spot_img
spot_imgspot_img

විද්‍යාවටත් පිළිතුරු නැති ප්‍රශ්න

පුවත්

විදෙස්

 විද්‍යාව කොතරම් දියුණු වී ඇතත් මෙතෙක් විද්‍යාවෙන් විසඳාගත නොහැකි වූ ගැටලු කිහිපයක් ඉතිරිව තිබේ.

මෙතෙක් නිශ්චිතව විසඳුම් සෙවිය නොහැකි වූ ප්‍රධාන ගැටලු 10ක් හා ඒවා විසඳීම සඳහා මානවයා කොතෙක් දුරට විසඳුම් සෙවීම සඳහා සමීප වී සිටින්නේ ද යන්න පිළිබඳ විග්‍රහ කරමින් නිව් සයන්ටිස්ට් සඟරාව විශේෂ ලිපියක් පළකර තිබිණි.

එහි දී ඔවුන් විසින් විශ්ලේෂණය කරන ලද විසඳාගත නොහැකි වූ කරුණු 10 මෙසේය.

01. මිහිමත ජීවය ආරම්භවූයේ කෙසේ ද ?

පෘථිවිය බිහිවී කාලයක් ගතවනවිට පෘථිවි පෘෂ්ඨයෙන් හා වායුගෝලයෙන් ලැබුණු විවිධ කාබනික ද්‍රව්‍ය ජීවයක් නොමැති සාගරයේ එකතු වී ඇමයිනෝ අම්ල වැනි ජීවයේ මූලික තැනුම් ඒකක අණු නිර්මාණය වූ බවත් ජීවයේ සම්භවය පිළිබඳ දැනට ඇති පිළිගත් මතයකි. මෙලෙස ජීවයට පදනම දැමූ තැනුම් ඒකකය ආදි සූපය (Primordial soup) ලෙස හැඳින්වේ.

නමුත් එම ආදි සූපයේ තිබූ කාබනික අණුවලින් ඩී.එන්.ඒ. සහ ප්‍රෝටීනවලින් සමන්විත අද පවතින සංකීර්ණ ජීවී ආකාර හටගත්තේ කෙසේද යන්න බරපතල ගැටලුවකි.

ප්‍රෝටීන සෑදීමට නම් DNA අණු පැවතිය යුතු අතර (ඇමයිනෝ අම්ල එකතු වී ප්‍රෝටීන සෑදීමට අවශ්‍ය පණිවුඩ රැගෙන යන්නේ DNA දාම හරහාය)

අනෙක් අතට DNA ‍ගොඩනැගීම සඳහා ප්‍රෝටීනමය එන්සයිම අවශ්‍ය වේ. මේ දෙකෙන් එකක් අනෙකට පෙර පැවතීම පැැදිලි කළ හැක්කේ කෙසේ ද ? මෙය හරියට ම පළමුව හට ගන්නේ කිකිළිය ද බිත්තරය ද වැනි ප්‍රශ්නයකි.

මේ ගැටලුව පැහැදිලි කිරීමට ඉදිරිපත් ව ඇති එක් ප කියැවෙන්නේ මුල් ම ජීවී ජාන සංයුතිය නිර්මාණය වන්නට ඇත්තේ RNAවලින් විය හැකි බවයි.

එම මතය ගෙනහැර දක්වන විද්‍යාඥයන් පවසන්නේ ප්‍රෝටීනවල සහභාගීත්වයකින් තොරව RNA මගින් ඇතැම් ප්‍රතික්‍රියා සිදුවිය හැකි බවයි. එය නිවැරදි නම් DNA අණු හටගැනීමට පෙර RNA අණු හටගන්නට ඇතැයි සිතිය හැකිය.

ජීවයේ සම්භවය පිළිබඳ දැනට පිළි‍ගන්නා මේ මතය හමුවේ පැන නගින තවත් ගැටලුවක් වන්න් ජිවය තැනී ඇති රසායනික අණු ප්‍රතික්‍රිය කර ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල වැනි සංකීර්ණ කාබනික සංයෝග ඇතිවීම සහ ඒවා ප්‍රමාණව් අයුරින් නිර්මාණය වූයේ කෙසේද යන්නයි.

පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ මැටි අංශු වැනි රසායනික ඇනෙසුලු මතුපිටක් ඇති ඛනිජ මත හෝ වායුගෝලයට මුසු වූ කුඩා සාගර ජල බිඳිති තුළ හෝ පාෂාණ තුළ වූ පැලුම් පළමු ජීවීන් නිර්මාණය වූ ස්ථාන විය හැකි බවයි.

ජීවයේ ආරම්භය පිළිබඳ නූතන විද්‍යාඥයන්ට කොතෙක් මතවාද ගොඩනැගිය හැකි වුව ද ජීවයේ සම්භවය සිදුවූ ආකාරය පිළිබඳ ඇති අභිරහස් අවසන් වන්නේ නැත. ජීවයේ සම්භවය කවර දා සිදුවූයේ ද යන්න තවමත් විසඳාගත නොහැකි බරපතල ගැටලුවකි.

ඇතැම් පර්යේෂකයන් අනුමාන කරන්නේ මීට වසර බිලියන 3.8කට පෙර පළමු ජීවී ආකාරය බිහිවී ඇති බවයි. ඔවුන් මේ සඳහා සාධක ලෙස ඉදිරිපත් කරන්නේ පාෂාණමත ඇති රසායනික සළකුණු කිහිපයකි. තවත් පිරිසක් විශ්වාස කරන්නේ වසර බිලියන 2.7කට පෙර ජීවය පහළ වී ඇති බවයි.

මේ සියලු මතයන් බැහැරකරන තවත් කණ්ඩායමක් පවසන්නේ ජීවය පෘථිවිය මත සභවය නොවූවක් බවයි. ජීවය ඈත අභ්‍යාවකාශයෙන් පැමිණි වල්ගාතරු හෝ ග්‍රහක හරහා පෘථිවියට පැමිණ මෙහි සම්භවය වන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.

ජීවය පෘථිවියේ ම හටගත්තේ වුව ද අභ්‍යාවකාශයේ සිට පැමිණියේ වුව ද සරල රසායනිකවල සිට අති සංකීර්ණ මහා ජීවියකු දක්වා ජීවයේ සම්භවය වූ ආකාරයනම් තවමත් විසඳාගත නොහැකි කරුණකි.

https://biologos.org/common-questions/how-did-life-begin/

02. පෘථිවියේ සිටින ජීවී විශේෂ සංඛ්‍යාව කොපමණ ද ?

‍ලෝකයේ ජීවීන් අතරින් මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත්තේ ජීවී විශේෂ මිලියන 1.7ක පමණ ප්‍රමාණයකි.

අප කොතරම් දියුණු වුව ද මිනිස් වර්ගයා විසින් මෙතෙක් හඳුනාගෙන නොමැති තවත් ජීවීන් අති විශාල ප්‍රමාණක් මිහිතලයේ ජීවත්වන බවට විවාදයක් නැත. නමුත් ගැටලුව වන්නේ මේ ජීවීන් ප්‍රමාණය හෙවත් ජෛව ස්කන්ධය කොතෙක් ද යන්න මෙතෙක් නොදැන සිටීමයි.

බොහෝ විද්‍යාඥයන්ගේ අනුමානය වන්නේ මේ ප්‍රමාණය මිලියන 5-100 දක්වා වෙනස් විය හැකි බවයි. එය දැනට හදුනාගෙන ඇති ජීවීන් මිලියන 1.7 සැළකූ විට අති විශාල ප්‍රමාණයකි.

කළකට ඉහත ටෙරි අර්වින් නම් කෘමි විද්‍යාඥයකු වැසි වනාන්තරයක තෝරාගත් ශාක කිහිපක සිටින කෘමීන් විශේෂ සංඛ්‍යාව අධ්‍යයනය කර පවසා සිටියේ කෘමීන් විශේෂ පමණක් මිලියන 30ක් පමණ ඇති බවයි. නමුත් පසුව නිව්ගිනියාවේ පර්යේෂකයෝ පිරිසක් ඔහුගේ අධ්‍යයනයට ලක්වූ විශේෂ වෙනත් පරිසර පද්ධතීන්වල ද වාසය කරන බව තහවුරු කර ඔහුගේග මතය බිඳ දැමූහ. ඔවුන්ගේ මතය වී ඇත්තේ පෘථිවියේ කෘමීන් විශේෂ මිලියන 05ක් පමණ සිටින බවයි.

මේ වනවිට විද්‍යාත්මකව තහවුරු කර ඇති ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාව 1,000ක් පමණ වුව ද නිව්කාසල් විශ්වවිද්‍යාලයේ තෝමස් කර්ටිස් නම් වද්‍යාඥයා වරක් ගණනය කර පැවසුවේ පස් ග්‍රෑමයක බැක්ටීරියා විශේෂ 64,000ත් 38,000ත් අතර ප්‍රමාණයක් සිටින බවයි. මේ අනුව මුළු පෘතිවිය ම සැළකුවහොත් බැක්ටීරියා විශේෂ කොතරම් සිටිනු ඇත්ද යන්න සිතාගැනීමටවත් අපහසු කරුණකි.

https://www.sciencedaily.com/releases/2011/08/110823180459.htm

03. අප තවමත් පරිනාමය වෙමින් සිටිනවා ද ?

ජාන තාක්ෂණය යොදා ගනිමින් වර්තමානයේ පරිසරයේ විවිධ ශාක හා සත්ත්ව විශේෂවල ජානමය වෙනස්කම් සිදුකරන අතර මේ වනවිට මිනිස් වර්ගයාගේ ද ජානමය වෙනස්කම් සිදුකිරීමට තරම් එම තාක්ෂණය දියුණුකරගෙන ඇත.

නමුත් අප කොතරම් දියුණු යැයි සිතා සිටිය ද අප තවමත් පරිනාමය වෙමින් සිටීමයි. ජාන විකෘති හටගැනීම මගින් මානව ගෙනෝම වෙනස් වීම පරිනාමයේ මෙතුවක් කාලයක් සිදුවූ ආකාරයට ම එය තවමත් සිදුවෙමින් පවතී.

තිබෙන පරිසර තත්වයට වඩාත් උචිතම පුද්ගලයා ‍නොනැසී ජීවත් වෙමින් ප්‍රජනනය සිදුකර තම ප්‍රබල ජාන හිමි පරම්පරාවක් බිහි කරන්නේය යන මතය තවදුරටත් හෝමෝ සේපියන්ස් හෙවත් නූතන මානවයා සම්බන්ධයෙන් වලංගු වන්නේ ද ?

නමුත් නූතන තාක්ෂණය තුළින් මේ ස්වභාවික වරණය හෙවත් පරිසරයට වඩාත් උචිත පුද්ගලයා තම වර්ගයා බෝ කරමින් ශක්තිමත් ජාන සහිත පරපුරක් ඉදිරියට ගෙන යාමට අභියෝග කර තිබේ.

අතීතයේ ඉක්මණින් මියයාමට හේතු වූ රෝගාබාධ තිබූ පුද්ගලයෝ අද වෛද්‍ය විද්‍යාවේ අනුහසින් තම වර්ගයා බෝකරමින් තවදුරටත් ජීවත්වෙති. කොරෝනා වැනි වසංගතයක් පැමිණි විට ඒ වසංගතයට ගොදුරු වී මියයන පිරිසෙන් පසු ඊට ප්‍රතිරෝධය දක්වන පුද්ගලයන් ඉතිරිවී එම ජාන අනාගතය සඳහා ගෙන යාම දැන් වෙනස් වී ඇත. ශ්වසන ආධාරක, දැඩි සත්කාර පමණක් නොව කෘතිමව නිපද වූ එන්නත් භාවිතා කර දුබලයෝ ද අනාගතය සඳහා ඉතිරි වෙති.

එදා ඩාවින් පැවසූ ආකාරයට තවදුරටත් දරුවන් බිහිකරමින් වඩාත් ශක්තිමත් ආකර්ෂණීය පුද්ගලයා ම යන මතය අභියෝගයට ලක්වි ඇත.

එමෙන්ම කෘතිම සිංචනයෙන් දරුවන් බිහිකිරීම, උපත් පාලනය වැනි ක්‍රියාවන් හේතුනේ තවදුරටත් ස්වභාවික වර්ගයා බෝවීමට සීමා පැනවී තිබේ. වඩාත් ප්‍රබලයා උපත් පාලනය කර තම ජාන ඉදිරි පරපුර සඳහා රැගෙන යාමෙන් වැළකිනවා විය හැකිය.

මානවයාගේ තාක්ෂණය විසින් තවත් බොහෝ පරිනාමීය කරුණු වෙනස් කර තිබේ. මිනිසා උපකරණ නිපදවයි. මානවයා වයසට යනවිට ඇස්වල ඇතිවන දුර්වලතා මඟ හැරීමට මේ වනවිට කණ්ණාඩි පැළඳීම කාච බද්ධ කිරීම බහුලව සිදුවෙයි. ඒ නිසා දැන් පරිනාමයේ දී නි‍රෝගී ඇස් සහිත ජානය සුවිශේෂී වන්නේ නැත.

මිනිසා පරිසරය මුළුමනින්ම වෙනස් කර තිබේ. ස්වභාවික ආහාර පමණක් අනුභව නොකරන මිනිස් වර්ගයා තම සමස්ත ක්‍රියාවලියම වෙනස්කර ඇති අතර පරිසර දූෂණය වැඩිකර ගෝලීය උණුසුම ද ඉහළ දමා ඇත. මේ තත්වයට කිසිසේත්ම වගකීමක් දැරීමේ අවශ්‍යතාවක් නැති සමස්ත හා සත්ව ප්‍රජාවම එම වෙනස්කම්වලට හුරුවිය යුතුය.

වෙනත් ආකාරයකින් කියන්නේ නම් මිනිසා සමස්ත ලෝක පරිසරය ම වෙනස් කර සියලු ජීවින්ගේ පරිනාමය ද වෙනස් කර තිබේ.

https://www.sciencemag.org/news/2016/05/humans-are-still-evolving-and-we-can-watch-it-happen

04. නින්ද අවශ්‍ය ඇයි ?

සාමාන්‍ය පුද්ගලයකු තම ජීවිත කාලයෙන් තුනෙන් එකක් නිදා ගන්නා බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ඒ අනුව නින්ද අත්‍යාවශ්‍ය සාධකයකි. සෑම සතෙකුට ම මේ නින්ද අවශ්‍ය කර තිබේ.

විද්‍යාඥයන් වසන්නේ වගාකරනු ලබන සෛලයක් පවා අකර්මන්‍ය නිද්‍රාශීලී මෙහොතාක් ගත කරන බව තහවුරු වී තිබේ.

මේ නින්ද අවශ්‍ය වන්නේ මොළයටය. සතුන් නිදා ගත්ත ද ශාක නිදාගන්නේ නැත. එමෙන්ම පේශි, අක්මාව වැනි අවයව පවා නිද්‍රා අවධියකට පත් නොවන බව පහැදැළිය.

විද්‍යාඥයන්ගේ මතය වන්න් නින්ද යනු කොටස් දෙකකින් සමන්විත ක්‍රියාවලියක් බවයි. ගැඹුරු නින්ද ශීඝ්‍ර අක්ෂි චලන අවධිය යනුවෙන් එම කොටස් දෙක හැඳින්වේ.

සිරුරතුළ සිදුවන පරිවෘතීය ක්‍රියාවලියේ දී විෂ සහිත අතුරුඵල වන මුක්ත ඛණ්ඩක මගින් මොළයේ සෛලවලට සිදුවන හානිය පිළිසකර කරන්නේ මේ නිදාගන්නා කාලයේ දී බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වෙත් අවයව වලට හානිවූ සෛල නැවත ප්‍රතෘති කළ හැකි වුව ද මොළයට එවැනි හැකියාවක් නොමැති බැවින් නින්ද අවශ්‍ය වේ.

මෙම මතය දරන විද්‍යාඥයන් පවසන්නේ පරිවෘත්තීය වේගය වැඩි නැතිනම් මුක්ත ඛණ්ඩක මගින් මොළයට වැඩි හානියක් සිදුවිය හැකි සතුන්ට අනෙක් සතුන්ට සාපේක්ෂව වැඩි කාලයක් නිදා ගැනීමට අවශ්‍ය බවයි.

එමෙන්ම නිදා ගැනීමට ඉඩ නොදුන් මීයන්ගේ මොළයේ ස්නායු සෛල මුක්ත ඛණ්ඩක මගින් වැඩිපුර හානියකට ලක්කර ඇති බව පෙනී යයි. නමුත් සීඝ්‍ර අක්ෂි චලන සහිත නින්ද අවශ්‍ය වන්න් කුමක් සඳහා ද යන්න මේ දක්වා පැහැදිලි නැත.

https://www.sleepfoundation.org/how-sleep-works/why-do-we-need-sleep#:~:text=Sleep%20is%20an%20essential%20function,the%20brain%20cannot%20function%20properly.

05. බුද්ධිය යනු කෙසේ ඇතිවූවක්ද ?

මානවයා ලෝකයේ අන් සියළු සත්වයන්ට වඩා වෙනස් වූ පරිනාමයෙ අග්‍ර ඵලයක් ලෙස සිතන්නේ අසාමාන්‍ය බුද්ධි මහිමය හේතුවෙනි.

බුද්ධිය යනු පරිනාම සිදුවීමේ දී පවත්නා පාරිසරික සාධක යටතේ නොනැසී ජීවත්වීමට වූ තවත් එක් අනුවර්ථනයක් පමණක් ද ?

ජීවය පහළ වීමත් සමඟ ම යම් අවස්ථාවක දී බුද්ධිය ද පරිනාමය වීම නියත වශයෙන් සිදුවන්නක් ද ?

සාමාන්‍යයෙන් ස්වභාවික වරණයේ දී වඩාත් වාසි සහගත හැකියාවෙන් යුතු ජීවියා ඉතිරීවීමයි. යම් ගති ලක්ෂනයක් ස්ථාපිත වීමට නම් එහි වාසි අවාසිවලට වඩා වැඩි විය යුතුය.

නමුත් බුද්ධිය නිසා මිනිසාට ස්වභාවිකත්වය තුළ දැඩි අවාසිද අත්කර  දෙන බව පෙනෙන්නට තිබේ. ඉන් ප්‍රධානම වන්නේ මොළයේ වර්ධනයත් සමඟ සිරුරෙන් 2%ක තරම් ප්‍රමාණයක බරක් මොළයට හිමිවුව ද මානවයාගේ ශක්ති අවශ්‍යතාවෙන් 20% වැය වන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහාය.

නමුත් පරිනාමයේ දී බුද්ධියෙන් අත්වූ වාසි එහි අවාසි ප්‍රමාණයට වඩා වැඩිවන්නට ඇතැයි සිතීමට පුළුන. ඉතා සරල ජීවීන් තුළ පවා ප්‍රාථමික මට්ටමකින් හෝ බුද්ධියක් තිබීමෙන් ඒ බව පැහැදිලි වේ.

වෙනස් වූ පරිසරයකට හැඩගැස්මට පරිනාමයෙන් ලබා දී ඇති පිළිතුරක් ලෙස එක් අතකින් බුද්ධිය හැඳින්විය හැකි සේ ම අනේක අතට බුද්ධිය හේතුවෙන් හටගන්නා සංකීර්ණ හැසිරීම් තුළින් ද කල් තියා අනුමාන කලළ නොහැකි තත්වයන් නිර්මාණය වෙයි.

මේ හේතුවෙන් එක් සතකුගේ හැසිරීම් කණ්ඩායමේ සෙසු සතුන්ගේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන අතර චිම්පන්සීන් වැනි වානර වර්ගයේ සමාජශීලී සතුන් තුළ බුද්ධිය සුලබ ලෙස දක්නට ලැබීමෙන් මේ බව පැහැදිලි වේ.

එසේ නම් සමාජශීලී සතුන් අතර ඉහළින්ම සිටින මිනිස් වර්ගයාට බුද්ධිය ලැබීම අහම්බයක් විය නොහැක. බුද්ධිය හේතුවෙන් ම අපට අවශ්‍ය ආකාරයට ලෝකය වෙනස් කරමින් සිටින්නෙමු. ඒ හැකියාව ප්‍රයෝජනයට ගෙන දැන් වෙනස් ලොවක් නිර්මාණය වෙමින් තිබේ.

වසර ලක්ෂ 40ක පරිනාමය ක්‍රියාදාමය තුළ සංකීර්ණ භාෂා, මෙවලම් භාවිත කිරී‍මේ පරිචයක් සහ අද්විතීය මානසික හැකියාවන් රැසක සම්මිශ්‍රණයක් එකට කැටි වී එකම ජීවී විශේෂයක් තුළ පහළ වීමට ඇති සම්භාවිතාව ඉතා දුලබ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් කෙසේ හෝ එය සිදුව තිබේ.

https://www.scientificamerican.com/article/the-emergence-of-intelligence-2006-06/

06. සිහිය යනු කුමක් ද ?

සිහිය යනු අවදියෙන් සහ දැනීමෙන් සිටීමයි.තමන් පිළිබඳ හැඟීමක් තිබීමයි.  අවට සිදුවන දේ පිළිබඳ අවබෝධයක් තිබීමයි. අවට ලෝකය හා තමන් අතර ඇති වෙනස හඳුනා ගැනීමයි. තවත් ආකාරයකට කියන්නේ නම් තමන්ගේ ම මතකයක හිමිකරුවකු වීමයි.

නමුත් මේ සිහියෙන් සිටීම හෙවත් සවිඥානය පිළිබඳ විද්‍යාත්මක පැහැදිළිකිරීමක් නම් පහසු නැත.

එ් සම්බන්ධයෙන් හැදෑරීම පවා ආගමට හා දර්ශනයට අදාල යැයි සීමා වී පවතින්නේ ද එබැවිනි. එසේ වුව ද අද වනවිට ජීව විද්‍යාඥයන් මෙම විෂය පථය තුළ සිය පර්යේෂණ දියත් කරමින් සිටී.

විඥානය ඇතිවන්නේ ස්නායු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස යැයි සැළකුවහොත් සිහිය නැති වී සිටින අයකුගේ මොළය තුළ සිදු නොවන යම් දෙයක් සිහියෙන් සිටින අයකුගේ මොළය තුළ සිදුවන බවක් පෙනිය යුතුය. නමුත් පර්යේෂකයන්ට මෙතෙක් එවැනි දෙයක් විද්‍යාත්මකව තහවුරු කිරීමට හැකි වී නැත.

කෙටියෙන් කියන්නේ නම් සිහිය ඇති විට සක්‍රීයව තිබෙන, සිහිය නැති විට අක්‍රීය වන එකම මොළ ප්‍රදේශයක්වත් මෙතෙක් සොයාගෙන නැත. එමෙන් ම සවිඥානිකව සිටීමට තිබිය යුතු අවම ස්නායු ක්‍රියාකාරීත්වයක් හෝ මෙතෙක් සොයාගෙන නැත.

ස්නායු රාශියක ක්‍රියාකාරීත්වය එක්ව ගත් විට එය යම් නිශ්චිත හැඟීමක් හෝ දැනීමක් ලෙස අප අත්විඳින්නේ කෙසේ ද යන්නත් තවම ැහැදිළි කළ නොහැකිව තිබේ.

ඇතැම් පර්යේෂකයෝ විඥානය යනු හුදු මායවක් බව කියා ප්‍රශ්නය මඟහැරීමට ද උත්සාහ ගනිති. කෙසේ වෙතත් ලෝකයේ විද්‍යාව දියුණුයැයි කීව ද අපට තවමත් විඥානය හඳුනාගැනීමට හැකි වී නැත.

07. ලිංගිකත්වය කුමක් සඳහා ද ?

ලිංගිකත්වය ගැන ජීව විද්‍යාඥයෝ අතීතයේ පටන් උනන්දුවක් දැක්වූහ.

නමුත් බහු සෛලීය ජීවී විශේෂ අතරින් 99% ම ලිංගික ව ප්‍රජනනය කරන අතර ලිංගික ප්‍රජනනය රහා ඉදිරි පරම්පාරවේ ජනා විවිධත්වයක් ඇති කිරීමටත් එමගින් පරපුරේ පැවැත්ම තහවුර ුකිරීමටත් හැකි බව පිළිගත් මතයයි.

‍මේ මතවාදය තුළ ම වූ මූලික ගැටලුවක් වෙයි. කෙටි කාලීන ලෙස ගත්විට  ලිංගික ප්‍රජනනය අවාසිසහගත බව විද්‍යාඥයෝ කියති. අලිංගික ප්‍රජනනය මගින් පැටවුන් බිහිකිරීම ගැහැනු හා පිරිමි වශයේන ලිංග දෙකක් පැවතීම අවශ්‍ය නොවන අතර ඒ අනුව අඩු ආහාර ඉඩකඩ හා අනෙකුත් සම්පත් ප්‍රමාණයක් යොදාගෙන වැඩි ජීවීන් ප්‍රමාණයක් බිහිකිරීමට අලිංගික ප්‍රජනනයෙන් හැකියාව ලැබේ.

ඒ අනුව ලිංගික ප්‍රජනනය යනු අසාර්ථක ක්‍රමයකි.

එසේ වුව ද දීර්ඝ කාලීනව බැලූ විට ලිංගික ප්‍රජනනය මගින් මාතෘ හා පීතෘ ජාන සංයෝජනයෙන් විකෘති ජාන ඉදිරි පරපුර තුළ ප්‍රමුඛ වී යාමේ ඉඩකඩ නැති කර දමනු ලබන අතර පරපුර ඉක්මණින් වඳ වී යාම ද නැතිකරයි. ලෝක ඉතිහාසය බැලූ විට බොහෝ අලිංගික ජීවීන් වසර දහස් ගණන් තුළ මිහිතලයෙන් වඳ වී ගොස් ඇත්තේ මේ හේතුවෙනි.

පර්යේෂකයන් පවසන්නේ ලිංගික ප්‍රජනනය සාර්ථක වන්නේ විවිධත්වය ඇතිකරලීමට හැකියාව ඇතින් බවයි. ජීවීන්ගේ පරිසරය ඉතා ඉක්මණින් වෙනස්වන විට පරිසරයට වඩා ඉක්මණින් හැඩ ගැසිය හැකි ජීවීන්ට නොනැසී ජීවත් වීමේ හැකියාව හිමිවීම තත් හේතුවක් වන්නට ඇත.

නමුත් ඒ වාසි පමණක් ලිංගික ප්‍රජනනය බහුල වීමට හේතුවක් වූවා යැයි සිතීමට නුපුළුවන. පරිනාමයේ යම් අවස්ථාවක ලිංගික ප්‍රනනය හටගැනීමෙන් පසු එය මුල්බැස ගන්නට ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් ලිංගිකත්වය ඇතිවූ ආකාරය හා කුමක් සඳහා ද යන්න පිළිබඳ පැහැදිළි හේතුවක් මෙතෙක් ලැබී නැත. ලිංගිකත්වය මුලින්ම පරිනාමය වූයේ කෙසේ දැයි යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නැත.

08. වයස්ගත වීම වළක්වා ගත නොහැකි ද ?

ජීවිතයක් සදාකාලිකව පවත්වාගැනීම කිසිදා සැබෑවක් නොවන සිහිනයකි. නමුත් වයස්ගත වීම සමඟ ඇතිවන දුර්වලතා අතුරු ආන්තරාවන් ගෙන් යම් පමණකින් හෝ වැළකී සිටීමට අප කවුරුත් ආසා කරන දෙයකි. මෙය පාලනය කිරීමට විද්‍යාඥයෝ කොතෙක් උත්සාහ දැරුව ද ඒ ඉලක්කය ජයාගැනීමට ද අපොහොසත් වී ඇත. හේතුව වයස්ගත වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට තවමත් නොහැකි වීමයි.

ආහාර ඔක්සිකරණය වී ශක්තිය ජනනය වීමේ ක්‍රියාවලියේ දී ඇතිවන පරිවෘත්තී්‍ය අතුරුඵල ලෙස හටගන්නා විෂ සහිත මුක්ත ඛණ්ඩක මගින් සෛලවලට සිදුවන හානිය නිසා වයස්ගතව වීම සිදුවන්නේ යැයි මුල් කාලීන විද්‍යාඥයෝ විශ්වාසය පළ කළහ.

විටමින් යන්න ජනප්‍රිය වූයේ ඒ හේතුවෙනි. වයස්ගත වීම පාලනයට නම් විටමින වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගිල දැමිය යුතු යැයි පර්යේෂකයන්ගේ මතය විය. එමෙන්ම සිරුරේ නිපදවෙන මුක්ත ඛාණ්ඩ ප්‍රමාණය අඩු කිරීඹට අඩුවෙන් ආහාර ගත යුතු බව ද ප්‍රචලිත විය.

නමුත් වයස්ගත වීම පිළිබඳ නවතම පර්යේෂණවලින් කියැවෙන්නේ ජනිතයන් හා මාතෘ පරම්පරාව අතර ඇතිවන තරඟකාරීථ්වය අඩුකිරීමට නිශ්චිත සැළසුමකට අනුව වැඩිහිටි පරපුර ජරාජීර්ණයට ලක්වන බවයි.

වයස්ගත වීමේම ක්‍රියාවලිය හසුරුවන ජානයක් පවතින බවට මේ වනවිටත් ලැබී ඇති සාධක මගින් තහවුරු වී තිබේ. Daf-2 ලෙස හඳුන්වන මේ ජානය ඉවත්කළ විට මීයන්ගේ ආයුකාලය වැඩිවන බවද පර්යේෂණ මගින් සනාථ වී තිබේ.

කෙසේ වෙතත් මීයන් සම්බන්ධයෙන් සාර්ථක කරගත් එම උපාය මිනිසුන් සම්බන්ධයෙන් සාර්ථක කරගත හැකි ද යන්න තවමත් ගැටලුවකි.

https://nautil.us/issue/36/aging/why-aging-isnt-inevitable

09. ජීවය යනු කුමක් ද ?

ජීව විද්‍යාඥයන් මෙන් ම දර්ශනවාදියෝ ද ජීවය යන්නට විශ්වීය වශයෙන් පිළිගත ැකි අර්ථයක් දෙන්නට තවමත් සමත්ව නැත.

ජීවීන් යනු යම් ආහාරයක් ලබාගෙන බහිස්‍රාවීය ද්‍රව්‍යය පිටකරන ආකාරයක් යැයි කිවහොත් වාහනයක් ද එයම සිදුකරයි. නැතිනම් ලිංගික හෝ අලිංගික ප්‍රජනනයෙන් ගුණනය වීමේ හැකියාවක් තිබෙන දෙයක් ජීවය ලෙස සැළකුවහොත් ඇතැම් පරිගණක වැඩසටහන් ද ගුණනය වෙයි.

මේ අනුව ජීවය පිළිබඳ මෙතෙක් පිළිගත් හොඳම අර්ථකථනය සපයා ඇත්තේ කැලි‍ෛා්නියාවේ ක්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනයේ ජෙරාල්ඩ් ජොයිස් නම් තැනැත්තා විසිනි.

ඔහු පවසන ආකාරයට ජීළුය යනු ඩාවීනියානු ස්වාභාවික වරණ ක්‍රියාදාමය මගින් පරිනාමය විය හැකි ස්වායක්ත වූ පැවැත්මක් ඇති රසායනික පද්ධතියකි.

මේ අර්ථ දැක්වීම කොතරම් පුළුල් දෙයක් වුව ද ජීළුය යනුවෙන් අප හඳුන්වන සෑම සියලු ප්‍රාණියකු ම මෙම අර්ථ දැක්වීමට ඇතුළත් කළ හැකි දැයි විමසිය යුතුය.

දැනට ජීවය යනුවෙන් සළකන්නේ පෘථිවිය මත ඇති කාබන් පදනම් වූ ජෛව රසායනයක් ඇති ජීවී ස්වරූප පමණි.

නමුත් අප දන්නා ජීවී ආකාරවලින් මුළු මනින් ම වෙනස් වූ මූලිික ආකාරයන් විද්‍යාගාර තුළ ම බිහිකිරීමට තම් පර්යේෂකයේා උත්සාහ ගනිති. රසායනික හැසිරීම් අනුසාරයෙන් ජීවය මුල සිට ම නැවත නිර්මාණය කිීමට සැරසෙන අතර යම් ආකාරයකින් මෙවැනි පරප්යේෂණයක් සාර්ථක වුවහොත් ජීවය පිළිබඳ අද අප සිතන ආකාරය වඩා සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයෙන් සිතීමට සිදුවනු ඇත.

https://www.britannica.com/science/life

10. පිටසක්වළ ජීවයක් තිබේ ද ?

විශ්වය සැළකූ විට නොගිනිය හැකි තරම් වූ ඉතාමත් කුඩා තිතක් ලෙස දිස්වන අපේ පෘථිවිය තවමත් අපි දන්නා පරිදි විශ්වයේ ඇති සවිශේෂීතම ග්‍රහ ලෝකයයි.

විශ්වය පුරා තාරකා සහ ග්‍රහලෝක බිලියන ගණනක් තිබිය දී අපේ පෘථිවි‍යේ පමණක් ජීවය ඇති වූයේ කෙසේ ද ?

නැතිනම් අප වැනිම ජීවය සහිත තවත් ග්‍රහලෝක මේ විශ්වයේ පවතී ද ?

ආගමික හා දාර්ශනික මතවාදයයන් හා පිටසක්වල සිට මෙළොවට පැමිණි බවට ඇතැම් මතවාදයන් හැර දමා නිශ්චිත විද්‍යානුකූළ ලෙස බැලූ විට පෘතිවියෙන් එහා ලොවක ජීවයක් පවතී ද යන්න පිළිබඳ නිශ්චිත පිළිතුරක් දීමට තවමත් විද්‍යාඥයෝ සමත්ව නැත.

විශ්වයේ ඇති කෙළවරක් නොමැති ස්වභාවයත්, පාරිසරික වශයෙන් අසීමිත වූ විවිධත්වයත් දැනට වර්ක හෝ සහතිකව ම ජීව පරිනාමය වී තිබීමත් යන මේ සියල්ල සැළකූ විට ජීවය පවතින එක ම ස්ථානය මේ පෘතිවිය පමණක් වීමට ඇති ගණිතමය සම්භාවිතාව ඉතා සුළු අගයක් ගනී.

නමුත් පිටසක්වළ ජීවීන් ගැන මෙතෙක් කිසිදු ස්ථිර සාක්ෂියක් ලැබී නැත.

පිටසක්වළ ජීවය සොයා යාමේ දී අපට ඇති තවත් ැටලුවක් වන්නේ ජීවය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක් ද යන්නයි. පිටසක්වළ ජීවීන් ලෙසින් අප සොයා යමින් සිටින්නේ පෘතිවිය මත සිටින අපට හුරුපුරුදු වූ කාබන් පාදක කරගත් ජීවී ආකාර පමණක් ම විය යුතු ද ?

ජීවය යන්න සඳහා තවමත් අපප හමුවෙ ්නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැති පසුබික ්තුළ මෙම ගැටලුව තව දුරටත් පැටලිලිසහගත් වන බව පෙනේ.

https://www.nationalgeographic.com/science/article/if-alien-life-exists-in-solar-system-may-look-like-this-aurora-hydrothermal-vent

2 COMMENTS

  1. ලොව්තුරා බුදු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කිට්ටු වෙන්නවත් විද්‍යාවට බැහැ. මේ සියලුම දේවල් වලට එහි උත්තර තියෙනවා.

    • බුදු දහමේ මේවාට උත්තර තියෙන තැනක් උපුටා දක්වන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!