spot_img
spot_imgspot_img

දුරකථනයෙන් කොටනවා ද ? ඔබේ භාෂා හැකියාවට සිදුවන දේ මෙන්න

පුවත්

විදෙස්

ලොව වාග් විද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ ලෝකයේ පවතින භාෂා සියල්ල මූලයන් පහකට අයත් බවයි. එනම් ඉන්දු යුරෝපීය පවුලත්, හැමිටෝ සෙමිටික් පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්ට්ක් පවුලත්, ද්‍රවිඪ පවුලත් යන භාෂා පවුල් පහය

විද්වතුන් පවසන්නේ සිංහල අයත්වන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුලට බවයි. සිංහල බස සංස්කෘත, පාලි, දෙමළ, උර්දු, තෙළි`ගු ඇතුළු ඉන්දීය භාෂාවලින් මෙන්ම පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි වැනි යුරෝපීය භාෂා වලින් ද පෝෂණය වී ඇත්තේය.

භාෂාව ව්‍යවහාරය අනුවත් වචන උච්ඡාරණය කරන ආකාරය අනුවත් එකිනෙක වෙනස් වේ. ඒ නිසාම සිංහලයේ ප‍්‍රාදේශී බස් වහර ගණනාවක් දැකිය හැකිය. දකුණේ සිංහල බස උඩරට සිංහල බසින් වෙනස් වන්නේත් මේ දකට ම වඩා දිගාමඩුල්ලේ බස් වහර වෙනස් වන්නේත් එබැවිනි.

එදා අතීතයේ භාෂාවකින් පෝෂණය වෙමින් අලූත් වචන එක් වෙමින් වෙනස් වූ සිංහල බස දැන් තරුණ කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ බස් වහර හේතුවෙන් සීඝ‍්‍ර වෙනසකට භාජනය වෙමින් තිබේ.

ඒ ස`දහා වැඩිම බලපෑමක් කැර ඇත්තේ ජංගම දුරකථනයයි. ජංගම දුරකථනය හරහා අපේ ව්‍යවහාරයට අලූත් සිංහල බසක් පැමිණ ඇත. ඇතැමුන් එය සිංගිලිෂ් ලෙස හඳුන්වයි. සිංහල ඉංග්‍රීසි වචන කොටස් එකිනෙක මිශ‍්‍ර කරමින් හෝ අකුරු අඩු වැඩි කරමින් දුරකථනයේ යවන කෙටි පණිවිඩ හේතුවෙන් මේ නව බස් වහර උපත ලබා ඇත.

මෙය දැන් එස්.එම්.එස්. වලට පමණක් සීමා වී නැත. ඇතැම් අවස්ථාවලදී යහළු යෙහෙළියන් හමුවූ විට ඔවුනොවුන් කතා කරන්නේ අදහස් හුවමාරු කර ගන්නේ මේ බස් වහරිනි. විශේෂයෙන් ම තරුණ පරපුර තමන් භාවිතා කරන එස්.එම්.එස් පණිවිඩ හා ඇතැම් විද්‍යුත් පණිවිඩ සඳහා ද මේ අළුත් ඌරුවකින් භාවිතා වන භාෂාව උපයෝගී කැර ගනිති.

එස්.එම්.එස්. භාවිතයෙන් බස වෙනස් වන්නා සේම දැන් පෙම් හසුන සමාජයෙන් තුරන්ව පවතී. අදින් වසර කිහිපයකට පෙරාතුව යෞවන යෞවනියෝ හොර රහසේ පෙම්පත් හුවමාරු කැර ගත්හ. තමන් සිය ආදරවන්තයාට හෝ ආදරවන්තියට ලියන පෙම් හසුන ඔහුට හෝ ඇයට ලබා දෙන මොහොත දක්වා ඉන්නේ නොඉවසිල්ලෙනි. ඉන් පසු එය කියවා පිළිතුරු ලැබෙන තුරු නොඉවසිල්ලෙනි. ඒ ස`දහා යම් කාලයක් ගත වෙයි.

මේ සියල්ල සිදුවන්නේ මා පියන්ට හා ගුරු වරුන්ටත් ඇතැම් විට තමන්ගේ ම මිතුරු මිතුරියන්ටත් හොර රහසේ ය.

මේ පෙම් හසුනට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. කැලණිතිස්ස රජ දවස උත්තිය කුමරු හා කැලණිතිස්ස රජුගේ බිසව අතර සිදුවූ පෙම්පත් හුවමාරුව රජුට හසු වී සිදුවූ විනාශය අපේ වංශකතාවේ දක්නට ලැබෙයි.

ඒ කාලේ පෙම්පත් ලියන්නට ඇත්තේ තල් පතේය. පසුව කඩදාසිය පැමිණීමෙන් පෙම්පත නිතර නිතර සැවොම අතර ලියවෙන්නක් බවට පත්වන්නට ඇත. ප්‍රේමය කවි සිත් පහළ කරන්නක් බව නොරහසකි. පෙම් පතේ ඇත්තේ ද වෙනම ම සාහිත්‍යයකි. අලංකාර, පෙම්බර වදන් යොදා සිය පෙම්වතිය, පෙම්වතා අමතන මේ පෙම්පත් සාහිත්‍යයේ තවත් එක් පැතිකඩකි.

සියල්ලන්ට ම හොර රහසේ ලියන මේ පෙම්පත් අපූර්ව පරිකල්පනයකින් යුතුය. ඔවුන් ඒවා ලීවේ මනා ඉවසීමකින් හා සිහිබුද්ධියකිනි. ඇතැම් විටෙක ඔවුහු කවි ලියූහ. සාහිත්‍ය වැකි නිර්මාණය කළහ. නව වදන් එක්කළහ. ඇතැම් අවස්ථාවක කඳුළු සලන වදන් මෙන්ම සිනා රසය උද්දීපනය කරන වදන් ද එහි ඇතුලත් විය. නැවත නැවතත් කියවා රසවිඳිය හැකි විය. හාස්‍යය, විනෝදය, ශෲගාරය මේ සියල්ල පෙම්පතේ කැටිව තිබිණි.

අතීතයේ පෙම්පත් වලට තිබුනේ අපූරු වැදගත් කමකි. හොර රහසේ ලබා දෙන එය ඇඳුම් අල්මාරියේ හෝ පෙට්ටගමක මුල්ලේ තැන්පත් වෙයි. ඇතැම් විටක ඒවා දෙමාපියන්ගේ අතට හසු වූ විට ප්‍රේමය එතනින් ම කෙළවර වෙයි.

මේ පෙම්පතට කාලයක්, වයසක් හෝ තරාතිරමක් තිබුණේ නැත. සෑම තරාතිරමකම අය, පාසල් වියේ පටන් මැදි විය දක්වා ම අය ඉහළම විධායක නිලධාරියාගේ පටන් යන්තම් පද දෙක තුනක් ගලපා ගත හැකි තැනැත්තා දක්වාම පෙම්පත් ලියූහ.

වර්තමානයේ පෙම්හසුන අතුරුදන්ව ඇත. ඒ වෙනුවට අතේ ගෙන යා හැකි ජංගම දුරකථනයෙන් ලැබෙන එස්.එම්.එස්. පණිවිඩය ආදේශ වී ඇත. ජංගම දුරකථනයක් ඇති අයට පෙම්පත් අවශ්‍ය නැත. විනාඩි ගණන් නොමිළේ ඇමතුම් ලබාදෙන යුගල පැකේජ හේතුවෙන් දැන් අදහස් හුවමාරු කැර ගන්නට පෙම්පත් වුවමනා නැත.

එස්.එම්.එස්. යනු මේ තාක්ෂණික ප්‍රේමය ලෝකයේ තවත් එක් කොටසක් පමණි. කෙටි පණිවිඩ ආදර වචන හුවමාරුව ඇත්තේ අපරටේ පමණක් නොවේ ඉංග්‍රීසි භාෂාවට මේ එස්.එම්.එස්. ක‍්‍රමය අහිතකර ලෙස බලපාන බව භාෂා විශාරදයන්ගේ මතයතයි.

ඉංග්‍රීසි භාෂාවේ ඇති සරල බව නිසා කෙටි පණිවිඩ ක‍්‍රමය ඉංග්‍රීසි භාෂාවට අහිතකර ලෙස බලපාන බවට මැසිවිලි නැගෙමින් ඇත. කෙටි පණිවිඩයෙන් වචන කෙටි කිරීම හේතුවෙන් මේ විනාශය සිදුවන බව පිළිගැනීමයි. You වෙනුවට U යන්නත් your වෙනුවට yr  භාවිතා වේ. I Love you වෙනුවට යොදන්නේ 143 ඉලක්කම් තුනයි. චීන ජපන් හා කොරියානු භාසා එස්.එම්.එස්. කෙටි පණිවිඩ වලින් විනාශ නොවූ භාෂාය. ඒ භාෂාවන්හි එක් එක් අකුර වචනයකට අදාල රූපයක් වීම එයට හේතුවකි.

එසේ වුව ද සිංහල භාෂාව ද එස්.එම්.එස්. ආක‍්‍රමණයට නතු වී ඇත. සිංහල වචන වැඩිපුරම දැන් ලියැවෙන්නේ ඉංග්‍රීසි අකුරු වලිනි. එදා ‘‘අනිවාර්යය’’ යන වචනය අද තරුණ තරුණියන් අතරින් ඈත්වී ඇත. දැන් ඇත්තේ ‘‘අනිවා’’ යන වදනයි.

මේ ක‍්‍රමයට සිංහල භාෂාවේ ද වචන කප්පාදු වී ඇත. වචන වාක්‍ය මෙන් ම ව්‍යාකරණ විධි භාවිතයෙන් ඈත්වී තිබේ.

පෙම්පත් ලියූ අතීත තරුණ තරුණියෝ භාෂාව මනාව පෝෂණය කළහ. මනා පරිකල්පනයකින් ගීත හා සාහිත්‍ය නිර්මාණ බිහි කළහ. එහෙත් අද වර්තමාන ප්‍රේමවන්තයෝ එස්.එම්.එස්. පණිවිඩ යොදා ගනිමින් භාෂාව විනාශ කරති.

අද එදා මෙන් පෙම්වතුන්ගේ කවි සිතිවිලි එස්.එම්.එස්. මගින් එළියට එන්නේ නැත. තාක්ෂණය මිනිසාගේ දියුණුවට හේතු වුව ද එස්.එම්.එස්. හා ඉන්ටර්නෙට් තාක්ෂණයේ ප්‍රේමවන්තයෝ අද එහි ප‍්‍රතිඵල අත්විඳිනු වෙනුවට තම මව් බස ද වනසමින් සිටිති.

ජංගම දුරකථනයේ මුල් යුගයේ තිබූ කුඩා අංක පුවරු, කුඩා දර්ශන පුවරු පණිවිඩ වඩාත් කෙටි වීමට හේතුවක් ව තිබිණි. එමෙන් ම බොහෝ කෙටි පණිවිඩ වල සටහන් කළ හැකි අකුරු ප‍්‍රමාණය ද සීමා කර තිබීම පණිවිඩය කෙටි වීමට තවත් හේතුවකි. පණිවිඩය කඩිනමින් යැවීමට අවශ්‍ය වීමත් කෙටි යෙදුම් උපයෝගී කැර ගැනීමට හේතුවකි.

මේ නව භාෂාව සම්බන්ධයෙන් සම්මත ස්ථාවර රීතීන් කිසිවක් නැත. එහිදී වචනවල අකුරු කිහිපයක් අඩු කරමින් භාවිතයට ගැනීම හෝ වචනයේ අකුරක ශබ්දය සහිත ඉලක්කමක් භාවිතා කිරීම හෝ මෙහිදී සිදුවේ. ඇතැම් විටෙක වචන කිහිපයක මුලකුරු භාවිතා කරයි. සම්මතයක් නැතත් එස්.එම්.එස් භාවිතා කරන්නෝ ඒ වචන තේරුම් ගැනීම හො`දින් දනිති. 

Lol යන්නෙන් අදහස් වන්නේ laughing out loud යන්නයි. එවැනි වචන රැසක් අද තරුණ තරුණින් අතර හුවමාරු වෙමින් පවතී.

I love you  (අයි ලව් යූ) යන්න මේ භාෂාවෙන් ලියන්නේ  Ily  හෝ 143 යනුවෙනි.

Thanks  (තෑන්ක්ස්) යන්න මේ භාෂාවේ දී ලියන්නේ  thx  යනුවෙනි.

Text (ටෙක්ස්ට්) යන්න ලියන්නේ  txt  ටෙක්ස් යනුවෙනි.

See you (සී යූ) යන්න ලියන්නේ  cu  යනුවෙනි.

What  (වට්) යන්න ලියන්නේ  wt  යනුවෙනි.

Great (ග්‍රේට්) යන්න මේ භාෂාවේ  gr8  යනුවෙන් ලියයි)

What are you doing  යන්න ලියන්නේ wyd යනුවෙනි

ok  වෙනුවට ලියන්නේ k  අකුර පමණි

School  යන්න scl  වී තිබේ.

are යන්න a  ලෙස තනි අකුරක් බවට පත්ව ඇත

You යන්න ද u යන තනි අකුරයි

Why  ලියන්නේ y  ලෙසිනි

Friend යන්න frd  ලෙස කෙටි වී ඇත.

Tomorrow  යන්න ඉලක්කමක් සහිතව 2mrw  බවට පත්ව ඇත.

Good night  යන සුබ පැතුම g9t / gn වෙනස් වී ඇත.

Good morning  ලියන්නේ gm  ලෙසිනි

Happy birth day යන්න hbd  බවට පත්ව තිබේ.

Boy friend, bf  යනුවෙන් කෙටි වී ඇත.

Girl friend, හඳුන්වන්නේ gf  යනුවෙනි.

Class  යන්න clz  ලෙස වෙනස් වී තිබේ

බුදු සරණයි යන වචනය මේ භාෂාවේ ලියන්නේ bs යනුවෙනි.

දෙවි පිහිටයි යන්න dp  ලෙස කෙටි වී තිබේ.

දුරකථනය ^phone) යන වචනය ලියවෙන්නේ 4n යනුවෙනි.

දුරකථන ඇමතුම් (call) යන්න ලියන්නේ cl  යනුවෙනි

කාර්යාලය (Office)  යන්න ofz  ලෙස වෙනස් වී තිබේ.

කරුණාකර (please) යන්න plz ලෙස ලියයි.

නිදියනවා (sleeping) යන්න සඳහන් කරන්නේ  zzzzz  ලෙසිනි.

මේ ආකාරයට කෙටි පණිවිඩ භාවිතයට ගත්ත ද මෑතක දී ඇමෙරිකාවේ කළ පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ එරට සංසරණය වන කෙටි පණිවිඩ වලදී මේ නව කෙටි බස් යෙදුම් භාවිතා කරන්නේ සියයට 20ක් තරම් සුළු පිරිසක් පමණක් බවයි.

මේ නව කෙටි යෙදුම් සම්බන්ධයෙන් සමාජයේ වැඩිහිටි පරපුරට යහපත් හැ`ගීමක් නැත. පාසල් ගුරුවරු ලේඛකයන් වැනි පිරිස් මේ භාෂාවට දැඩි විරෝධයක් දක්වති. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මෙවැනි භාෂා රටාවකට හුරු වීමෙන් තරුණ පරපුර, විශේෂයෙන් ම පාසල් ළමුන් නිවැරදිව ලිවීමට කම්මැලිකමක් දක්වන බවයි.

මේ භාෂාව හැසිරවීමේ දී ගැහැනු හා පිරිමි දෙපාර්ශවය වෙනස්කම් දක්වයි. පර්යේෂකයන් පවසන්නේ කාන්තාවන්ගේ එස්.එම්.එස් පණිවිඩ පිරිමින්ගේ පණිවිඩ වලට වඩා දිගු බවයි. කාන්තාවෝ පිරිමින්ට වඩා ව්‍යාකරණවලට වැඩි අනුකූලතාවක් දක්වති. පිරිමින්ගේ පණිවිඩයේ බොහෝ විට අඩංගු වන්නේ එක් වැකියක් හෝ එක් අදහසක් පමණි. කාන්තාවන්ගේ පණිවිඩවල සුබ පැතුම් බහුලව ඇත. වඩාත් හැ`ගුම්බර අදහස් දක්වන්නේ කාන්තාවන් බව ද පර්යේෂකයෝ තහවුරු කරති.

කෙසේ වෙතත් එස්.එම්.එස් භාෂාව භාවිතය දිනෙන් දින වැඩිවෙමින් පවතී. එය භාෂාවක් සම`ග ගොඩනැගෙන තවත් උප භාෂාවක් වන තරමට ම වැඩි දියුණු වෙමින් පවතින්නකි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!