spot_img
spot_imgspot_img

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

පුවත්

විදෙස්

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රාගම තේවත්ත පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි තිදරු මවකි.

මාස දෙකකට පමණ පෙර ඩෙංගු වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගත් ඇය සුවය ලබා යහපත් සෞඛ්‍ය ‍තත්වයකින් සිටි බව මියගිය එම මවගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් ඇගේ සැමියා (39) පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කිවේය.

“ ඩෙංගු සුවවෙලා මගේ නෝනා ඉතා හොඳින් සිටියා. නමුත් ජුනි 26 වැනි දා ඇයේ ඇඟ රිදෙන්න ගත්තා. හතිය වගේ තිබුණා. මේ නිසා අපි ඩෙංගු හැඳුණු අවස්ථාවේ ප්‍රතිකාර ලබාගත් වෛද්‍යවරයා හමුවුණා. පීසීආර් පරීක්ෂණයක සහ ඩෙංගු සඳහා රුධිර පරීක්ෂණයක් කරන්න කීවා. ඒ පරීක්ෂණ දෙකේම ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් බිරිඳගේ අසනීප තත්ත්වය අඩු වුණේ නැහැ. නැවත දවසකින් විතර පීසීආර් පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතයි කියලා කිව්වා. ඒ වනවිට ලැබෙන්න සිටි දරුවාට මාස 07යි. අපි පවුල් සෞඛ්‍ය සේවිකාවට මේ බව කිව්වම හැකි ඉක්මණින් රාගම රෝහලට යන්න කිව්වා.”

රාගම රෝහලට ඇතුළත් කෙරුණු ඇය එක් දිනකට පසු හෝමාගම රෝහලට මාරුකර යවා තිබිණි. මේ වනවිට ඇගේ සැමියාත්, වයස අවුරුදු 10ක් වූ වැඩිමහල් දියණිය සහ අවුරුදු 06ක වයසැති පුතාත්, දෙමාපියනුත් ඔවුන් පදිංචිව සිටි නිවසේ ම නිරෝධායනයට යොමුකර සිටියහ. එබැවින් ඔහුට දරු කුසක් දරා සිටින බිරිඳ බැලීමට යා නොහැකි වුව ද නිතර නිතර දුරකථනයෙන් දෙදෙනා කතා කළහ.

ඔහු පවසන්නේ හෝමාගම රෝහලේ දී කුසේ සිටි මාස 07ක් වයසැති දරුවා සිසේරියන් සැත්කමකින් බිහිකිරීමට වෛවද්‍යවරු කටයුතු කර තිබූ බවයි.

“හෝමාගම දී දරුව ඉපදුණා. එයා මාස හතෙන් ගත්තු නිසා කාසල් රෝහලට දරුවාව යවනවා කියලා හෝමාගම රෝහලෙන් කිව්වා. මගේ නෝනා දිගටම හෝමාගම රෝහලේ ම ප්‍රතිකාර ලබමින් සිටියා. ජුනි මාසේ 08 වැනි දා රෝහලෙන් කතා කරලා මට කිව්වා බිරිඳට ටිකක් අමාරුයි ඒ නිසා කරාපිටිය රෝහලට යවන්න වෙනවා කියලා. එදාම රෑ ගිලන්රථයකින් එයාව කරාපිටිය රෝහලට රැගෙන ආවා.”

කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ ඇය එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. ඔහු පවසන්නේ ටික දිනකින් බිරිඳ යම් තරමකට සුවය ලැබූ බවයි. ඇය තමන් හා දුරකථනයෙන් කතා කළ බවත් තම නිරෝධායන කාලය අවසන් වූ බැවින් බිරිඳ බැලීමට කරාපිටිය රෝහලට පවා පැමිණි බවත් ඔහු හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් කීවේය.

“හදිසියේ ම එයා කෝල් කරලා කිව්වා උණ ගත්තා කියලා. රෝහලෙන් පරීක්ෂා කරලා කිව්වලු වකුගඩුවලට විෂබීජයක් ගිහින් තිබෙන බව. මේ නිසා ලේ පවා දුන්නා කිව්වා. ඊයේ (21) සවස එයා මට ‍මැසේජ් එකක් එවවලා තිබුණා අමාරුයි ලේ මරු කරන්න හදනවා කියලා. ඔයා දෙවියන්ට යාඥා කරන්න කියලත් කියා තිබුණා.”

මේ පණිවිඩය ලැබුණු වහාම ඔහු රාගම සිට කරාපිටිය රෝහලට පැමිණියේය. දැඩි සත්කාර ඒකකය අසළට ගිය ඔහු එහි දොරෙන් තම බිරිඳගේ ඇඳ දෙස බලා සිටිය දී තම ආදරණීය සැමියා පැමිණ සිටිනු දුටු අත ඔසවා ඔහු දෙස බැලුවාය.

තම බිරිඳ කොරෝනා ආසාදිත බැවින් ඇයට කොතරම් අසාධ්‍ය වුව ද ඇය සමීපයට යාමට ඔහුට අවසර ලැබුණේ නැත. වෛද්‍යවරු ද ඔහුට කීවේ වකුගඩුවල විෂබීජ ආසාදනයක් ඇති බැවින් ඇය තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

ඔහු යළි රාගම ගියේ නැත. ගාල්ලේ නතර වූවේය. අළුයම 2.55ට කරාපිටිය රෝහලෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබී තිබුණ ද පැවති ‍දැඩි වෙහෙස නිසාම ඔහුට එය මඟ හැරී ගොස් තිබිණි. නමුත් ඒ ඇමතුම දුටු වහාම වාට්ටුවට කතා කළ ඔහුට “ඉක්මනට එන්න නෝනට ටිකක් අමාරුයි” යන පණිවිඩය ලැබිණි. ඔහු යන විට ඇය මොළොව හැර ගොසිනි.

ඇය කොරෝනා ආසාදිතව මියගොස් ඇතත් මාතෘ මරණයක් බැවින් ඒ සිරුර විච්ඡේදනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතාගේ නිගමනය සහ ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාගේ තීරණය වූයේ  වූයේ කොරෝනා නිව්මෝනියාව සමඟ වකුගඩුවල විෂබීජ ආසාදනය ‍හේතුවෙන්  ඇගේ මරණය සිදුව ඇති බවයි.

මියගිය මෙම තිදරු මවගේ දේහය හෙට (23) දඩල්ල පොදු සුසාන භූමියේ දී නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!