත් අතර පුද්ගලයන්ට ලබාදීම සම්බන්ධයෙන් වෛද්‍ය විජේවික්‍රම තුළ තිබූ අප්‍රසාදය මෙම ඉල්ලා අස්වීමට ආසන්තම හේතුව වන්නට ඇතැයි සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පවසති. තාක්ෂණික කමිටුවේ නිර්දේශය වූයේ වයස අවරුදු 18-30ත් අතර තරුණ තරුණියන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම වඩාත් සුදුසු බවයි. අවදානම් කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නත ඉතිරිකර ගත යුතු බව ඔවුන්ගේ නිර්දේශය විය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ කමිටු සාමාජිකයකු ලෙස ද ඔහු කටයුතු කළේය. චීනයේ නිෂ්පාදනය කර ඇති තවමත් මෙරට භාවිතා නොකරන එන්නත් අනුමත කරගැනීම සඳහා කිසියම් පාර්ශවයක් විසින් කරන ද බලපෑමක් ද මේ ඉවත්වීමට හේතුවක් බව සෞඛ්‍ය අශවල කතාබහක් ඇතිවී තිබේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ඉල්ලා අස්වීම රට පුරා මහත් කතාබහට ලක්ව ඇතත් ඔහු ඒ පිළිබඳ මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැත. නමුත් පසුගිය ඉරිදා සහ ඊයේ (සඳුදා) දිනයේ සිට දිගින් දිගටම ඔහු ඉල්ලා අස්වූ බවට සිදුවන ප්‍රචාරයන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෙනත් බලධාරියකු විසින් හෝ ප්‍රතික්ෂේප කර නැත.

මෙම කරුණ තහවුරු කරගත හැකි ප්‍රධානතම පුද්ගලයා වන්නේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද විජේවික්‍රම බැවින් අපි ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද අද (07) උදෑසන දක්වාම ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

මෙම පුව‍ත හේතුවෙන් කිසියම් පාර්ශවයකට යම් අගතියක් සිදුවන්නේ නම් හෝ මෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් යම් පැහැදිළි කිරීමක් සිදුකිරීමට තිබෙන්නේ නම් හෝ එම කරුණු ද මීට සමාන ඉඩක් වෙන්කරමින් පළකිරීමට අප කටයුතු කරන බව ද දන්වා සිටිමු.

1 COMMENT

  1. වෛද්‍ය වරයෙක් වශයෙන් මෙය පුද්ගලයා රෝගියෙක්ට අතවත් තබා පරීක්ෂාකර කෙනෙක් නෙමෙයි ජනාධිපතිතුමා පසුපස කඩේ ගොස් ඉන්පසු මේ අමාරු මොහොතේදී එයින් ඉවත් වීම චන්දි කමක් නොවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!