spot_img
spot_imgspot_img

කිරිවත්තුඩුවේ පිස්සු බල්ලෝ. සපා කෑ තිදෙනෙක් රෝහලේ

පුවත්

විදෙස්

ජලභීතිකා රෝගය වැළඳුණු බල්ලකු සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකුගේ මුහුණේ සැත්කමක් ද කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සුනඛයා විසින් සපා කා ඇත්තේ කිරිවත්තුඩුව, තලගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

මෙම සිද්ධියත් සමඟ එම ප්‍රදේශයේ කරන ලද හදිසි සොයා බැලීමක දී ජලභීතිකාව වැළදී ඇතැයි හෝ වැළඳීමට අවදානමක් ඇතැයි සැළකෙන බල්ලන් 76ක්, පූසන් 39ක් ඇතුළු ඉබාගාතේ යන සතුන් 289 දෙනකු සොයාගත් බවත් ඇතැම් බල්ලන් ගවයන් පවා සපා කා ඇති බවත් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ පවසයි. එම සතුන් සොයාගෙන ඇත්තේ කිරිවත්තුඩුව, තලගලවත්ත, කිතුලවිල, මූනමලේ වත්ත සහ යකහළුව යන ප්‍රදේශවලිනි.

මුහුණ සපාකෑමට ලක්වූ පුද්ගලයාගේ නිවසේ ඇති ගව ගාලක සිටින හරකුන් ද බල්ලන් විසින් සපා කා ඇති අතර එම ප්‍රදේශවාසීන් විසින් එම බල්ලා ඝාතනය කර හිස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් පසු ජලභීතිකාව ආසාදිත බල්ලකු බවට හඳුනාගෙන තිබිණි.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජලභීතිකා මර්ධන ඒකකය සහ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව ස්ථාන 12ක දී බල්ලන් සහ බළලුන් සඳහා එන්නත් ලබාදීමට පියවර ගෙන තිබිණි.

මේ පිළිබඳ අදහස් දැක්වූ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ පවසන්නේ කිසියම් නිවසක සුනඛයකු හෝ බළලකු සුරතලයට ඇති කරනවානම් කරුණාකර එම සත්වයාට විධිමත් ලෙස එන්නත් කරණය කළ යුතු බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඉතාමත් කණගාටුවට කාරණයක් තිබෙනවා. අපි කළ සමීක්ෂණයේ දී තහවුරු වුණා වැඩි දෙනෙක් සතුන් හදන්නේ සුරතලයට නොවෙයි ගෙවල්වල ආරක්ෂාවට ඒ නිසා පාරේ ඉන්න සතුන්ට කෑම ටිකක් දීලා ගෙදරට පුරුදුකර ගන්නවා. මේ සත්තු ගෙවල් ඉස්සරහා ගේට්ුව ගාව හෝ ඒ අවට ගැ‍වසෙමින් ඉන්නවා. මේ සතුන් එන්නත් කිරීමක් කරන්නේ නැහැ. සතුන්ගෙන් තමන්ගේ ආරක්ෂාව පතනවා විතරයි. ඒ සතුන්ගේ සෞඛ්‍යය ගැනවත් අවට ජනතාවගේ සෞඛ්‍ය ගැනවත් හිතන්නේ නැහැ. මේක ඉතාමත් බරපතල වරදක්. මෙය ජලභීතිකාව පැතිරෙන්න ප්‍රධාන හේතුවක්.”

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ වනවිට රජයේ රෝහල්වල ජලභීතිකා මර්ධන එන්නතේ හිඟයක් ඇති බවයි. ඒ නිසා පුද්ගලික අංශයෙන් ජලභීතිකා එන්නත ලබාගන්නේ නම් රුපියල් 30,000.00ක පමණ මුදලක් වැය වන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!