spot_img
spot_imgspot_img

මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි

පුවත්

විදෙස්

  • මහින්ද, මෛත්‍රී  ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි
  • මහින්ද මාස 111කට ලබාගත් වැටුප රුපියල් මිලියන 9.7යි
  • මෛත්‍රී  මාස 59 කට ලබාගත් වැටුප රුපියල් මිලියන 5.6 යි 
  • වත්කම්  බැරකම් ජනතාවට විවෘත වෙනවනම් ජනතාව තුළ දේශපාලඥයින් ගැන සැකයක් ඇති වන්නේ නෑ – රෝහණ හෙට්ටිආරච්චි -පැෆ්රල් සංවිධානය

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළට පිවිසෙන බොහොමයක් දේශපාලඥයින් තම දේශපාලන දිවිය ආරම්භ කරනු ලබන්නේ ඉතා පහළ ආර්ථික තත්වයක සිට වේ. බොහෝ අවස්ථාවන්හි ඔවුන්ට මැතිවරණය වෙනුවෙන්වත් වියදම් දරා ගැනීමට නොහැකි තත්වයක් පවතී. එසේ වූ පසුබිමක දේශපාලනයට පැමිණ නොබෝ කලකින් හෝ වසර කීපයක් තුළදී ධනවතුන් වන දේශපාලඥයින් විසින් ධනය ඉපයූ ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ පැනනැගෙන්නේ කුතුහලයකි.

විශේෂයෙන්ම රුපියල් පනස් දහසක සිට ලක්ෂයකට අධික මුදලක් දක්වා වැටුපක් ලබන රාජ්‍ය සේවකයින් හා පුද්ගලික අංශයේ සේවකයින් පවා එම වැටුපෙන් ජිවත් වන්නේ කොපමණ දුෂ්කරතාවයකින් යුතුව ද යන්න ලංකාවේ පවතින වර්තමාන දැඩි ආර්ථික අර්බුදය තුළ දී කැපී පෙනෙන දෙයක් වේ.

සැලකිය යුතු මට්ටමේ වැටුපක් ලබාගන්නා පුරවැසියන් පවා පවතින ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කර ජිවිත ගතකරන විට, මෙරට සිටි රාජ්‍ය නායකයින බලයට පැමිණීමෙන් පසු මෙන්ම බලයෙන් ඉවත්වූ විට ධනපතියන්සේ සුඛෝපභෝගී ජිවිත ගතකරනු ලබන්නේ කෙසේද යන්න බරපතල ගැටලුවකි. මේ නිසාම ලංකාවේ 2005 වර්ෂයේ සිට 2015 දක්වා කාලය තුළ දී ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ හා 2015 සිට 2019 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන  විසින් තම ධුරකාලය  තුළ දී පමණක් ලබාගත් වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මගින් ලබාගත් තොරතුරුවලට අනුව අනාවරණය වූයේ ඒ දක්වා වූ ජනාධිපතිවරයෙකුගේ මාසික වැටුප රුපියල් 95000.00ක් බවයි.

 ඒ අනුව 2005 වර්ෂයේ සිට 2015 දක්වා කාලය තුළ දී ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ධුරයේ සිටින විටදී 2005 වර්ෂයේ දී ලබාගෙන ඇත්තේ නොවැම්බර් මාසයේ රුපියල් දසදහසක් (10000.00)ක් හා දෙසැම්බර් මාසයේ රුපියල් විසි පන්දහසකි (25000). ඒ හැරුණු කොට 2007 සිට 2014 දෙසැම්බර් දක්වා සෑම මාසයකම රුපියල් 95000.00 බැගින් වැටුපක් ලබාගෙන තිබේ. එමෙන්ම 2015 ජනවාරි මාසයේ පමණක් වැටුප ලබාගෙන ඇති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම මාසයේදී ලබාගෙන ඇත්තේ රුපියල් 25000.00ක් පමණි.  ඒ අනුව ඔහුගේ සම්පූර්ණ ධුර කාලය තුළ දී මාස 111ක්  වැටුප ලබාගෙන ඇති අතර එහි සම්පූර්ණ වටිනාකම වන්නේ රුපියල් මිලියන 9.7ක් ( 9764500) පමණි.

එමෙන්ම 2015 සිට 2019 නොවැම්බර් මස දක්වා මාස 59 ක කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන විසින් එම කාලය තුළ දී ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 5.6 ක් (5680733) වේ. මේ ආකාරයෙන් සාමාන්‍ය වැටුපක් ලබාගත් මෙරට පාලකයින් තම ධුරකාලයේ දී විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදුකරමින් මුදල් උපයන බවට ජනතාව මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම මාධ්‍ය  පවා විටින් විට අවධානරණය කරනු ලැබී ය. එයට සාධාරණ සැකයක් ඇතිවන්නේ පාලනයෙන් පසුව ඔවුන්ගේ වත්කම් වැඩිවීම නිසා ය.

”නිවැරදි කෙනෙකුට චෝදනා කිරීමෙන් ඔහුට යම් අසාධාරණයක් වෙනවා. නමුත් එය ජනතාව දැනගන්න නම් එයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරලා තියෙන්න ඕන. හැබැයි ඒ සම්බන්ධයෙන් හොයන්න ආණ්ඩුවේ යාන්ත්‍රණවලට දෙන එක මගේ විශ්වාසයක් නෑ. මොකද ඒවායේ දෙන තොරතුරු හරිද වැරදිද කියලා බලන්න තැනක් නෑ. ඒ වගේම වාර්ෂිකව ද වත්කම් හා බැරකම් ගැන සොයා බැලීමක් සිදුකරන්නේ නෑ. ඒ නිසා මහජන නියෝජිතයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ වාර්ෂිකව ඉදිරිපත්කළ යුතු සේම විගණනයක්ද කෙරෙන්න ඕන. මේ සියල්ල බලන්න නම් ඡන්දයට කලින් තමන්ගේ පාක්ෂිකයාට මෙන්ම තමන් පොදු වස්තුවක් වෙන්න යන බල ප්‍රදේශයේ පුරවැසියාට එය ප්‍රසිද්ධ කරන්න ඕන.”

මහජන දේපල අවභාවිතය මෙන්ම මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන්  ලංකාවේ දේශපාලඥයින්ට දැඩි ලෙස එල්ල වන චෝදනාවක් වේ. එය මෙරට බොහෝ දේශපාලඥයන් විසින්ද සිදුකර තිබීම නිසා ඒ සම්බන්ධයෙන් පුරවැසියා තුළ සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය හැකි කරුණක් නොවේ. එමෙන්ම මහජන නියෝජිතයන් ලෙස මැතිවරණයට ඉදිරිපත්වන කුමන හෝ පුද්ගලයෙකු වුවත් ඔහු දූෂණයෙන් තොර අයෙකු නම් ඔහුට අයත් වත්කම හා බැරකම් සම්බන්ධයෙන් පුරවැසිය දැනුවත්කිරීමට වගවීමක් ඇතිවිය යුතුය.  එමෙන්ම දූෂණයෙන් තොර විනිවිදභාවයකින් යුත් රජයක් නම් මැතිවරණයට ඉදිරිපත්වන පුද්ගලයින්ගේ වත්කම් හා බැරකම් ජනතාවගෙන් වසන්කර හමස් පෙට්ටියක දමා තිබීම වලක්වා,  ජනතාවට විවරකළ  හැකි නව නීති සකස් කිරීමට රජය කටයුතු කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!