spot_img
spot_imgspot_img

කෝටි ගණනක ඛනිජ වැලි වංචාවක් අනාවරණය වෙයි

පුවත්

විදෙස්

පුල්මුඩේ ඛනිජ වැලිි සමාගම හෙවත් “ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්” අයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි අළෙවි කිරීමේ දී වංචාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට වෙත පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් දැනුම් දී තිබේ.

ඛනිජ වැලි වංචාව පිළිබඳ කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය 23 වැනි දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කාර්යසාධනය විමර්ශනය කිරීමේ කෝප් කමිටු රැස්වීමේ දී ය.

කෝප් කමිටුවේ දී හෙළි වී ඇත්තේ ඛනිජ වැලි විකිණීමේ දී ඇමෙරිකන් ඩොලර් 1,530,000ක පාඩුවක් සිදුව ඇති බවයි. ඛනිජ වැලි ටොන් එකක් සඳහා ඇමෙරිකන් ඩොලර් 165ක මිලක් ඉදිරිපත් කළ ඉල්ලුම්කරුට එය ලබා නොදී මිල ගණන් ලේඛනයේ තුන්වැනි ස්ථානයේ සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 147 බැගින් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000ක් ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ.

මේ දක්වා ගැනුම්කරු විසින් මුදල් ගෙවා ඇත්තේ මෙට්‍රික් ටොන් 65,000ක් සඳහා පමණක් බවත් තවත් මෙට්‍රික් ටොන් 20,000ක් සඳහා මුදල් ලැබීමට තිබෙන බවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

මෙම විකිණීම සම්බන්ධ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ටෙන්ඩර් අනුකමිටුවකින් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ද ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු කෝප් කමිටුවේ දී සඳහන් කර ඇත.

කෝප් කමිටුවේ දී හෙළි වී ඇත්තේ මේ වනවිට ඉල්මනයිට් මෙට්රික් ටොන් එකක මිල ඇමෙරිකන් ඩොලර් 240කට ආසන්න බවයි.  එමෙන් ම 2018 හා 2019 වර්ෂවල දී ඉල්මනයිට් අළෙවියට සාපේක්ෂව 2020 දී සිදුකරන ලද අළෙවිය ද අඩුවී ඇත. ප්‍රශ්නගත අළෙවිය 2020 ඔක්තෝබර් මාසයේ දී සිදුකර ඇති නමුත් එම ඛනිජ වැලි තොගය තවදුරටත් පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ ගබඩාවේ තිබීම හේතුවෙන් දැනට එකතුවන ඛනිජවැලි ගබඩාකිරීමේ ගැටලු ද මතුව ඇත.

මෙම තොගය ඉවත්කරගැනීමට ලබාදෙන කාලය පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් දීර්ඝ කල බව ද සමාගමේ බලධාරීන් පවසා ඇත.

මේ කරුණු පිළිබඳ වහාම විමර්ශනයක් කර මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසත් ඛනිජ වැලි තොග කඩිනමින් ඉවත්කර හිඟ මුදල් අයකරගැනීමට කටයුතු කරන ලෙසත් කෝප් කමිටු සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!