රටේ නායකයා කිව්වත් බොරු නොකියන මාධ්‍යයේ අභිමානය

0
361

(නාලක ගුණවර්ධන)

ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වුණේ නොවැම්බර් 3 වනදා. ඉන් පසු ගෙවී ගිය පැය 48 තුළ ප්‍රකාශිත නිල ප්‍රතිඵලවලින් පෙනී ගියේ වත්මන් ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රතිමල්ලවයා වන හිටපු උප ජනාධිපති බයිඩන් අතර තරගය ඉතා තියුණු එකක් බවයි. (මේ වන විට බයිඩන් ජයගෙන අවස්)

එරට පවතින සංකීර්ණ මැතිවරණ ක්‍රියාදාමයේ සියලු ඡන්ද ගණන් කොට අවසන් ප්‍රතිඵල කිරීමට දින කීපයක් ගත වීම අලුත් දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් සිදු වන්නේ ප්‍රතිඵල ප්‍රකාශ කරන මුල පැය 24-36 ඇතුළත එක් අපේක්ෂකයෙක් පැහැදිලි ජයග්‍රාහකයා ලෙස මතු වීමයි. සම්පූර්ණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශ කරන්නටත් පෙරාතුව පරාජිත අපේක්ෂකයා ගෞරවාන්විත ලෙස පරාජය බාරගන්නා බවට ප්‍රකාශයක් කිරීම චිරාගත සම්ප්‍රදායයි. මෙවර තියුණු තරඟය නිසා එසේ පැහැදිලි ජයග්‍රාකයින් මතු වීමට කල්ගත වුණා.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් හෝ සම්ප්‍රදායන් කිසිවක් නොතකන, බෙහෙවින් අපරිණත පුද්ගලයකු වන ට්‍රම්ප්, නොවැම්බර් 5 වනදා හැන්දෑවේ ධවල මන්දිරයේ සිට දෙස් විදෙස් මාධ්‍යවලට අසාමාන්‍ය ප්‍රකාශයක් කළා. ඔහු කීවේ ‘තමා ජය ගනිමින් සිටින’ ජනාධිපතිවරණයෙන් ‘නීති විරෝධී සහ කුමන්ත්‍රණකාරී ලෙස එම ජයග්‍රහණය සොරා ගනිමින් සිටින’ බවයි. සමහර තොරතුරු තාක්ෂණ සමාගම් හා මාධ්‍ය සමාගම් එකතු වී තමා පරදවන්නට මහා කුමන්ත්‍රණයක් කරමින් සිටින බවත් කීවා. එහෙත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළේ නැහැ.

එරට ටෙලිවිෂන් නාලිකා සියල්ලම පාහේ සජීව ලෙසින් මෙය ආවරණය කරමින් සිටියා. ඒ අතරින් ප්‍රධාන පෙළේ නාලිකා 7ක්ම ට්‍රම්ප්ගේ විපරීත කතාව ඇරඹී විනාඩියක් ගත වෙන්න කලින් එය නතර කළා. එරට ප්‍රේක්ෂක පිරිස වැඩිම ABC, CBS සහ NBC නාලිකාද ඒ අතර වුණා. (එය සාමූහිකව ගත් තීරණයක් නොව, ඒ නාලිකාවල නිවුස්රූම් තනි තනිව ගත් එක විදිහේ තීරණයක් බව පෙනෙනවා.) එතනින් නතර නොවූ ඇතැම් නාලිකාවල ප්‍රවෘත්ති නිවේදකයෝ (news anchors) ට්‍රම්ප් ජනාධිපතිවරයා පට්ට පල් බොරු කියන බවත්, ඔහුගේ චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරන බවත් පෙන්වා දෙමින් ට්‍රම්ප් මතු කළ කරුණු එකිනෙක විග්‍රහ කරමින් නිෂ්ප්‍රභ කළා (fact-checked).

ප්‍රධාන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයා මෙවැනි අභූත චෝදනා කිරීම, මැතිවරණ ක්‍රියාදාමය සිදු කරන ලක්ෂ ගණන් මහජන සේවකයන්ට දැඩි අවමානයක් බවත්, සමස්ත මැතිවරණයේ අවංක බව නිරපරාදේ සැකයකට ලක්කරන බවත් නිවේදකයෝ තව දුරටත් පැවසුවා.සාමාන්‍ය සිරිත නම් පුවත් කාමරයේදී සූදානම් කරන ලද ප්‍රවෘත්ති පිටපතක් tele-prompter යන්ත්‍රයෙන් බලා ගෙන පුවත් නිවේදකයන් එය ඉදිරිපත් කිරීමයි. එහෙත් අනපේක්ෂිත ලෙසින් මෙවැනි අවස්ථාවක අතින් විශාල ප්‍රේක්ෂක පිරිසක් සජීව ලෙස අමතමින් රටේ වත්මන් නායකයා අමූලික බොරු කාරයෙක් බව නොබියව කීමට තරම් පෞරුෂයක් ABC, CBS සහ NBC නාලිකාවල නිවේදකයන්ට තිබුණා.එසේම ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ කතාවක් මුල හරියේදීම නතර කොට, එය එසැනින් විවේචනය කිරීමට තරම් කර්තෘ මණ්ඩල ස්වාධීනත්වයක් මෙම නාලිකාවලට තිබීම අපේ සැලකිල්ලට ලක්විය යුතුයි.

ඇමරිකානු ව්‍යවස්ථාවේ පළමු වන සංශෝධනය යටතේ මාධ්‍ය නිදහස තහවුරු කොට තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත් තීන්දු මඟින් එය තව දුරටත් අවධාරණය කොට තිබෙනවා. එහෙත් නීතියෙන් ලබාදී ඇති මාධ්‍ය නිදහස කෙතරම් දුරට ප්‍රායෝගිකව බල පවත්වනවා ද යන්න මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන විටින් විට උරගා බැලිය යුත්තක්. නොවැම්බර් 5 වනදා සිදුවූයේ එබන්දක්.CNN සහ Fox News නාලිකා දෙක නම් ට්‍රම්ප්ගේ විනාඩි 17 සමස්ත කතාවම විකාශය කළා. Fox නාලිකාව අතිශයින් දක්ෂිණාංශික ලෙසින් ට්‍රම්ප්ට සහය දක්වන නිසා එහි විමතියක් නෑ. CNN කතාව අඛණ්ඩව පෙන්වා ඉන්පසු දැඩි ලෙස විවේචනය කළා.“අපේ රටේ නායකයා, මුනින් අතට පෙරළුණු කැස්බෑවෙක් දඟලනව වගේ කරන මේ විකට රංගනය මොකක්ද?” CNN ප්‍රධාන නිවේදකයකු වන ඇන්ඩර්සන් කූපර් විමසුවා. “ඔහු දිනන කොට මේ මැතිවරණ ක්‍රමවේදයේ කිසි ප්‍රශ්නයක් ඔහුට නෑ. ඒත් පරදින ලකුණු පහළ වුණු ගමන් සමස්ත මැතිවරණ ක්‍රියාදාමයම ඔහුට සැක සහිතයිලු! මේ මොන විකාරයක්ද?” CNN නාලිකාවේම ජේක් ටැපර් පැවසුවා.See Shepard Smith of NBC fact-checking President Trump, live on air:

ශ්‍රී ලංකාවේ මාධ්‍යයට මෙලෙස හැසිරීමට කවදා හැකියාවක් ලැබෙනු ඇත්ද යන්නත් මෙරට මාධ්‍ය නිවේදකයන්ට හා සංස්කාරකවරුන්ට එවන් හැකියාවක් තිබේ ද යන්නත් වෙනම විමසා බැලිය යුතු කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here