spot_img
spot_imgspot_img

ආණ්ඩුවේ රිලා නැටුම ?

පුවත්

විදෙස්

චීන රජය හෝ චීන සමාගමක් හෝ ශ්‍රී ලංකාවෙන් රිලව් ඉල්ලා නැතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිළිව ප්‍රකාශ කර තිබිය දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රිලව් අල්ලා විකුණන ආකාරය පිළිබඳ පවා සැළසුම් සකස් කර තිබේ.

මහින්ද අමරවීර අමාත්‍යවරයා අද දෙරණ “මොකද වුණේ“ වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ රිලවකු අල්ලාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 20,000.00ත් 25,000.00ත් අතර මුදලක් අදාළ සමාගමට වියදම් වනු ඇති බවයි.

අමාත්‍යවරයා එම වැඩසටහනේ දී ද කියා සිටියේ මෙම ව්‍යාපෘතිය චීන සමාගමකින් ලබා දී ඇති බවයි. චීනයේ සත්වෝද්‍යාන 1,000කට අධික ප්‍රමාණ්‍යක් තිබෙන බවත් ඒ සත්වෝද්‍යානවලට සැපයීම සඳහා රිලව් ඉල්ලා ඇති බවත් කීවේය.

නමුත් චීනය පවසන්නේ එරට ඇත්තේ සත්වෝද්‍යාන 18ක් බවයි.

එම වැඩසටහනට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“වන්ධ්‍යාකරණ ව්‍යාපෘති කළා. ඒවා අසාර්ථකයි. එහෙම කරපු වෙලාවට රිලව් තුවාල වෙලා විඳවලා මැරුණා. තව අවුරුදු 10ක් විතර යනකොට මිනිසුන්ට ගෙදරින් එළියට බහින්න බැරිවෙනවා. සමහර විට බටහිර රටවල් මුවෝ වැඩි වුණාම කාලයකට මුවෝ දඩයම් කරන්න දෙනවා. මස්වලට විකුණනන්නත් දෙනවා. නෝර්වේ ගියාම තල්මසුන් මරලා විකුණන්න තියෙනවා. කැන්ගරුවෝ වැඩි වුණාම මරලා දානවා. පරිසරවේදීන්ට හෙට අනිද්දාට ගෙවල්වල ඉන්නත් බැරිවේවි. රිලවකුට දවසක් දෙකක් කන්න දීලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා.“

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ චීනය මෙම ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කිරීමට සූදානනම් බවයි. ලබන මාසේ 1000ක් රැගෙන යාමට අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා නවීන තාක්ෂණය සහති කූඩු වර්ගයක් යොදාගන්නා බවත් ඇමතිවරයා කියයි. රිලව් අල්ලන්නේ මුදල් ගෙවා බවත් ඒ සඳහා එක රිලවකු වෙනුවෙන් රුපියල් 20,000.00ත් 25,000.00ත් අතර මුදලක් වියදම් කරන්න සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

එක් රිලවකුට රුපියල් 50,000.00ක් 75,000.00ක් විතර දීලා කන්න ඒ මිනිස්සුන්ට පිස්සුද ?“ යනුවෙන් අමරවීර අමාත්‍යවරයා වැඩසටහනේ දී ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් තම රටට රිලවුන් ඉල්ලා නැතැයි චීන තානාපති කාර්යාලය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟම පරිසරවේදීන් මේ කතාවේ ඉතාමත් භයානක පැතිකඩක් විස්තර කරයි. ඔවුන් පවසන්නේ මෙවැනි දෙයකි.

“දැන් අපිට පැහැදිලියි රිලවුන් චීනයට පටවනවා කියන කතාව මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු රජයේ බොරුවක් බව. මෙය ඉතාමත් සැළසුම් සහගතව ගොතන ලද කතාවක්. කෘෂිකර්ම අමාත්‍යාංශයවත්, වනජීවී දෙපාර්ත්මේන්තුව ඇතුළු මේ රටේ කිසිම වගකිව යුතු අයෙක් රිලවුන් ඇතුළු සතුන්ගෙන් සිදුවන වගාහානිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. ඒ අය විසඳුම් හෙව්වේ නෑ. දැන් ප්‍රශ්නය උග්‍රෙවලා. මේකට විසඳුම් සෙවිය යුතු බව අපි පිළිගන්නවා. යම් සතෙක් වගාහානි කරනවානම් ඔවුන්ගේ ගහනය පාලනය කළ යුතුයි. නමුත් ඒක කරන්න ඕනෑ සතා රට පටවලා නෙවෙයි. විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව. අසමත් වුණු දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් එකතුවෙලා අපූරු කතාවක් ගොඩනැගුවා. චීනයට රිලව් ඉල්ලනවා කියලා. ඔවුන්ට ඒ කතාව ගොඩනැගුවේ සැළසුමක් නැතිව. එතකොට ඔවුන් දන්නවා විද්‍යාත්මක නොවන ක්‍රමවේදයකට සැළසුමක් නැතිව සතුන් ඉවත්කරනවාට පරිසරවේදීන් ඇතුළු සතුන්ට ආදරය කරන අය විරුද්ධ වෙන බව. ඊට පස්සේ ඔවුන්ම කියනවා පරිසරවේදීන් විරුද්ධ නිසා මේ රිලා ප්‍රශ්නය විසඳගන්න බෑ කියලා. මේක මේ අසමත් දේශපාලකයන්ගේ බංකොලොත් උපායක්. ඒක මේ රටේ ජනතාව හොඳින් තේරුම් ගන්න ඕනෑ.“

චීනය මේ වනවිට තම රටේ කිසිදු සමාගමක් ශ්‍රී ලංකාවෙන් රිලවුන් ඉල්ලා නැති බව තහවුරු කරමින් ප්‍රකාශ පවා නිකුත් කර තිබේ.

මේ පිළිබද කරුණ ුසොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට කතා කළ ද ඔවුන් රිලවුන් අපනයන සම්බන්ධයෙන් ක්‍රියාවලියක් පිළිබඳ සාකච්ඡාවක් හෝ පැවති බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!