spot_img
spot_imgspot_img

කැස්බෑවන් මියයාම හා නැවේ අනතුර අතර සම්බන්ධයක් ගැන පර්යේෂකයෝ කියති

පුවත්

විදෙස්

කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් මියයන්නේ වාරකන් ‍කාලය හේතුවෙන් යැයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විසින් කරන ලද ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව සාගර විද්‍යාඥයන් කරනු ලබන අනාවරණයකින් තහවුරු වෙයි.

X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වී යාමෙන් පසු එහි බලපෑමෙන් මුහුදු කැස්බෑවන් විශාල ප්‍රමාණයකගේ මියගිය සිරුරු වෙරළ තීරයෙන් හමුවීම සම්බන්ධයෙන් පරිසරවේදීන් පවසන්නේ එම සතුන්ගේ මරණය සහ නැවේ විනාශය අතර සෘජු සම්බන්ධයක් තිබිය හැකි බවයි.

නමුත් වියත්මග ප්‍රබල සාමාජිකයකු වූ රාජ්‍යය අමාත්‍ය නාලක ගොඩහේවා කියා සිටියේ වාරකන් කාලයේ දී මුහුදු ජීවීන් ගල්පරවල හැපීම වැනි හේතූන් නිසා මියයාම සිදුවන බවයි.

වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මෙසේ පවසයි.

“මුහුදේ සිදුවන දේ පාලනය කරන්න බැහැ. වාරකන් කාලයේ සතුන් අනතුරට ලක්වෙනවා. එය අසාමාන්‍ය සිද්ධියක් නොවෙයි. මේ සතුන්ගේ මියයාම නැවේ අනතුරට සෘජුව සම්බන්ධ කරන්න උත්සාහ ගන්නවා.”

සාගර පද්ධතීන් සහ මුහුදු ජීවීන් පිළිබඳ පරීක්ෂණ සිදුකරන ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක පවසන්නේ වාරකන් කාලයේ දී කැසැබෑවන් කිහිප දෙනෙක් මියයන්න පුළුවන් වුවත් දැනට 50කට වඩා වැඩි කැස්බෑවන් ප්‍රමාණයක් මේ කෙටි කාලයක්තුළ මියගොස් තිබෙන බවයි. එය වෙනදා සිදුවන සාමාන්‍ය කැස්බෑ මරණ සංඛ්‍යාවට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් බැවින් මේ සම්බන්ධ සොයා බැලිය යුතු බව ද අචාර්ය ඒකනායක පවසයි.

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරය සැළකූ විට කැස්බෑවන් වැඩිම ප්‍රමාණක් බිත්තර දැමීම සඳහා පැමිණෙන්නේ දකුණු මුහුදු තීරයේ තංගල්ල හා රැකව ප්‍රදේශයේ වෙරළට බව පර්යේෂකයෝ පවසති. 2006-2009 කාල‍යේ දී සිදුකරන ලද පර්යේෂනයක දී එලෙස බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් 10 දෙනකුගේ පිටෙහි උපකරණයක් සවිකර ඔවුන්ගේ ගමන් මාර්ගය චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කිරීමට ද කටයුතු කර ඇත.

ආචාර්ය ලලිත් ඒකනායක පවසන්නේ මේ කැස්බෑවුන් 10 දෙනාගෙන් 07 දෙනකු ම ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ආසන්නයෙන් මන්නාරම හා ඉන්දියාවේ දනුෂ්කොඩි වෙරළ දක්වා ගමන්කළ බවයි. ඔවුන් 05 දෙනකුගේ ගමන් මාර්ගය තිබී ඇත්තේ X-Press Pearl නැව අනතුරට ලක්වූ ප්‍රදේශය අසළින් බව ද සනාථ වී ඇත.

ආචාර්ය ඒකනායක මෙලෙස ද කියයි.

“මේ පර්යේෂණයෙන් පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාවේ තංගල්ල, රැකව ඇතුළු දකුණු මුහුදු තීරයේ බිත්තර දැමීමට පැමිණෙන කැස්බෑවුන් බිත්තර දමන කාලයේ දී පර්යටනය කරන බව. ඔවුන් සාමාන්‍ය වාසස්ථානය ඉන්දියාවේ සහ මන්නාරමේ ලෙස ඉඳලා බිත්තර දැමීම සඳහා අපේ දකුණු මුහුදු තීරයට එනවා. බිත්තරවලින් නිදහස්වන පැටවුන් නැවත තම මවගේ වාසස්ථාන ප්‍රදේශයට ගොස් වැඩිහිටියන් බවට පත්ව බිත්තර දැමීමට තමන් උපන් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට එනවා. මේ අයගේ පර්යටන මාර්ගය වැටී තිබෙන්නේ බස්නාහිර වෙරළ ආසන්න මුහුදෙන්. මේ ගිනිගත් නැව අනතුරට ලක්වුණේ මේ අයගේ පර්යටන ගමන් මාර්ගයේ බව ඉතාමත් පැහැදිලියි. ඒ නිසා එම මාර්ගයේ ගමන්කරන කැස්බෑවන්ට නැවේ විනාශය අහිතකර ලෙස බලපාන්නට ඇතැයි ඕනෑම අයකුට විශ්වාස කළ හැකියි.”

පර්යේෂකයන් පවසන්නේ කැස්බෑවන් බිත්තර දැමීම සඳහා දකුණු මුහුදු තීරයට වැඩිපුරම පැමිණෙන්නේ අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල දී බවයි. නැවේ අනතුර සිදුවූයේ මැයි මාසයේ බැවින් කැසැබෑවන්ගේ මරණ වැඩිවීම හා නැවේ අනතුර අතර සෘජු සම්බන්ධයක් තිබිය හැකිය යන්න පිළිබඳ බරපතල සැකයක් ඇතිවන්නේ එබැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!