spot_img
spot_imgspot_img

මිත්‍යාවේ ගිලුණු රටක, අවුරුදු අපලය

පුවත්

විදෙස්

මිනිසා සංස්කෘතික සහ විද්‍යාත්මකව වර්තමානය තරම් නොදියුණු යුගයක සිට පැවත එන මතිමතාන්තර වෙනුවෙන් රුපියල් මිලියන ගණන් වියදම් කරමින් ඒවා නඩත්තුකරන ශ්‍රී ලංකා රජය සම්ප්‍රදායික අවුරුදු නැකත් පත්‍රයේ ගැටලුව විසඳා ගැනීම සඳහා ප්‍රකාශ නිකුත්කරමින් සිටියි.

දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් බොහොමයක සූර්යයා පිදීමේ චාරිත්‍රය සියවස් ගණනාවක් තිස්සේ පැවත ආ අතර හින්දු සහ බෞද්ධ ජනතාව ද එවැනිම චාරිත්‍රයක් පවත්වාගෙන පැමිණ තිබේ. එය මේ වනවිට සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව පවත්වාගෙන යන අතර ජාතික උත්සවයක් බවට පත්ව ඇති අලුත් අවුරුද්දේ තීන්දු තීරණ ගැනීමේ නිල අයිතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සතු වෙයි.

ඒ අනුව අලුත් අවුරුදු සැමරීම සඳහා නැකැත් සීට්ටුව සකසන්නේ එම අමාත්‍යාංශය මගින් පත්කරනු ලබන රාජ්‍ය නැකැත් කමිටුව විසිනි.

එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැති, අලෝක වර්ෂ ලක්ෂ ගණනක් එකිනෙකාට ඈතින්න පිහිටි තාරකා රැසක් සිතින් මවාගත් රූපවලට නගා එ්වා රාශි ලෙස හඳුන්වමින් ඒ තුළට අප සෞරග්‍රහ මණ්ඩලයේ හිරු ගමන් කරන්නේයැයි උපකල්පනය කර මේ නැකැත් කරුවෝ නැකැත් සාදති.

මේ වනවිට සිදුව ඇත්තේ රාජ්‍ය නැකැත් කමිටුව විිසින් සාදන ලද අවුරුදු නැකැත් රටට, රාජ්‍ය නායකයාට අපල යැයි කියමින් තවත් පිරිසක් වාද විවාද කිරීමයි.

මෙයට කිසියම් විද්‍යාත්මක පදනමක් තිබේ ද යන්න ගැටලු සහගතය. දියණු රටවල ජනතාව වෙනත් ග්‍රහලෝක මත ජනාවාස ගොඩනැගීමට, ඒවායේ ඇති වටිනා ඛනිජ ද්‍රව්‍ය වලින් ප්‍රයෝජනය ගැනීමට සැළසුම් සකස් කරද්දී ශ්‍රී ලංකා රජය නැකැත් ගැන වාද විවාදවල පැටලී සිටින අතර සෙනසුරු ග්‍රහ අපලයෙන් බේරීමට බල්ලන්ට සහ කපුටන්ට දානය දෙන ජන සමාජයක් සමඟ රට දියුණු කරන බව කියති.

අවිච්ඡින්නව පැවත එන සංස්කෘතික අංග අප රැකගත යුතු බවට විවාදයක් නැත. මහනුවර දළදා පෙරහැර, කතරගම ගිනි පෑගීම, දහ අට සන්නි නැටුම්, උඩරට පහතරට සහ සබරගමු නැටුම් සම්ප්‍රදායන් වැන් සංස්කෘතික අංග ආරක්ෂා කර ඒවා ජාත්‍යන්තරයේ අවදානය ‍සඳහා යොමුකළ යුතුය. නමුත් මෙවැනි නැකතක පැටලී ලක්ෂ ගණන් වියදම් කරමින් ඒ පිළිබඳ වාද විවාද පැවැත්වීමේ හරයක් තිබේ ද යන්න ගැටලුවකි.

සංස්කෘතිික දායාද රැකගැනීමට යැයි කියමින් හරසුන් ක්‍රියාවන් තුළින් මුදල් කාබාසිනියා කිරීමට මේ රටේ බොහෝ දෙනකු උපන් හපන්නුය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසන්නේ විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව සකස් කරන ලද අවුරුදු නැකැත් සීට්ටුව අනුව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකරන ලෙසයි.

1993 වර්ෂයේ සිට පැවැත එන සම්ප්‍රදායට අනුව 2024 වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ප්‍රවීන ජෝතීර්වේදීන් 22 දෙනකුගෙන් සැදුම්ලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් බව ද සඳහන් කරන අමාත්‍යාංශ ලේකම්වරයා, මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් නිවැරදි බවට අත්සන් කළ එක් ජෝතීර්වේදීයකු තවත් සුළු පිරිසක් සමඟ එක්වී සාම්ප්‍රදායික ක්‍රමයට අභියෝග කිරීම නිසා මේ තත්වය උද්ගතව ඇතැයිද සඳහන් කර තිබේ.

අවුරුදු නැකතේ සුබ අසුබ කතා කරමින් ඇතැම් පිරිස් ජනතා ප්‍රශ්න අමතක කිරීමට කටයුතු කරන බවට ද මේ වනවිට මහජනතාවගෙන් ම චෝදනාවක් එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!