spot_img
spot_imgspot_img

PCR කර, රෝගයෙන් බේරෙන්න බෑ. අවදානම තේරුම්ගන්න

පුවත්

විදෙස්

පළමු පීසීආර් පරීක්ෂණය පොසිටිව් කියූ රෝගීන්ගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය නෙගටිව් වෙන අවස්ථාත් පළමු පීසීආර් පරීක්ෂණය නෙගටිව් කියා තවත් මොහොතකින් දෙවැනි පීසීආර් පරීක්ෂණ පොසිටිව් කියූ අවස්ථා කිහිපයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

එමෙන්ම පෞද්ගලික රෝහල්වල දී පීසීආර් පරීක්ෂණයක් සිදුකර පොසිටිව් යැයි කියූ කොරෝනා රෝගීන්ගේ ජෛව සාම්පලයක් නැවත ලබාගෙන රජයේ රසායානාරයකින් පරීක්ෂා කර නෙගටිව් යැයි කියූ අවස්ථා ද වාර්තා වී ඇත.

තවත් සුවශේෂීතම අවස්ථාවක් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයේ දී පීසීආර් පොසිටිව් යැයි කියූ රෝගීන් අයිඩීඑච් රෝහලට යැවූ විට එහි දී කරන පරීක්ෂණ නෙගටිව් වීමයි. මේ හේතුවෙන් අද රටේ පොදු මහජනතාවටත් මේ පීසීආර් පරීක්ෂණ පිළිබඳ ඇති විශ්වාසය පළුදු වී තිබීම පුදුමයක් නොවේ.

මේ පිළිබඳ අප කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය චමල් සංජීවගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පීසීආර් පරීක්ෂණ පිළිබඳ පමණක් නොව රෝග ලක්ෂණ සහ ආසාදිතයන් හා ආශ්‍රිතයන් ඇසුරු කළ ඇතැදැයි විමසිලිමත් භාවයකින් යුතුව කටයුතු කර තීරණ ගැනීමට පෙළඹීම වැදගත් බවයි.  

“පීසීආර් පරීක්ෂණයක් කියන්නේ රසායනගාර ශිල්පියෙක් කරන තවත් එක් පරික්ෂණයක් විතරයි. ඔහු අතින් ප්‍රතිඵල වරදින්න පුළුවන්. සාම්පල ලබාගන්නා ආකාරය, එය ඇසුරුම් කරන ආකාරය, ප්‍රවාහනය කරන ආකාරය, ගබඩාකර තබාගන්නා ආකාරය විතරක් නෙවෙයි සාම්පලය ලබාගත් වේලාවේ සිට පරීක්ෂණය සිදුකරන අවස්ථාව දක්වා ගතවන පැය ගණන හෝ දින ගණන, මේ සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍යවල ප්‍රමිතිය වගේ කරුණු රැසක් මේ ප්‍රතිඵල කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපානවා.”

ඔහු පවසන්නේ පුද්ගලයකුගේ ජෛව සාම්පල ලබාගෙන එ් මොහොතේම හෝ පැය කිහිපයක් ඇතුළත කරන පරීක්ෂයට වඩා ඒ ජෛව සාම්පලය ම දවස් තුනක් ගත වී කරන පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵල වෙනස් විය හැකි බවයි. වෛද්‍යවරයාගේ මතය වන්නේ පීසීආර් පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවී ඇති බැවින් රසායනාගාරවල ජෛව සාම්පල පැය ගණනක් නොව දින ගණනක් ගබඩා කර තබාගැනීමට සිදුවන බවයි. ඇතැම් රසායානගාරවල නිසි ගබඩා පහසුකම් නොමැතිවීම හේතුවෙන් එවැනි සාම්පලවලින් ප්‍රමාදවී ලැබෙන ප්‍රතිඵල ප්‍රශස්ථ මට්ටමක තිබිය නොහැකි බව ද කොරෝනා ආසාදිත වූ අයකුගේ ලැබෙන ප්‍රතිඵලය වුවත් ආසාදිත නොවන ලෙස සඳහන් වීම පුදුමයක් නොවන බව ද හෙතෙම පවසයි.

මේ හේතුවෙන් කොරෝනා ආසාදිතයැයි හඳුනාගැනීමට කරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල මත විශ්වාසය තැබීම නොකළ යුතු දෙයකි.

එසේ නම් කළ යුතු වන්නේ කුමක් ද ?

ලෝක සෞඛ්‍ය සංවිධානය අද (07) නිවේදනය කළේ කොරෝනා වසංගතය ලෝකයේ පාලනය කළ හැකි එකම ක්‍රමය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට එය සංක්‍රමණය වීම හෙවත් බෝවීම වළක්වාගැනීම බවයි.

මේ පිළිබඳ වෛද්‍ය චමල් සංජීව විස්තර කළේ මේ ආකාරයෙනි.

“ ඔබේ නොසැලකිලිමත් බව හෝ උද්දච්ච බව ඔබ විනාශය කරා කැඳවාගෙන යනු ඇති. මේ දවස්වල වැඩිපුරම මිය යන්නේ උග්‍ර රෝග ලක්ෂණ නොමැතිවීම නිසා නිවෙස් තුළ ම හෝ නිරෝධායන මධ්‍යස්ථානවල කල්ගත කරපු අය කියලා අපි සිහියේ තබාගත යුතුයි. මේ තත්ත්වය අපිට විශාල උපදෙසක් ලබාදෙනවා. අපට කළ හැකි හොඳම දේ තමයි පීසීආර් පරීක්ෂණ ගැන විශ්වාසය නොතබා අපි ආසාදිතයකු හෝ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු හෝ ඇසුරු කර තිබෙනවා නම් අධි අවධානම් කලාපයක ගමන් කරලා තිබෙනවා නම්, නැතිනම් සැක සහිත රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් හෝ මතුවී තිබෙනවානම් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක් වුවත් වඩාත් සුරක්ෂිතව කල්ගත කිරීම. මේ සඳහා Blanket or Umbrella cover උපක්‍රමය අනුගමනය කරන්න වෙනවා. ඔබට පවතින සැක සහිත රෝග ලක්ෂණ ගැන ආසන්නතම සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධාය අද පැවසූ ආකාරයට ම හැකිතරම් රෝගය ආශ්‍රිතන් අතර පැතිරයාම පාලනය කරමින් මේ රෝගය පාලනය කරගත හැකියි.”

වෛද්‍ය චමල් පවසන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනික බවයි.

යම් පුද්ගලයකු සැක සහිත සංචරණයක යෙදී තිබෙනවානම් හෝ ආසාදිත වූ අයකු හෝ ආසාදිතයකු ගේ ආශ්‍රිතයකු හෝ ඇසුරු කර ඇත්නම් , කරන ලද පීසීආර් පරීක්ෂණය පවා නෙගටිව් වුව ද ඒ ප්‍රතිඵල ගැන නොතකා වඩාත් ප්‍රවේශම් විය යුතු බව හෙතෙම පැවස්‍යී.

“අපි ඇත්තටම දන්නේ නැහැ මේ වයිරසයේ පසු ප්‍රතිඵල මොනවාද කියා. ඇතැම් විට රෝගයේ අතුරු ප්‍රතිඵල වීදියට මානසික ආඝාතය, පාර්කින්සන්, හෘදයාබාධ, නිව්මෝනියාව, වකුගඩු හා අක්මාව ආශ්‍රිත සංකූලතා ඇතිවිය හැකියි කියලා ඇතැම් පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. රෝග ලක්ෂණ නොමැතිව හෝ රෝගය වැළඳුණහොත් පසුකාලීනව ඇතිවන අතුරු ආබාධ ගැන ස්ථිරව නිගමනය කිරීඹට තව මාස කිහිපයක් ඇතැම් විට අවුරුද්දක් වුවත් ගත විය හැකියි. මේ නිසා අපි හැමෝම මේ රෝගයෙන් ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. වෙනත් විකල්පයක් නැහැ.”

වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පවසන්නේ රෝගය පැතිරීම වැළැක්වීම හැර වෙනත් විකල්පයක් කොරෝනාවලින් බේරීමට නොමැති බවයි. ඒ නිසා තමන් ලබාගත් පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවේ යැයි තහවුරු වුව ද ඒ ගැන විශ්වාසය නොතබා ආරක්ෂිතව හැකිතාක් හුදකලාව තවත් ආශ්‍රිතයන් බිහිනොකර සිටීම රෝගය වළක්වාගැනීමට ඇති එකම ක්‍රමය බව ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!