අරගලයේ ආරම්භක ක්‍රියාකාරිකයකු විසින් තම මරණයට පෙර ලියන ලද ලිපියක් යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලිපිය අතින් ලියන ලද ව්‍යාජ ලිපියක් බව FactSeeker විසින් කරන ලද සත්‍යාසත්‍ය සොයා බැලීමක දී තහවරු වී තිබේ.
එලෙස ව්‍යාජ ලෙස සැකසූ ලිපියේ දක්වා ඇත්තේ එම තරුණයා මියගොස් ඇත්තේ අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් හටගත් සිත් කළකිරීමක් හේතුවෙන් බවයි.
මියගිය තරුණයාගේ සමීපතමයකු වන කවීන් කාරියවසම් පවසන්නේ, මියගිය සිය මිතුරා විසින් ලියන ලදැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලිපිය කිසියම් අයකු විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා කරන ලද නිර්මාණයක් බවයි.
“ඔහු මියයාමට පෙර, තමන්ගේ මරණය සිදුවූවාට පස්සේ අපි කිහිප දෙනෙකුට ලැබෙන පරිදි ඊමේල් ලිපියක් සැළසුම් කර තිබිලා අපිට එය ලැබුණා. එහි තිබුණා තමන්ගේ අවසන් කටයුතු සිදුවී අවසන් වනතෙක් මේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන්න එපා කියලා. අවසන් කටයුතු සිදුවන තුරු ම නම සඳහන් කිරීමෙන් වළකින්න කියලත් ඉල්ලීමක් කර තිබුණා“ යැයි කවීන් පවසයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාජ ලිපිය හුවමාරු කිරීමත් සමඟ ඔහුගේ ඇතැම් සමීප සඟයන් එම ව්‍යාජ ලිපියට විරෝධය පළකරන්නේ සිය මිතුරන්ගේ නම සඳහන් කරමින්.
සඳුනි සුදර්ශනී පෙරේරා ෆේස්බුක් සටහනක් තබමින් මෙසේ කියයි.
“පැහැදිලි දේශපාලන සහ වෙනත් පටු අරමුණු සහිත යම් පිරිසක් විසින් ඔහු ලිව්වා සේ හැඟවෙන (අතින් ලියන ලද) ලිපියක් සකස් කර ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බවත් අපට වාර්තා වනවා. අප ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ව්‍යාජ ලිපිය හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත්, නොදැනුවත් කමින් හෝ එය බෙදාගත්තා නම් එය ඉවත් කරන ලෙසත්. කවුරුන් හෝ මේ ව්‍යාජ ලේඛනය දිගින් දිගට ම බෙදා හරින්නේ නම් ඊට එරෙහි ව නීතිමය පියවර ගැනීමට අප සූදානම්. එබැවින් එවැන්නක් දුටුවොත් අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා”
අරගල භූමියේ ප්‍රකට තරුණයෙකු වූ අනුරුද්ධ බණ්ඩාර ඒ පිළිබඳව ට්විටර් ඔස්සේ ද සටහනක් තබා තිබිණි. ඔහු මෙසේ පවසයි.
“ඊයේ රාත්‍රියේ සිට මෙම ලිපිය සංවිධානාත්මක ගිනුම් කීපයක් මගින් බෙදා හරිනු නිරීක්ෂණය කරන ලද නමුත්, මෙම සිදුවීමේ ඇති සංවේදී මුහුණුවර හේතුකොටගෙන එය නොසලකා හැරීමට තීරණය කළ ද, අද වනවිට Dasatha Lanka News වැනි ප්‍රසිද්ධ යයි සැලකෙන පිටු සහ පුවත්පත් මණ්ඩලයේ සභාපති වන Mahinda Pathirana පවා මෙම ව්‍යාජ ලිපිය බෙදා හැරීමට සම්බන්ධව ඇති බව නිරීක්ෂණය වුණා.”
FactSeeker ඒ පිළිබඳව පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මියගිය තරුණයා විසින් ලියන ලදැයි පැවසෙන ලිපි කිහිපයක්ම මේ අවස්ථාවේ හුවමාරු වෙමින් පවතින බැවින් ඒ අතරින් අව්‍යාජ ලිපිය කවරක් දැයි තමන් නොදන්නා බවය. පළමු ලිපිය ව්‍යාජ බව පෙන්වීම සඳහා වෙනත් අත් අකුරකින් ද එම ලිපියම ඉදිරිපත් වූ බව පවසන මහින්ද පතිරණ, “එම සාධකය ම ලිපිය සත්‍ය බව ඊටත් වඩා වැරෙන් තර්ක කරන බව” ද කියා සිටියේය.
මේ අතර, ගෝටාභය රාජපක්ෂ පාලනයට එරෙහිව දියත් වූ ගෝල්ෆේස් අරගලයට සමීපව සම්බන්ධව සිටිමින් නිරන්තරයෙන් එය වාර්තා කළ මාධ්‍යවේදී ශබීර් මොහමඩ් ෆේස්බුක් සටහනක් තබමින්, “My Brother, I’m praying for you,” යනුවෙන් සටහන් කොට තිබිණි.
අරගලයේ තවත් කැපී පෙනුණ තරුණියක වන මෙලනි ගුණතිලක ඉතාමත්ම හැගීම්බරව FactSeeker සමග අදහස් දක්වමින් කියා සිටියේ, අඩුම තරමින් පුද්ගලයෙකුගේ අවසාන ඉල්ලීමටවත් ගරුකිරීමට තරම් සමාජය සදාචාර සම්පන්න විය යුතු බවය.