spot_img
spot_imgspot_img

වල්ලමක් පෙරැළී මැරුණු ධීවරයාටත් කොරෝනා

පුවත්

විදෙස්

දොඩන්දූව ධීවර වරායෙන් මුහුදුගිය වල්ලමක් පෙරැළී මියගිය ධීවරයා කොරෝනා ආසාදිතයකු යැයි කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී එම දේහයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුමාරකන්දේ කනත්තවත්ත පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකි.

ඊයේ (10) රාත්‍රී මෙම අනතුර සිදුව තිබුණු අතර නාවික හමුදාව විසින් මියගිය ධීවරයාගේ මළ සිරුර සොයාගන්නා ලද්දේ අද (11)  උදෑසන 6.30ට පමණය. එම වල්ලමේ මුහුදු ගිය අනෙක් ධීවරයන් දෙදෙනා ද නාවික හමුදාවව විසින් බේරාගෙන තිබිණි.

මියගිය පුද්ගලයාගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකිරීමෙන් පසු පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබිණි.

එම පරීක්ෂණයෙන් අනාවරණය වූයේ මියගිය තැනැත්තා කොරෝනා ආසාදිත වී සිට ඇති බවයි. වල්ලම පෙරැළීමෙන් අනතුරට ලක්ව තුවාල ලබා සිටි අනෙක් ධීවරයන් දෙදෙනාගෙන් එක් අයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් ධීවරයා ගාල්ලේ පුද්ගලික ප්‍රතිකාර ලබයි. ඔවුන් දෙදෙනා ද කොරෝනා ආසාදිත බව ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.  

රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි අද (11) එම ධීවරයාගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍යවරයාගේ වාර්තාව අනුව දියේගිලීමකින් සිදුවූ මරණයක් බව තීරණය කෙරිණි.

දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් ආදාහනය කිරීමට නොහැකිවීමත්, කොරෝනා ආසාදිතව මියගොස් සිටීමත් හේතුවෙන් ඔහුගේ සිරුර කොරෝනා මළ සිරුරු භූමදානය කරනුලබන ඔට්ටමාවඩි ප්‍රදේශයට යැවීමට හදිසි මරණ පරීක්ෂකවරිය නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!