රඹුක්කන නගරයේ දී පසුගිය 2022 අප්‍රේල් මස 19 වැනි දින පැවැති මහජන උද්ඝෝෂණයක දී පොලිස් පහරදීමෙන් පුද්ගලයකු මියයාම සහ පොලිසිය එම අවස්ථාවේ දී ක්‍රියාකළ ආකාරය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාට සිය වාර්තාව ලබා දී තිබේ.
රඹුක්කන නගරයේ දී ඉන්ධන බවුසරයක් සම්බන්ධ සිද්ධියක දී විරෝධතාකරුවන් විසුරුවාහැරීමට යැයි පවසමින් පොලිසිය කරන ලද වෙඩි තැබීමකින් 42 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් මියගියේය.
මේ සම්බන්ධහෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බහුවිධ ප්‍රවේශයකින් යුතු විශේෂඥයන් කණ්ඩායමකගේ දායකත්වය ලබාගනිමින් විමර්ශනයක් සිදුකරන ලදී. එම වාර්තාව අප්‍රේල් 18 වැනි දා පොලිස්පතිවරයාට බාර දී ඇත.
එම වාර්තාවේ සඳහන් වන්නේ කඳුළු ගෑස් මෙහෙයුම අවසන් වීමට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමට නියෝග කර ඇති බවයි. මෙලෙස වෙඩි තැබීමට නියෝග කිරීම නීතිමය ක්‍රියාපිළිවෙත් අභිබවා යාමක් මෙන් ම වැරදි උපකල්පන මත එළැඹුණු තීරණයක් බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කර තිබේ.
දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කළ විට එය සිදුකළ යුත්තේ පැහැදිලිවම දණහිසෙන් පහළට වෙඩි තැබිය හැකිනම් පමණක් බව ද එසේ වුවත් තමන්ට කැමති ස්ථානයකට වෙඩි තැබීමේ අත්තනෝමතික තීරණය පොලිස් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමක් බව ද මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත.
ජනතාව විසුරුවාහැරීමේ මෙහෙයුමක දී මාරාන්තික ගිනි අවි යොදාගත යුත්තේ ඉලක්කය පැහැදිළිව හඳුනාගත හැකි අවස්ථාවක දී පමණක් බවත්, එලෙස ඉලක්කය පැහැදිළිව හඳුනාගත නොහැකි නම් එසේ වෙඩි තැබීමෙන් වැළැකී සිටිය යුතු බවත් පොලිස් නිලධාරීන්ට ලබා දෙන පුහුණුවේ දී සඳහන් කර ඇති කරුණක් බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
එම කරුණු අනුව නීතියේ දක්වා ඇති පරිදි ඉලක්කයක් නිසි ලෙස හදුනාගැනීමෙන් තොරව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මානව හිමිකම් කොමිසමේ තීරණය වී ඇත.
එමෙන් ම ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවිවලින් සන්නද්ධ පොලිස් භටයින් පොළොවට වෙඩි තැබූ බව කියන සිද්ධිය ද පොලිස් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.