spot_img
spot_imgspot_img

ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය අහිමි කරන GMOA කෙරුවාව

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර කොරෝනා මර්ධන කටයුතු ද දැඩි ලෙස අකර්මන්‍ය වී තිබෙන බව rata.lk වෙත තහවුරු වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය අයථා ලෙස භාවිතා කරමින් නගර සභාවේ නිලධාරීන් සමඟ ඇති පුද්ගලික කෝන්තර පිරිමහමින් ප්‍රදේශයේ ජනතාවව අසීරුවට පත්කරමින් සිටිනේ ගාල්ල වසංගත රෝග වේදඥ ලෙස කටයුතු කරන වෙනුර කේ.සිංගාරච්චි නමැති වෛද්‍යවරයෙක් පුමුඛ කණ්ඩායමක් බව ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු චෝදනා කරති.

නගර සභාවේ පසුගිය සභා වාරයේ දී මෙම වෛද්‍යවරයාගේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට හා ජනාධිපතිවරයාට දැනුම් දිය යුතු බවට යෝජනාවක් ද සම්මත කෙරිණි.

මෙම වෛද්‍යවරයා ගාල්ල වසංගත රෝග වේදඥවරයා ලෙස කටයුතු කරමින් සිට පසුව ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලෙස පත්ව ආ අතර ඉන් පසු යළි වසංගත රෝග වේදඥ තනතුරට ම පත්ව ගියේය. ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික්  ශාඛාවේ සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රී මෙත්සිරි ද සිල්වා පවසන්නේ මෙම වෛද්‍යවරයා නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී නගර සභාවේ සෞඛ්‍ය අංශය නගර සභා භූමියෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා විශාල අරගලයක නිරත වුව ද ඒ සඳහා තමන් ඉඩ නොදුන් බවයි. ඒ පිළිබඳ මේ සටහන ලියන ලේඛකයාට ද අත්දැකීමක් තිබේ. එකළ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමචන්ද්‍ර එදිරිමාන්න මහතා හමුවී වෙනුර සිංගාරච්චි වෛද්‍යවරයා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යා යුතු බවට කරුණු දක්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් විමසූ විට වෛද්‍ය එදිරිමාන්න එවකට කියා සිටියේ එය වෛද්‍ය සිංගාරච්චිගේ පුද්ගලික මතයක් වුව ද නීත්‍යානුකූළව එය කළ නොහැකි බවයි.

2014 වර්ෂයේ දී ඉහත වෛද්‍යවරයා නගර සභාවේ සේවකයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය ඊට මැදිහත් වී එකල ද සෞඛ්‍ය අංශය මහ නගර සභා පරිශ්‍රයෙන් ඉවත්කිරීමට උත්සාහ ගනිමින් තිබිණි. (ඒ සම්බන්ධ ලිඛිත සාක්ෂි මෙම සටහනට අමුණා ඇත)

ගාල්ල මහ නගර සභාවකි. ක්‍රියාත්මක වන්නේ මහ නගර සභා ආඥා පනත අනුවය. එම ආඥා පනත අනුව සෞඛ්‍ය අංශය එහි ඇති එක් දෙපාර්තමේන්තුවකි. එය පාලනය කරනු ලබන්නේ නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයන් විසින් සිදුකරන ප්‍රතිපත්ති සම්පාදනය අනුව නාගරික කොමසාරිස්වරයා යටතේ පවතින දෙපාර්තමේන්තුවක් වශයෙනි. නගර සභාවක සෞඛ්‍ය අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනයෙන් පරිබාහිරව පවතින අතර එම අංශය සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීම පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයකි. ඒ අනුව ‍පත්කරනු ලබන වෛද්‍යවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු ලෙස හැඳින්වුව ද එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් පාලනය වන සාමාන්‍ය ක්‍රමයට පාලනය වන්නක් නොවේ.

නමුත් වෛද්‍ය වෙනුර සිංගාරච්චිගේ මෙහෙයවීම මත ඔහු නියෝජනය කරන සහ ඔහුට නිරන්තර රැකවරණය ලබාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් උපක්‍රමශීලීව ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විනාශ කර දමා තිබේ.

මේ සඳහා ඔවුන් ආසන්නම හේතුව බවට පත්කරත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා සහ නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් අතර ඇතිවූ බහින්බස්වීමකි. නියෝජ්‍ය නගරාධිපතිවරයා වෛද්‍ය බර්ට්‍රම්ට තර්ජනය කළ බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයකට ද යොමු වූ අතර මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට ද බල කර සිටියේය. ඒ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. එසේ තිබිය දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම කියා සිටියේ වෛද්‍යවරුන්ට නගර සභා ගෙඩනැගිල්ලේ රැඳී සිටීමේ දී ආරක්ෂාවක් නොමැති බැවින් සෞඛ්‍ය අංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කළ යුතු බවයි.

මේ සිද්ධිය දඩමීමා කරගත් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ මෙහෙයවීම මත නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් සහ සහකාර වෛද්‍ය නිලධාරී සේනානායක යන දෙදෙනා  දංගෙදර පිහිටි සායනික හා නිල නිවාස ගොඩනැගිල්ලක් තම කාර්යාලය බවට පත්කරගෙන තිබේ.

නගර සභාවෙන් සෞඛ්‍ය අංශය ඉවත්කළ යුතුයැයි මොර දුන්න ද ඔවුන් තම කාර්යාලය බවට පත්කරගෙන ඇති එම ස්ථානය ද නගර සභාවේ ම ගොඩනැගිල්ලකි. නමුත් සෞඛ්‍ය අංශයේ සහකාර වෛද්‍යවරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, හෙදියන් මෙම ස්ථානයට ගොස් නැත.

පසුගිය දා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සාකච්ඡා පවා මෙම පරිශ්‍රයේ පැවැත්විණි. එම සංගමය ඒ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු නිරෝධායනය විය යුතු බවත් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිලි කළ බවයි. මේ බව ‍එම සංගමයේ නිලධාරීන් විසින් පුන පුනා පවසමින් ඒ සඳහා ප්‍රචාරයක් ලබාදෙන්න යැයි ඉල්ලා සිටි බැවින් අපි ඒ ගැන ලිපිය යැවූ බව කියන වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වාගෙන් විමසූ විට ඔහු කීවේ එවැනි ලිපියක් තමන් නොයැවූ බවයි. එමෙන්ම දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට ද එවැනි ලිපියක් ලැබී තිබුණේ නැත.

මේ අතර තමන්ට හිතවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු සම්බන්ධ කරගනිමින් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි මාධ්‍යවෙත පවසා තිබුණේ ගාල්ල මහ නගර සභා සීමාවේ පීසීආර් පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන බවයි. මේ නිසා ගාල්ලේ කොරෝනා මර්ධනය ඇණ හිට ඇතැයි ද ඔහු මාධ්‍යයට කියා තිබිණි.

කොරෝනා මර්ධන කටයුතු සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිසි බලධාරියා වන්නේ ඔහුය. ගාල්ලේ පීසීආර් පරීක්ෂණ නිසි පරිදි සිදුවන්නේ නැතිනම් ඒ ගැන තම හිතවත් මාධ්‍යවේදීන් මගින් ප්‍රචාරය දීම පසෙක තබා පිළියම් සෙවීම ඔහුගේ රාජකාරියයි. නමුත් ඔහු තම රාජකාරිය පැහැර හැර ඇති බව පවසන්නේ ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුය. මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට අවසර ලැබී ඇතත් වෛද්‍ය සිංගාරච්චි ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පීසීආර් පරීක්ෂණ සඳහා අවසර දෙන්නේ නැත. බලපිටිය හා ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය සිංගාරච්චිගේ අණ නොතකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට අවසර දුන්න ද ඒ පිළිබඳව ද සිංගාරච්චි වෛද්‍යවරයා සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබිණි.

එමෙන් ම ගාල්ල මහ නගර සභා සීමාවේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීම අඩපණ වී ඇත්තේ ගාල්ල නගර සභාවට අවශ්‍ය පීසීආර් කට්ටල වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි විසින් නගර සභාව වෙත නිකුත් නොකිරීම හේතුවෙනි. තම පාලනය යටතේ ඇති අංශයේ පහසුකම් අවභාවිතා කරමින් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරන මෙම වෛද්‍යවරයා පසුව තම හිතවත් මාධ්‍යවේදීන් මගින් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටියි. ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ නගර සභාවේ සෞඛ්‍ය අංශය විනාශ කිරීම සඳහා‍ වෙනුර සිංගාරච්චි නම් වසංගත රෝග වේදඥවරයා හිතා මතාම පීසීආර් කට්ටල ලබා නොදී ඔහුගේ වගකීම පැහැර හරින බවයි.

මේ අතර පසුගිය (19) වැනි දා දහවල් ගාල්ලේ හසාරා හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය මංජුල සොයිසා මෙසේ කීවේය.

“පසුගිය දෙසැම්බර් 23 වැනි දා නියෝජ්‍ය නගරාධිපතිවරයා නගර සභවේ වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වාට බැන වැදී තර්ජනය කළා. මේ නිසා තවදුරටත් නගර සභාවේ රාකාරී කිරීම ආරක්ෂාකාරී නොවන නිසා දංගෙදර සායන මධයස්ථානයට වෛද්‍යවරුන් දෙදෙනා ගියා. අපහසුතාවක් තිබුණත් මහජන සේවය දිගටම කරගෙන යා යුතු නිසා එවැනි තීරණයක් ගත්තා. නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී මානව හා භෞතිික සම්පත් මේ ස්ථානයට ලබාදීමට පොරොන්දු වුණත් අද වනතුරු කිසිම පහසුකමක් දීලා නැහැ. ඒ නිසා අපි 20 වැනි දා සිට අපේ වෛද්‍යවරු දෙදෙනා දංගෙදර සායන මධ්‍යස්ථානයෙන් ඉවත් කරලා උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්ත කරනවා. එවිට කොරෝනා මර්ධන කටයුතු, ඩෙංගු මර්ධන කටයුතු වගේ ම ළමයින් එන්නත් කිරීමත් නතර වෙනවා. මේවට නගර සභාව වගකිව යුතුයි.”

වෛද්‍ය මංජුල ද සොයිසා පැවසූ එය දැන් ඔවුන් ක්‍රියාත්මක කර තිබේ. දැන් වෛද්‍ය බර්ට්‍රම් සහ සේනානායක දෙදෙනා සිටින්නේ උණවටුනේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපේ වෛද්‍යවරුන් දෙදෙනා යැයි පවසමින් නගර සභාවට අනුයුක්ත කර ඇති වෛද්‍යවරු තම සංගමයට ඕනෑ ආකාරයට තැන තැනට ගෙන යා හැකිදැයි අපි ප්‍රශ්න කරන්නෙමු. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හැසිරෙන්නේ රටේ සියලු ම දේ තමන්ට ඕනෑ ආකාරයනේ සිදුවිය යුතුයැයි කියා සිතන ආකාරයෙනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහ නගර සභා ආඥා පනත හෝ නොදැන කටයුතු කරයි. ඔවුන් කරන්නේ නීති විරෝධී කාර්යයකි. නගර සභාවේ සෞඛ්‍ය අංශය පැවතිය යුතු ස්ථානය තීරණය කරන්නේ වෘත්තීය සමිතියක් නොව මහජන ඡන්දයෙන් තේරීපත්වූ සභාවේ ප්‍රතිප්තිත සම්පාදකයන් විසින් සහ නාගරික කොමාසරිස් ඇතුළු පාලන අධිකාරිය විසිනි. එය වෘත්තීය සමිතියකට කළ හැකි දෙයක් නොවේ.

මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු හා විය හැකි පුද්ගලයකු වන්නේ දකුණේ ආණ්ඩුකාර විලී ගමගේය. ඔහු ඒ සඳහා සාකච්ඡාවක් කැඳවා තිබිණි. එම සාකච්ඡාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද කැඳවා තිබිණි. සාකච්ඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිටින්නේ නම් තමන් සාකච්ඡාවට සහභාගී නොවන බව පවසමින් නැගිට නික්ම ගියහ. මේ සංවිධානය සිතා සිටින්නේ තමන්ට අවශ්‍ය ආකාරයට ඒක පාර්ශිකව කටයුතු සිදුවිය යුතුය යනුවෙනි.

ආණ්ඩුකාර විලී ගමගේ පවසන්නේ පවතින රජය පත්කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විශාල කැපකිරීමක් කළ බැවින් සුවිශේෂී සංගමයක් වන එම සංගමය කියන දේට සවන් දිය යුතු බවයි.

මේ වනවිට ගාල්ලේ සියලු සෞඛ්‍ය සායන ඇණහිට තිබේ. වෛද්‍යවරු දෙදෙනා සායනවලට සහභාගී වන්නේ නැත. අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ඒ ඒ ස්ථානයන්හි පැවැත්වෙන සායනවලට ගොස් තමන්ට හැකි උපරිමය සිදුකර වෛද්‍යවරුන් විසින් කළ යුතු කාර්යයන් ඉටුකරගැනීම සඳහා ඔවුන් හබරාදුව, අක්මීමණ හෝ බෝපේ පෝද්දල සායන වෙත යොමුකරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගාල්ලේ ජනතාව අමාරුවේ දමා ඇත්තේ එලෙසිනි.

මේ අතර ඊයේ (25) වනවිට ගාල්ල මහ නගර සභාව සතුව තිබුණේ පීසීආර් කට්ටල 230ක් පමණ ප්‍රමාණයකි. වෛද්‍යවරු දෙදෙනා විසින් තමන් නොමැතිව පීසීආර් නොකරන ලෙස නියෝග කර තිබුණ ද නාගරික කොමසාරිස්වරයාගේ අවසරය මත ඊයේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය උපකරණ නගර සභාවට නිකුත් කර නැත. එමනේම ගාල්ලේ නිරෝධායනය විය යුතු පුද්ගලයන් ඒ සඳහා යොමු කිරීම ද මේ වෛද්‍යවරු දෙදෙනා‍ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ වුවමනාව අනුව කටයුතු කිරීම හේතුවෙන් අඩපණ වී තිබේ.

මෙහි ඇති තවත් පුදුමයක් වන්නේ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කටයුතු හිතා මතාම අඩපණ කරන වෛද්‍යවරු මාධ්‍ය සාච්ඡා පවත්වමින් වෙනත් එම වරද නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් බැන වැදීමේ සිද්ධිිය මත පැටවීමට උත්සාහ කරමින් සිටීමයි. නමුත් එය මේ වනවිට අධිකරණයට කරුණු වාර්තා කරන ලද සිද්ධියක් බැවින් ඒ ගැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තම පාර්ශවයෙන් කරුණු දැක්වීම කෙතරම් දුරට නීත්‍යානුකූළ ද යන්න ප්‍රශ්න කළ යුතුය.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රිියන්ත සහබන්දුගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“ඇති වූ සිද්ධිය සමථයකට පත්කරගැනීම සඳහා ආණ්ඩුකාරවරයා මැදිහත් වෙලා සාකච්ඡාවක් කළා. ඒ අවස්ථාවේ දී නියේජ්‍ය නගරාධිපතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නාතුරු වෛද්‍යවරු දෙදෙනා තාවකාලිකව දංගෙදර පිහිටි සායන ගොඩනැගිල්ලට යාමටත් හැකි ඉක්මණින් නැවත නගර සභාවට පැමිණීය යුතු බවත් තීරණය කළා. නීතිමය ක්‍රියාමාර්ග ගත්තත් වෛද්‍යවරු දෙදෙනා නැවත පැමිණියේ නැහැ. දංගෙදර පරිශ්‍රය සෞඛ්‍ය අංශය පවත්වාගෙන යාමට සුදුසු ස්ථානයක් නොවෙයි. එතැන පුද්ගලික නිවාස තිබෙන ප්‍රදේශයක්. ඒ නිවැසියන්ට පවා හිරිහැර වෙනවා. අපේ පැත්තෙන් කිසිම අසාධාරණයක් සිදුකර නැහැ. පසුගිය පෙබරවා‍රි මාසයේ දී නගර සභාවට යෝජනාවක් ඉදිරිපත් වුණා නාගරික සෞඛ්‍ය අංශය නගර සභා ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන නොයන ලෙස. ඒ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වුණා. එය ප්‍රතිපත්තිමය තීරණයක්. වෛද්‍යවරු ගන්නා මේ ක්‍රියාමාර්ග නොකළ යුතු වැරදි දෙයක්. ජනතාව මේ ඇත්ත තේරුම්ගනීවි. වෛද්‍ය සංගමයේ සහ එහි සාමාජිකයන් කිහිප දෙනකුගේ වුවමනාවට මේ දේවල් කරන්නේ. අපි නගර සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ ගැන සෞඛ්‍ය ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාටත් දැනුම් දෙනවා. වහාම සුදුසු ක්‍රියාමර්ග ගන්න කියලා.”

මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ගාල්ල වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චිගෙන් තොරතුරු විමසීමට උත්සාහ කළ ද ඔහු අප වෙත කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නේ නැත. එම වෛද්‍යවරයා පවසන්නේ තමන්ගේ අදහස් පමණක් අපවිසින් සටහන් නොකර ඊට අදාල වෙනත් පාර්ශවයන්ගේ අදහස් ද සඳහන් කරන්නේ නම් කිසිදු තොරතුරක් ලබා නොදෙන බවයි. අපට එවැනි අවශ්‍යතාවක් නැත. තම පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා තනතුරේ බලය අයුතු‍ ලෙස භාවිතා කරන වෛද්‍යවරයකුගේ අදහස් පමණක් අප සටහන් කරන්නේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය තම අරමුණු වෙනුවෙන් ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ මේ ආකාරයෙනි.

3 COMMENTS

  1. මේ ලිපිය ලියන තැනැත්තා වජිර අබේවර්ධන ගේ ගෝලයෙක්. නියෝජ්‍ය නගරාධිපති ද එසේමය

  2. එක එක දේශපාලුවන්ට ඕන විදියට සෞඛ්‍ය නිලධාරීන් වැඩ කළ යුතු නෑ. අනිත් සෞඛ්‍ය සේවකයන් දේශපාලුවන්ට බයේ හිටියට වෛද්‍යවරුන් එහෙම බය වෙන්න ඕන නෑ. මොකද කාටවත් කඩේ ගිහින් ගත්ත රස්සාවක් නෙවෙයි ඔවුන් කරන්නෙ.

    නගරාධිපතිට අවශ්‍ය තීරණ නෙවෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කරන්න ඕන, කළ යුතු නිවැරදි දේ.

  3. this is regarding a disposal of a body Deputy mayor does not have a right to threatened a medical officer ,All doctors are under ministry of Health and not under municipal council

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!