spot_img
spot_imgspot_img

කොටි, පාසලක් අල්ලා ගනී

පුවත්

විදෙස්

කුමන ජාතික වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි පැරණි කුමන ගම්මානයේ පාසල් ගොඩනැගිලි මේ වනවිට කොටියකු විසින් අත්පත් කරගෙන තිබේ.

එම කොටියා කුමන පාසලේ ගොඩනැගිලි අතර සැරිසරන ආකාරය එහි සංචාරය කළ වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් ඡායාරූපගත කර ඇත.

වෛද්‍යවරයා Wasiri rasu Gajaman නමැති තම facebook ගිනුමක එම ඡායාරූප පළකර ඇත්තේ අපූරු ඉතිහාස කතාවක් ද සමගිනි.

මේ ඔහු තැබූ සම්පූර්ණ සටහනයි.

1818 දී ඉංග්‍රීසීන්ට විරුද්ධ ඌව වෙල්ලස්ස කැරැල්ල පරාජයට පත්වීමෙන් පසුව කුඹුක්කන් ඔය නිම්නය ඔස්සේ දකුණු දෙසට පළා ආ සිංහල ජනතාව කුඹුක්කන් ඔයේ මෝය අවට කුමන මහ වන මැද ජනාවාසයක් තනාගෙන එහි පදිංචි වූහ.

එවක එහි විසූ ජනතාව වැඩි හරියක් කුමන වැව ආශ්‍රිතව පිහිටි කුඹුරු වල වී වගාවේ යෙදුනු අතර, තවත් පිරිසක් කුමන කලපුවේ හා මුහුද ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ ද, තවත් පිරිසක් සතුන් දඩයමෙන්ද, සමහරු කැලයේ අල වර්ග, පළතුරු හා මී පැණි එකතු කර විකිණීමෙන් ද ජීවිකාව ගැට ගසා ගත් හ. ගම්මානයේ තිබූ එක ම ගඩොලින් ඉදිකළ උළු සෙවිලි කළ නිවස වූයේ ගමේ එකම වෙළඳ සලේ හිමිකරු වූ පියදාස මුදලාලිගේ නිවසයි. සෙසු සියලු නිවාස පොල් අතු හෝ ඉළුක් සෙවිලි කළ කටුමැටි වරිච්චි ගෙවල් විය. ආසන්නම කඩ මණ්ඩිය වූ පානම ගමට කුමන සිට කිමී 36ක්ද, වඩා විශාල නගරය වූ පොතුවිල්වලට කිමී 50ක් ද දුර වූ අතර එම නගරයන්හි සිට ගමට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට සහ ගමේ නිෂ්පාදන නගරයට ගෙන යාමට තිබූ එකම ප්‍රවාහන මාධ්‍යය පියදාස මුදලාලිගේ ගොන් කරත්තය විය.

පියදාස මුදලාලිගේ නිවස හැරුණු විට එම ගමේ තිබූ එකම උළු සෙවිලි කළ ගොඩනැගිල්ල, කුමන රජයේ පාසැල් ගොඩනැගිල්ල විය.

එවක ලංකාවේ ජාතික වනෝද්‍යානයක් තුළ පිහිටි එකම ගම්මානය වූ මෙහි වැසියන්ට නිතර නිතර වන සතුන්ගේ පහරදීම් වලට ලක් වීමට සිදුවූ අතර ප්‍රතිකාර සඳහා කරත්තයෙන් පොතුවිල් රෝහලට ගෙන යාමේදී අතර මඟ දී සමහරුන් මිය යාම සිදුවිය. මේ සියලු කරදර මධ්‍යයේ වුවද මෙහි වැසියන් මෙම ගම්මානයෙන් ඉවත් කිරීමට එවක රජයයන් ගත් සියලු උත්සාහයන් ගම් වැසියන්ගේ විරෝධය නිසා ව්‍යර්ථ වූ අතර 1980 දශකයේ අග භාගයේදී ත්‍රස්තවාදී ප්‍රහාර උත්සන්න වී, කුමන ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු වනජීවී නිලධාරීන් ත්‍රස්ත ප්‍රහාර වලින් ඝාතනය වී, වනජීවී කාර්‍යාල ගිනිබත් කළ පසු, මෙම ගම්මානයේ මිනිසුන් බලහත්කාරයෙන් ඉවත් කොට මාදුරුඔය ව්‍යාපාරයේ ඉඩම් වල පදිංචි කරවන ලදි. මෙයින් පසු කුමන ගම්මානය ජන ශූන්‍ය වූ අතර පසු කලෙක පාසල් ගොඩනැගිල්ලේ හමුදා කඳවුරක් ස්ථාපනය කර පවත්වා ගෙන යන ලදි. මීට වසර කීපයකට පෙර එම හමුදා කඳවුරද සම්පූර්ණයෙන් ඉවත් කළ අතර මේ වන විට එම ගොඩනැගිලි ක්‍රම ක්‍රමයෙන් වනාන්තරය විසින් වසා ගනිමින් පවතී.

පසුගිය දිනෙක අප කුමන ජාතික වනෝද්‍යානයේ කළ සංචාරයේදී එකී පාසැල් ගොඩනැගිල්ල තුළ රැඳී සිටි කොටි නාම්බෙකු මෙසේ අපගේ කැමරා වලට හසු විය.

කොටියාගේ පෙළපත් විස්තර හා අනෙකුත් විස්තර තවදුරටත් තහවුරු කර ගැනීමෙන් පසු දින කිහිපයකින් අප ඔබට හෙළි කරන්නට බලාපොරොත්තු වෙමු

https://www.facebook.com/wasirig

https://www.instagram.com/wasirigajaman/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!