spot_img
spot_imgspot_img

අපට නොපෙනෙන අති දුර්ලභ සූර්යග්‍රහණය

පුවත්

විදෙස්

ඉතාමත් කලාතුරකින් සිදුවන දෙමුහුන් සූර්යග්‍රහණයක් අද උදෑසන 7.04 ට ආරම්භ වී දහවල් 12.29ට අවසන් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

එය එකම සූර්යග්‍රහණය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරුවීමක් බව ද හෙතෙම කීවේය.

මෙය ශ්‍රී ලංකාවේ සිට නැරඹිය නොහැකි සිදුවීමකි. නමුත් නාසා ආයතනයේ සජීවී විකාශය අපට අවශ්‍යනම් නැරඹීමට හැකියාව ඇත.

මහාචාර්යවරයා පවසන්නේ මෙම අපූරු සංසිද්ධිය නැරඹිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77%ක් තරම් සුළු පිරිසකට පමණි. ඉන්දියන් සාගර ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය දර්ශනය වීම ආරම්භවන අතර පැසිෆික් සාගරයෙන් එහි දර්ශනය අවසන් වේ. ඒ හේතුවෙන්න බටහිර ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින ජනතාවට පමණක් මෙම සූර්යග්‍රහණය නැරඹිය හැකිය.

පෘථිවියේ උපග්‍රහයා වන චන්ද්‍රයා සූර්යයා සහ පෘථිවිය අතරට පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය මත පතිතවන ප්‍රදේශවලට සූර්යග්‍රහණ නිරීක්ෂණය කළ හැකිය.  චන්ද්‍රයාගේ ගමන පෘථිවිය වටා ඉලිප්සාකාරව සිදුවන බැවින් පෘථිවිය සහ චන්ද්‍රයා අතර ඇති දුර සාමාන්‍ය අගයෙන් 6%කින් වෙනස් වීමේ හැකියාවක් තිබේ. මේ නිසා චන්ද්‍රයාගේ දෘශ්‍ය ප්‍රමාණය පෘථිවියේ සිට ඇති දුර අනුව වෙනස් වන බැවින් පූර්ණ සහ වළයාකාර සූර්යග්‍රහණයක් ඇති වේ.

මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේ මෙම සූර්යග්‍රහණය වළයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට මාරු වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වන අවස්ථාව දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවිය මත ඇති බවයි. නමුත් ඒ දෙකම පිහිටා ඇත්තේ සාගරයේ බැවින් කිසියම් අයකු එය නැරඹීමට නම් එම ස්ථානයට නැවකින් හෝ වෙනත් යානයකින් යා යුතුය.

මෙවැනි දෙමුහුන් සූර්යග්‍රහණ ඉතාමත් දුර්ලභය. මීට පෙර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය අදින් වසර 10කට පෙර 2013 වර්ෂයේ නොවැම්බර් මස 03 වැනි දා  සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේ දී සිදුවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!